මතට ඇබ්බැහි වී වෘත්තීය ජීවිතයට හානි කරගත් ප්‍රසිද්ධ පුද්ගලයන්

තරු කියන්නෙ අහසේ බැබලෙන දීප්තිමත් වස්තූන් වලට. මේ කියන තරුත් එහෙමම තමයි. හොලිවුඩ් ලෝකයේ ඉහළින්ම නම රඳවාගෙන ඉඳලා හදිසියේම නිමිලා ගිය, එක්කෝ දීප්තිය අඩුවුණ තරකා ගැන තමයි මේ කියන්න යන්නේ. මේ කියන පුද්ගලයින්ගේ ඒ ප්‍රසිද්ධියට, වෘත්තීය ජීවිතයට හානි ඇතිවෙන්නේ මත්ද්‍රව්‍ය නිසයි. මත්ද්‍රව්‍ය භාවිතය, ඒවාට තදින් ඇබ්බැහිවීම කිසිසේත්ම හොඳ ක්‍රියාවක් නොවෙන බව අපි හැමෝම දන්නා කාරණයක්. ඒ කාරණය තව තවත් ඔප්පු කරන නිදසුන් කිහිපයක් තමයි මේ සුප්‍රසිද්ධ තරු. ඉතින් අපි කියවලා බලමු මතට ඇබ්බැහි වෙලා ජීවිතය අවුල් කරගත් මේ පුද්ගලයින් ගැන තොරතුරු.

 

 

1. ඩැනියල් බෝල්ඩ්වින් (Daniel Baldwin) 

ඩැනියල් කියන්නෙ ඇමරිකානු නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණු ඔහු චිත්‍රපට හතරක පමණ අධ්‍යක්ෂණ කටයුතු පවා සිදු කරලා තියෙනවා. නමුත් 1998 වසරේ අග භාගයේදී ඔහු අධික කොකේන් පරිභෝජනය නිසා සිහි විකල්ව ඔහුගේම නම කෑගසමින් නිව්යෝර්ක්හි Plaza Hotel කියන හෝටලයේ ශාලාවන් පුරා නිරුවත්ව දුවයමින් සිටියදී අත්අඩංගුවට ගැනෙනවා. ඒ වගේම නැවත 2006 සහ 2007 වසර වලදීත් ඔහු වරින් වර අත්අඩංගුවට ගැනීම් වලට ලක්වෙනවා. ඔහුගේ කලින් තිබුණු වෘත්තීය ප්‍රසිද්ධියට මේ හේතුවෙන් විශාල හානියක් සිදුවෙනවා.

 

 

2. විට්නි හූස්ටන් (Whitney Houston)  

විට්නි හූස්ටන් කියන්නේ අපි බොහෝ දෙනෙක් දන්නා හොලිවුඩ් නිළියක්. ඇය අතිශය ජනප්‍රිය වගේම විශාල වාර ගණනක් සම්මානයට පාත්‍රවුණු ඇමරිකානු නිළියක් වගේම ගායන ශිල්පිනියක්. නමුත් පසුකාලීනව කොකේන් කියන මත්ද්‍රව්‍යට ඇබ්බැහි වීම නිසා ඇයට කිහිප වතාවක්ම පුනරුත්ථාපනය සඳහා යොමුවෙන්න සිදුවෙනවා. අවසානයේ මේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසාම ඇගේ ජීවිත කාලය වසර 48 කට සීමා කරමින් 2012 වසරේදී ඇය හෝටල් කාමරයක් තුළ මියගොස් සිටියදී සොයාගනු ලබනවා.

 

 

3. ලින්ඩ්සේ ලොහාන් (Lindsay Lohan) 

ලින්ඩ්සේ කියන්නේ 1986 වසරේ ඉපදුන සුප්‍රසිද්ධ ඇමරිකානු නිළියක්. ඒ වගේම ඇය ගායිකාවක් සහ රුපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත්  කටයුතු කරනවා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකට දායකත්වය දක්වපු ඇය ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹුණු නිළියක්. නමුත් අවාසනාවට ඇගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා ඇයට කිහිප වතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්වෙන්න වගේම පුනරුත්ථාපනය සඳහා යොමුවෙන්නත් සිදුවෙනවා. පසුකාලීනව ඇය නැවත රංගනයට යොමුවුණත් පෙර තිබූ ඉහළ ජනප්‍රියත්වය ලබන්නනම් ඇයට තවම හැකියාවක් ලැබිලා නැහැ.

 

 

4. බ්‍රිට්නි ස්පියර්ස් (Britney Spears) 

බ්‍රිට්නි ස්පියර්ස් ගැන අහලා නැති කෙනෙක් මෑත කාලයේ නැති තරම්. ඇය ඒ තරම්ම ජනප්‍රිය චරිතයක්. නමින් Britney Jean Spears වන ඇය 1981 වසරේ ඉපදුණු ඇමරිකානු ගායිකාවක්, ගීත රචිකාවියක් වගේම නර්තන ශිල්පිනියක්. 1990 සිට 2000 අතර කාලයේ ඇගේ ජනප්‍රියත්වය කොයිතරම්ද කියනවනම් පොප් ලෝකයේ කුමාරිකාව හෙවත් “Princess of Pop” විදිහටත් ඇයව හැඳින්වුණා. නමුත් අවාසනාවන්ත ලෙස ඇයටත් මත්ද්‍රව්‍ය වල ගොදුරක් වෙන්න සිදුවෙනවා. මේ හේතුවෙන් ඇතිවුණු විවිධ පෞද්ගලික ප්‍රශ්න නිසාත් ඇයට කලා ලෝකයෙන් ඈත් වෙලා පුනරුත්ථාපනයට යොමුවෙන්න සිදුවෙනවා. ඒ අවාසනාවන්ත සිදුවීම් වලින් පසුව ඇය නැවත ගීත ඇල්බම කිහිපයක් නිකුත් කළත් පෙර තිබූ ඉහළ ජනප්‍රියත්වය නැවත ලබාගන්නනම් ඇයට හැකිවෙන්නේ නැහැ.

 

 

5. රිවර් ෆීනික්ස් (River Phoenix) 

River Jude Phoenix කියල කියන්නෙ ඇමරිකානු රංගන ශිල්පියෙක්. 1970 ඉපදිලා 1993 වෙද්දී වයස 23කින් තමන්ගේ ජීවන ගමන අවාසනාවන්ත ලෙස අවසාන කළ තරුණයෙක්. ඔහු වෙළඳ දැන්වීම් හරහා ඔහුගේ රංගනය ආරම්භ කරන්නේ වයස අවුරුදු 10ක් තරම් ඉතා කුඩා කාලයේදී. තරුණ කාලයේදීම ඔහුගේ විශිෂ්ට රංගනය නිසාම ඔහු හොඳම සහය නළුවාට හිමි සම්මානය සඳහාත් නිර්දේශ වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස මෝෆින් සහ කොකේන් අධි මාත්‍රාවක් විසවීමෙන් 1993 ඔක්තෝම්බර් 31 වෙනිදා ඔහු ජීවන ගමන හැර යනවා.

 

 

6. මැරිලින් මොන්රෝ (Marilyn Monroe) 

Marilyn Monroe කියන්නෙ ඇති ප්‍රසිද්ධ ඇමරිකානු නිළියක් සහ නිරූපණ ශිල්පිනියක්. මේ නම අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමටම ඇය ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹුණු චරිතයක්. ඇය ජීවත්ව සිටින කාලයේදී වගේම ඇගේ මරණයෙන් පසුව පවා ඇයව හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ විශිෂ්ට කාන්තා පුරාවෘත්තයක් විදිහට හැඳින්වෙනවා. නමුත් ඇයටත් අවාසනාවන්ත ලෙස මත් රකුසාගේ ගොදුරක් වෙන්න සිදුවෙනවා. විවිධ මත්ද්‍රව්‍ය භාවිතය නිසාම ඇය විෂාදයේ ගොදුරක් බවටද පත්වෙනවා. අවසාන කාලයේදී ඇයගේ රංගන ජීවිතයට පවා මේ හේතුවෙන් ගැටළු ඇතිවෙනවා. තිරගත කිරීම් වලට වෙලාවට සහභාගී නොවීම, පිටපත් මතක තබාගැනීමේ නොහැකියාව වගේ ගැටළු ඇයගෙන් දකින්න ලැබෙනවා. අවසානයේ වයස අවුරුදු 36 කදී ඇගේ මරණය සිදුවෙනවා.  

 

 

7. නික් ස්ටාල් (Nick Stahl) 

නික් ස්ටාල් කියන්නෙත් ප්‍රසිද්ධ ඇමරිකානු නළුවෙක්. කුඩා කාලයේ සිටම රංගනයට පිවිසුණු නික්, සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගාගන්න සමත් වෙනවා. ඔහු ඇති ප්‍රසිද්ධියට පත්වෙන්නේ Terminator 3 චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමත් සමඟයි. නමුත් ඔහුටත් මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදෙන්න හැකිවෙන්නේ නැහැ. ඔහුගේ බිරිඳ ඔහුගෙන් දික්කසාදය ඉල්ලමින් නඩුවක් ගොනුකරනවා. ඒ වගේම පසුකාලීනව වැඩිහිටි වීඩියෝපට වෙළඳ සලක් තුළ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනෙනවා. මේ සියල්ලම නිසා ඔහුගේ රංගන ජීවිතයට ඇතිවුණු කැළල මකාගන්නට ඔහුට තවමත් හැකියාවක් ලැබී නැහැ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *