ආදර සම්බන්ධතාවයක් නවත්තන්න ඇත්තටම සාධාරණ හේතු කීපයක්!

අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි ආදරේ කරලා ඇතිනේ. එතනින් තමන් පටන් ගත්තු ආදර සම්බන්ධතාවය තාමත් සතුටින් කරගෙන යන අය ඉන්නවා. හැබැයි අපි හැමෝටම එහෙම කියන්න බැහැ. සමහර වෙලාවට අපි එක හිතින්, ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා පටන් ගත්තු ආදර සම්බන්ධතා පවා බිඳ වැටෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි නිකමට හිතලා බලන්න, එහෙම අපේ ආදර සම්බන්ධතාවයක් කඩාගෙන වැටෙන්නේ, එහෙම නැතිනම් අපි නවත්තලා දාන්නේ මොන වගේ හේතු නිසාද? ඒ හැම හේතුවක්ම ඇත්තටම එක් හිත් හිතාගෙන පටන් ගත්තු ආදර සම්බන්ධතාවයට තිත තියන්න තරම් සාධාරණද? ඇත්තටම නම් නැහැ. අපි සමහර වෙලාවට අපේ පෙරුම් පුරාගෙන පටන් ගත්තු ආදර කතාවලට තිත තියලා තියෙන්නේ ඇත්තටම දෙන්නට දෙන්නා කතාකරලා, අවබෝධයෙන් විසඳගන්න තිබුණු හේතු නිසා. 

 

හැබැයි එහෙම වුණාට, සමහර වෙලාවට ආදර සම්බන්ධතාවයක් නවත්තලා දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙන විදියේ හේතු තියෙනවා. අඩු ගාණේ එහෙම හේතු මොනවද කියලා දැනගෙන හිටියොත්, එතනින් මෙහා විසඳගෙන ආයෙමත් ආදරේ පටන් ගන්න පුළුවන් හේතු නිසා, තමන්ගේ ආදර කතාව අවසාන කර නොගෙන ඉන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේ හේතු ලැයිස්තුව හදන්නේ!

 

1. සීරියල් චීටර්!

 ආදර සම්බන්ධයක දෙන්නෙක් ඉන්නකොට, එතනින් එක්කෙනෙක් චීට් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එක පාට්නර් කෙනෙක්ට රහසින් වෙන සම්බන්ධයකට යන එක? ඒක දීර්ඝ කාලීන රහස් සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් එක පාරක් දෙපාරක් සෙක්ස් කරලා ඉවර වෙන විදියේ සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත්, එහෙම තත්ත්වයකදී මොකද කරන්නේ? ඇත්තටම එහෙම එක දෙයක් නිසා ආදර සම්බන්ධතාවයක් එපා කියලා අයින් වෙන්න අවශ්‍ය නැහැ. මොකද, එහෙම තත්ත්වයක් ඇති වෙන්න ඕන තරම් හේතු බලපාන්න පුළුවන්. ඒ සමහර හේතු අතිශයින්ම සාධාරණ වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා, එහෙම තැනකදී දෙන්නට දිගටම ගමන යන්න පුළුවන් විදියේ අවබෝධයකට එන්න පුළුවන්ද කියලා බලන්න ඕන.

 

හැබැයි සමහර වෙලාවට ආදර සම්බන්ධතාවයේ ඉන්න එක පාට්නර් කෙනෙක්ට චීටින් කියන එක නවත්තගන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ එයා දැන් ඉන්න අනියම් සම්බන්ධතාවයෙන් මිදෙන්න සූදානම් නෑ. එහෙම නැතිනම් එයා එක පාරක් දෙපාරක් නෙවෙයි, දිගින් දිගටම චීට් කරනවා. ආන්න එහෙමනම්, ඒ ආදර සම්බන්ධතාවය අවසන් කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

 

 

2. ජීවිතේට සපෝට් එකක් කෝ?

ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඕන එකිනෙකාගේ ජීවිතේට අත්වැලක් වෙන්න නෙවෙයි. තමන්ගේ ජීවිතේ අඩුවක් පුරවගන්න නෙවෙයි. ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඕන දෙන්නා එකිනෙකාට ආදරේ නිසා. හැබැයි මේ ආදර සම්බන්ධතාවය පොඩ්ඩක් සීරියස් මට්ටමට ගිහිල්ලා, දෙන්නට දෙන්නා ජීවිතේ බෙදාගන්න තැනකට ආවට පස්සේ එකිනෙකාගේ ජීවිතේට එකිනෙකාගෙන් ලැබෙන සපෝට් එක සෑහෙන්න වැදගත්. ඒ කියන්නේ සල්ලි බාගෙන් දෙන සපෝට් එක නෙවෙයි. අඩු ගාණේ මෝරල් සපෝර්ට් එකක් ඕන. ඒ කියන්නේ එකිනෙකාගේ ජීවිතේ තියෙන ටාගට් වලට යන්න, ප්‍රශ්න ගැටළු එක්ක ගනුදෙනු කරන්න මානසිකව හරි සහාය ලැබෙන්න ඕන. දෙන්නා එක ටීම් එකක් කියන එක ඔළුවට එන්න ඕන. ඒක අපි කියමු දෙන්නගෙන්ම හරි එක පාට්නර් කෙනෙක්ගෙන් හරි ලැබෙන්නෙ නැහැයි කියලා. සමහර වෙලාවට ඒක කතාබහ කරලා විසඳගන්නත් බැරි නැහැ. හැබැයි එහෙම කරලත් එක පාට්නර් කෙනෙක්ගෙන් හරි දෙන්නගෙන්ම හරි එහෙම ජීවිතේට සපෝට් එකක් ලැබෙන්නෙ නැහැ කියන්නේ, ගොඩක් වෙලාවට ඒ සම්බන්ධතාවය පවත්වාගෙන ගිහින් තේරුමක් නෑ.

 

 

3. ඉන්ටිමසි නෑ!

ඉන්ටිමසි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ශාරීරිකව සහ මානසිකව දෙන්නට දෙන්නා අතරේ දැනෙන සමීපත්වය කියන එක. අන්න ඒ සමීපත්වය කියන එක සෙක්ස් වලින් විතරක් නෙවෙයි, හාදුවකින්, වැළඳගැනීමකින් පවා දැනෙනවා. ආදර සම්බන්ධතාවයක තියෙන ලස්සන වැඩි කරන එක ප්‍රධානම දෙයක් තමයි මේ ඉන්ටිමසි කියන්නේ. හැබැයි සමහර වෙලාවට ආදර සම්බන්ධතාවය පටන් ගත්තු දවසේ ඉඳලා මෙන්න මේ කියන සමීපත්වය නෑ. ගොඩක් වෙලාවට ඒකට හේතුව වෙන්න පුළුවන් ආදර සම්බන්ධතාවයක් කියලා පටන් ගත්තට, ඇත්තටම ඒක පිටිපස්සේ තියෙන්නේ වෙන වෙන අරමුණු වීම. එහෙම නැතිනම් ආදර සම්බන්ධය පටන් ගත්තු කාලේ මේ සමීපත්වය තිබුණත්, කාලයාගේ ඇවෑමෙන් ඒක නැතිවෙලා ගිහිල්ලා. කතාබහ කරලා වුණත් ඒක ගොඩගන්නත් බැරි මට්ටමකට ඇවිත්. එහෙමනම් ඒකට හේතුව වෙන්න පුළුවන් දෙන්නට දෙන්නා අතරේ තිබුණු ආකර්ෂණය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යෑම. ගොඩක් වෙලාවට එතන තිබිලා තියෙන්නේ ආකර්ෂණයක් මිසක් ආදරයක් නොවෙන්නත් පුළුවන්. අන්න එහෙමනම්, ආදර සම්බන්ධතාවයට තිත තියන්න ගන්න තීරණය වැරදියි කියන්න බැහැ!

 

 

4. ලව් එකත් ජොබ් එකක් වගේ!

දැන් ඔය උඩින් කියපු එකිනෙකාට තියෙන සමීපත්වය කියන කාරණාව නැතිවීම උඩ, ගොඩක් වෙලාවට ලව් කරනවා කියන එක ජොබ් එකක් කරනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර පොත ලකුණු කරනවා වගේ උදේට කතා කරලා හලෝ වැඩට යන්නද හදන්නේ කියන එක. ඊට පස්සේ දවල්ට කතා කරලා කෑවද කියන එක. ඊට පස්සේ රෑට ගුඩ් නයිට් කියලා මැසේජ් එකක් දාන එක. එහෙම ඇරෙන්න වෙන කිසිම දෙයක් එතන නැති තත්ත්වයකට ආදර සම්බන්ධතාවය යන්න පුළුවන්. දෙන්නටම පට්ට බෝරින්. කිසිම ගෝ එකක් නෑ. අන්න එතකොටත් අපිට කියන්න වෙන්නේ උඩින් කියපු දේ තමයි. කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. එහෙම ගොඩදාගන්න බැරි වුණොත් ඉතින් වෙන් වෙන්න ගන්න තීරණයට මොකුත් කියන්න බැහැ.

 

 

5. ෆිසිකල් මෙන්ටල් ඇබියුස්!

සමහර ආදර සම්බන්ධතා තියෙනවා තනිකරම යුද්ධ පිටි වගේ. ආයෙ මරාගන්න එකමයි වැඩේ. ඒ ගැන අපි ඊලඟට කතා කරනවා. හැබැයි ඔය මරාගැනීම් ඇතුව වුණත්, නැතුව වුණත් එක්කෙනෙක් හරි අනික් කෙනාට අතක් උස්සනවා කියන්නේ, ඒ සම්බන්ධතාවයෙන් ඉවත් වෙන එක හොඳයි කියන එක. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි, අද කම්මුලට පාරක් ගහලා ඉවර වෙන එක, හෙට මැරෙන්න පාරක් ගහලා ඉවර වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් අපි ඕන තරම් නිව්ස් වලත් දකිනවනේ. ආන්න ඒ වගේ ශාරීරික අඩන්තේට්ටම් වල පෙර සලකුණු පේන කොටම ඒ සම්බන්ධතාවයෙන් අයින් වෙන්න කියලා තමයි අපි කියන්නේ.

 

දෙවෙනුව, ශාරීරිකව නැතත් මානසිකව එක්කෙනෙක් අනිකාව හරි දෙන්නට දෙන්නා හරි අඩන්තේට්ටම් කරන එකත් සමහර ආදර සම්බන්ධතා ඇතුළේ දකින්න පුළුවන්. හැබැයි ඒකටත් අපිට කියන්න තියෙන්නේ උඩ කියපු දේම තමයි. ඇබියුස් කිරීම් එක්ක ආදර සම්බන්ධතා පවත්වාගන්න බැහැ.

 

 

6. හැමදාමත් රණ්ඩු 

අපි උඩින් කිව්වනේ රණ්ඩු සරුවල් ගැන. ඇත්තටම රණ්ඩු සරුවල් ඇති නොවෙන ආදර සම්බන්ධතාවයක් තියෙන්න බැරි තරම්. කොයි තරම් ආදරෙන් ඉන්න දෙන්නෙක් අතර වුණත් එක මොහොතකදී වචන හුවමාරුවක් හරි වෙන්න පුළුවන්. ඒක ආදර සම්බන්ධතාවයක් බිඳ දාන්න හේතුවක් නෙවෙයි. හැබැයි මේ රණ්ඩු සරුවල් කියන දේ දිනපතාම සිද්ධ වෙනවා නම්, එක්කෙනෙක් හැරුණත් අනික් එක්කෙනාට ඒක පේන්නේ වැරදි විදියට නම්, අන්න ඒ කියන්නේ එතන වෙන සීරියස් ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ, ගොඩක් දුරට ඒක ටොක්සික් රිලේශන්ෂිප් එකක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම දිගින් දිගටම පවතින රණ්ඩු සරුවල් වුණත් සමහර වෙලාවට කතාබහ කරලා, රිලේශන්ෂිප් එකේ අලුත් පිටුවක් පෙරළලා සමනය කරගන්න හැකිවෙන්න පුළුවන්. ඒත් එහෙමත් බැරි තැනකට ඇවිල්ලා නම්, රණ්ඩු සරුවල් කෙළවරකුත් නැති නම්, ඒ ආදර සම්බන්ධතාවයට බායි කියන්න තමයි වෙන්නේ!

 

 

7. වෙන කිසිම දෙයක් වැඩ කරන්නෙ නෑ!

දැන් ආදර සම්බන්ධතාවයක් ගත්තහම ඒක කාලයත් එක්ක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. වෙන අයට හිත යන්න, බෝරින් වෙන්න, සමීපත්වය නැති වෙන්න, දෙන්නට කතා කරන්න දෙයක් නැති වෙන්න වගේ දේවල් එක්ක, තවදුරටත් ආදර සම්බන්ධතාවයක් ඇත්තටම තියෙනවද කියලා හිතෙන තැනකට යන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම වෙනවා කියන්නේ ආදර සම්බන්ධයට තිත තියන්න ඕන කියන එක නෙවෙයි. එහෙම ඈලියාවට යන්න යන ආදර සම්බන්ධතාවය ගොඩ ගන්න පුළුවන්ද කියලා තමයි බලන්න ඕන. මූලිකවම දෙන්නට දෙන්නා සාකච්ඡා කරලා වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම බැරි නම් දෙන්නටම කවුන්සිලින් වගේ දෙකට වුණත් යන්න පුළුවන්.

 

හැබැයි ඔය කොයි දේ කළත්, ඒත් දෙන්නටම අර පරණ තිබුණු ආදර සම්බන්ධතාවය ගොඩනගා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා කියමු. එහෙම නම් ඉතින් ලෝකේ හැමෝම සම්බන්ධේ දන්න නිසා, පුරුද්ද නිසා වගේ හේතු උඩ ඒක බලහත්කාරයෙන් පවත්වා ගෙන යන්න උත්සාහ කරලා වැඩක් නෑ. එතනදී බ්‍රේක් අප් වෙන්න තීරණයක් ගන්න එකේ වැරැද්දක් කියන්න බැහැ.

 

ආයෙමත් අපි කියනවා. ආදරේ කරන්න ඇත්තටම තියෙන්න ඕන අන්‍යාන්‍ය ගෞරවය, එකිනෙකා කෙරෙහි තියෙන හොඳ අවබෝධය, ඉවසීම සහ විශ්වාසය. ආන්න එතකොට උඩ කියලා තියෙන ප්‍රශ්න වුණත් ඇත්තටම තමන්ගේ ආදර ජීවිතේදී තමන් අතරට නොඑන්න වග බලා ගන්න පුළුවන්.