හමුදා පෙළපාලියක් සම්බන්ධයෙන් දැනගත යුතු වැදගත් කරුණු

හමුදා පෙළපාලි ඒ ඒ රටවල හමුදා ශක්තිය පෙන්වන්න පාවිච්චි කරනවා. ඒ වගේම හමුදාවේ සිටින අයගේ යම් යම් ගෞරවණීය අවස්ථා වලට මේ ආචාර පෙළපාලි පැවැත්වෙනවා. රාජ්‍ය නායකයින්ගේ, ගෞරවණීය පුරවැසියන්ගේ අභාවයන් වලදීත් ආචාර පෙළපාලි ආදිය පැවැත්වෙනවා. කොහොම වුණත් හැම රටකම පාහේ සිය නිදහස් දිනයේදී විශේෂ ආචාර පෙළපාලියක් පැවැත්වෙනවා. රාජ්‍ය නායකයෙකු රටකින් රටකට ගිය අවස්ථාවලදීත් ආචාර පෙළපාලියකින් ඔහුට ගරුසරු දැක්වීම සිරිතක් විදිහට කෙරෙනවා.

 

1. පෙළපාලියක ආරක්ෂාව

පෙළපාලියක අවි දරාගත් සෙබළුන් යනවා. යුධ ටැංකි, කාලතුවක්කු ආදී පාබල ආයුධ යනවා. ඒ වගේම ගුවනින් හෙලිකොප්ටර් යානා යනවා. මුහුදෙන් යාත්‍රා යනවා. මේ හැම එකක්ම ආචාර පෙළපාලියකට සැරසෙද්දී අවි ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. පාබල හමුදා ඛණ්ඩයක නම් අවි දරාගෙන යන අයගේ අවි ක්‍රියා විරහිත කරන්න කටයුතු කරනවා. එය උණ්ඩ නොදැමීමෙන් විතරක් නවතින්නේ නැහැ. උණ්ඩ වැඩකරන්න අවශ්‍ය කරන බෝල්ට් එක එහෙමත් නැතිනම් තියෙන යාන්ත්‍රණය අත්හිටවා ඒ ගැන සහතිකයක් දීමෙන් පස්සේ තමයි වර්තමානයේ අවි ආයුධ පෙළපාලි ගෙනියන්නේ.

 

2. ඇයි පෙළපාලියක අවි නිශ්ක්‍රීය කරන්නේ?

පෙළපාලි වල ඉතිහාසය ගත්තාම රෝමානු යුගයේදී කෙලින්ම ආචාර පමණක් නොවෙයි, යුධ කටයුතු කරන්නෙත් මේ පෙළපාලි ආකාරයට ගිහින්. එහෙත් වර්තමානයේ මේ පෙළපාලියක අවි ගැන සැලකිලිමත් වීමට හේතුවක් තියෙනවා. ඔබ දන්නා පරිදි ඉන්දීය අගමැති රාජිව් ගාන්ධිට ලංකාවේ සෙබළකුගේ තුවක්කු පහරක් එල්ල වුණා. ඊට පෙර 1981 හමුදා උත්තමාචාරයක අමුත්තා විදිහට ගිය ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් පෙළපාලිය අතරතුරදී වෙඩිතබා ඝාතනය කළා. ඒ නිසා අද වනවිට බර අවි, සුළු අවි ඇතුළු සියළුම අවි සහ ඒ සහභාගී අය ගැන දැඩි පරීක්ෂාවක් මිලිටරි පෙළපාලියකට පෙර අනිවාර්යයෙන්ම සිදු කරනවා.

 

3. මිලිටරි පෙළපාලි ආරම්භ වුණේ කොහොමද?

රෝමානු හමුදාවන් තමයි මුල් කාලීනව මේ පෙළපාලි සහ ඒ ආශ්‍රිත අංග ලෝකයට ඇතිකළ බවට විශ්වාස කරන්නේ. පාබල හමුදාවන් යුද්ධයට යද්දි එවකට තිබුණු කඩු, කිනිසි, තෝමර, දුනු, ඊතල ආදී අවි ආයුධ තමයි මූලික වශයෙන් පාවිච්චි වුණේ. ඒ වගේම පසුකාලීනව ගින්දර අවියක් විදිහට වැඩි දියුණු වුණා. මේ අවස්ථාවලදී එක පොදියට විශාල කණ්ඩායම් යන්නේ නැතිව ලයින් බයි ලයින්, ඒ කියන්නේ පේළි පේළි ඛණ්ඩ වශයෙන් යුද්ධයට සහභාගී වීමෙන් වැඩි වාසි අත්වෙන බව ඔවුන් සොයාගත්තා.

 

4. මිලිටරි පෙළපාලි භූමිය

මිලිටරි ඛණ්ඩයක නිතර පෙළපාලි යන පුහුණු වීම් කරන භූමිය ශුද්ධ භූමියක් ලෙස ඒ හමුදා වල අය විසින් සලකනවා. අතීතයේදී යුධ ජයග්‍රහණ, පරාජයන් සිදුවූ ස්ථානත් එසේ පූජනීය හෝ අපකීර්තිමත් ස්ථාන ලෙස ස්ථානගත වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව සෙබළෙකු සරඹ ඇඳුමින් හෝ නිල ඇඳුමින් නැතිව එබිමට පිවිසෙන්නේ නැහැ. ඒ වගේම හමුදාවේ තිබෙන නීති රීති සහ ඒ ඒ නිලයන්ට කෙරෙන ගරු සරු ආදියත් මේ සරඹ භූමියේදී ඒ අවස්ථා අනුව සෙබළුන් විසින් සිය ඉහළ නිලයන්ට දැක්විය යුතු වෙනවා.

 

5. විවිධ ආකාරයේ හමුදා පෙළපාලි විධි

රටවල් ගණනාවක හමුදා ආචාර පෙළපාලි තිබුණත් ඒ හැම එකකම ඒවාට ආවේණික ගතිගුණ තියෙනවා. උදාහරණ විදිහට ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශසීමා විවෘත කරන සහ වසා දමන අවස්ථාවල පාද මහත් සේ ඉහළට ඔසවමින් කරන ආචාර සමාචාර විදිහක් ඔවුන් සාම්ප්‍රදායිකව පවත්වාගෙන යනවා. මේ හමුදාවන් වල මූලික පෙළපාලි වතාවත් පැවත එන්නේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගතිසිරිත් අනුව. එහෙත් කොමියුනිස්ට් ඒ කියන්නේ සමාජවාදී අදහස් තිබුණ රටවල් තමුන්ට ආවේණික විදිහට සිය පෙළපාලි වෙනස් කරගන්න පෙළපාලි වල ගමන් විලාශය එහෙම වෙනස් කරගත්තා. දැනටත් රුසියාව, චීනය, උතුරු කොරියාව වගේ රටවල අනෙක් රටවලට වඩා වෙනස් විදිහේ ගමන් විලාශයක් ආචාර පෙළපාලි වල තියෙනවා.

 

6. පෙළපාලිය සහ කාලගුණය

ආචාර පෙළපාලියක් පැවැත්වෙන්නට ප්‍රථම කාලගුණය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ගෘහස්ථ ක්‍රීඩාංගණයක් වැනි වැසූ තැනක ආචාර පෙළපාලි පවත්වන්නේ ඉතාම කලාතුරකින්. ශීත කාලය පවතින රටවල නම් එවැනි වැසූ තැන්වල ආචාර පෙළපාලි පැවැත්වෙනවා. අපි වගේ රටවල ආචාර පෙළපාලි තියෙද්දී කාලගුණය යහපත් දිනයක්, අවස්ථාවක් තෝරාගන්න විශේෂයෙන් මහන්සි වෙනවා. ඉතාම කලාතුරකින් හදිසිම අවස්ථාවක හැර මහ වැස්සේ තෙමි තෙමී නම් හමුදා ආචාර පෙළපාලි පවත්වන්නේ නැහැ.

 

7. ආරාධිත අමුත්තාගේ කාර්යභාරය

රටිකින් රටකට ආචාර පෙළපාලි විධි වල යම් වෙනසක් තිබුණත් හැම රටකම පාහේ පොදු වූ සිරිත් තියෙනවා. ආචාර පෙළපාලිය නිරීක්ෂණයට සහභාගී වෙන රාජ්‍ය නායකයා ඒ ඒ හමුදා ධජ වලට ආචාර කළ යුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය නායකයා විදෙස් ගත වූ විට ඒ ඒ ආචාර සමාචාර විධි ගැන දැනුවත් කරන්න නිලධාරියෙක් බොහෝ තානාපති කාර්යාල වල සිටිනවා. ලංකාවේ කීර්තිමත් ජනාධිපතිවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා කලින් ස්වේච්ඡා හමුදා නිලධාරියෙකු වූ නිසා ඔහු ඒ ගරු ආචාර විධි නිසි ලෙස අනුගමනය කළ බව සඳහන්. ඒ වගේම පෙර හමුදා නිලධාරියෙකු වූ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාත් හමුදා පෙළපාලි ආදිය ගැන හොඳ අවධානයකින් එයට සහභාගී වෙන බවක් පේනවා.

 

ආචාර පෙළපාලි වල හමුදා සාමාජිකයින්ට තියෙන නීති රීති ආදිය ගොඩක් තියෙනවා. බලා ඉන්න ලස්සන වුණාට හොඳින් පුහුණු වී හමුදා පෙළපාලියක ගමන් කිරීම කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් අපේ රටෙත් සැලකිය යුතු අවධානයක් මේ ආචාර පෙළපාලියට ලැබෙනවා. රටක් විදිහට විනයවත් ආචාරශීලී හමුදාවක් තිබෙන එක අපිට ආඩම්බරයක්.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *