ඔබේ ගුරුවරයාට තෑගි කරන්න හොඳම පොත් 7ක්

ගුරු දිනය පහුගිය ඔක්තෝම්බර් හය වෙනිදා යෙදුනානේ. අපි දැක්කා ගොඩක් අය විවිධ සමූහවල අහල තියෙනවා ගුරුවරුන්ට තෑගි කරන්න සුදුසු පොත් මොනවද කියලා. ඉතින් එනිසා අද අපි හිතුවා ඔබේ ගුරුවරයාට තෑගි කරන්න හොඳම පොත් හතක් ගැන කියන්න. 

 

1. ගුරු ගීතය 

මේක ගැන කිව්වමනම් ඉතින් ගොඩක් අය අවුල් ගනියි. ඒත් මේක අපූරු කතා පුවතක්නේ නොකියවපු කෙනෙක් නම් නැතිම තරම් මේ පොත ජනප්‍රියයි. ගුරුවරයෙක් වන දුයිශේන් සහ ශිෂ්‍යාවක් යන අල්තිනායි තමයි මේ කතා පුවතේ ප්‍රධාන චරිත ද්විත්වය. ගොඩක් අය කැමති, සමහර අය අකමැති පොතක් තමයි මේ. ගුරුවරයෙක්ට තෑගි දෙනවනම් අපිට ඉහළින්ම මේ පොත රෙකමදාරු කරන්න පුළුවන්…

 

2. ගුරු සේවයේ රසකතා 

මේක නම් හරිම සරල පොතක්. ඒ වගේමයි හරිම රසවත් පොතක්. ගුරුවරයෙක්ට තෑගි දෙනවනම් අපි ඉහළින්ම මේ පොත නිර්දේශ කරනවා. මේ පොතේ කොටස් ද්විත්වයක් තියෙනවා. ඒ දෙකම එක වගේ රසවත්. මේ පොතේ ඇතුළත් වෙන්නේ ගුරු සේවය සම්බන්ධ රසවත්, හාස්‍ය පිරුණු කතා කිහිපයක්. හරිම ආසාවෙන් පොත බිම නොතියා කියවන්න පුළුවන් කෙටිකතා කිහිපයක්. 

 

3. ගුරු තරුව ඔබයි 

“ගුරු තරුව ඔබයි” කියන්නේ “To Sir with Love” කියන කෘතියේ සිංහල පරිවර්තනය. එඩ්වඩ් රිකාඩෝ බ්‍රෙත්වේට් විසින් ලියා ඇති මේ පොතේ සඳහන් වෙන්නේ කළු ජාතිකයෙක් වුණු ඔහුගේම කතාවයි. උගත්කම් අතින් ඉහළ තලයක සිටියත් වර්ණ භේදවාදය තදින්ම තිබුණු නිසා බ්‍රෙත්වේට් හට රැකියාවක් සොයාගැනීම දුෂ්කර වනවා. ඒ නිසා අවසානයේ ඔහු ගුරු වෘත්තිය තෝරා ගන්නවා. සාර්ථක ගුරුවරයෙක් බවටත් ඔහු පත්වනවා. මේ ඇසුරින් 1967 වර්ෂයේදී සිනමා පටයකුත් නිෂ්පාදනය වුණා. 

 

4. හරි පුදුම ඉස්කෝලේ 

“ටොට්ටෝ චං” ගැන නම් නොදන්න කෙනෙක් නැහැනේ. ගොඩක් අය ආදරෙන් වැළඳගත්ත ජපන් සාහිත්‍ය කෘතියක් තමයි හරි පුදුම ඉස්කෝලේ කියන්නේ. විශේෂයෙන්ම ළමයින්ගේ අධ්‍යාපනය, ලිංගික අධ්‍යාපනය ගැන හරිම අපූරුවට මේ කෘතිය මගින් කතා කළා. ඒ ඉගෙනීම් රටාව ගුරුවරුන්ට ගොඩක් වැදගත් වේවි. ඉතින් අනිවාර්යයෙන්ම මේ පොත ගුරුවරයෙක්ට තෑගි කළ යුතු, හැමෝම කියවිය යුතුම පොතක්. 

 

5. ක්‍රිස්ටි  

ගැප් කියන කඳුකරයේ ස්වෙච්ඡා ගුරුවරියක් වුණු ක්‍රිස්ටි කටර් කියන ගුරුවරියගේ කතාව තමයි මේ. ක්‍රිස්ටි කියවපු හැමෝම ආසාවෙන් ඉන්නවා ඇති ඒ වගේ ගුරුවරියක් වෙන්න. ඒ තරම් රසවත් පොතක් තමයි මේ. ඉතින් ගුරුවරුන්ට තෑගි දෙනවනම් ගොඩක් වටින පොතක් වෙයි මේක එයාලට. 

 

6. උපන් දා සිට 

මේක නම් අර පොත් පහට වඩා හාත්පසින්ම වෙනස් පොතක්. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ස්වයං චරිතාපදානය වන මෙය ඉතාම රසවත් කෘතියක්. කුඩා කල සිට එතුමා ගතකළ ජීවිතය, දැරූ අදහස් සහ ලේඛකයකු ලෙස ජනප්‍රිය වීමට පෙර එතුමාට මුහුණ දෙන්නට සිදුවූ දුෂ්කරතාවයන් පිළිබඳව සඳහන් වන මෙම කෘතියෙන් කෙනෙකුගේ ජීවිතයට එකතු කරගන්න දේවල් බොහොමයක් තියේවි. 

 

7. මගේ දිවිසැරිය 

මගේ දිවිසැරිය කියන්නේ චාලි චැප්ලීන්ගේ චරිතාපදානයයි. ඉතින් මේ පොතෙනුත් ගුරුවරුන්ට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. ගුරුවරුන්ට විතරක් නෙමෙයි, ළමයින්ටත් ගොඩක් වටින පොතක්. දුක්බර ළමා කාලයක් ගතකරමින් සිට පසුව ලොවක් වසඟ කරගත් තරුවක් බවට පත්වීම දක්වා පැමිණි චැප්ලින්ගේ ජීවිත කතාව සමහරවිට කියවන ඔබගේත් ජීවිතයට යහපත් ආලෝකයක් පතිත කරවාවි.

 

අපි කලින් කිව්වා වගේම පුද්ගලයන්ගේ රසවින්දනය එක එක්කෙනාට සාපේක්ෂව වෙනස්. ඉතින් අද අපි පොදුවේ ගුරුවරුන්ට ගැළපෙන පොත් හතක් ගැන තමයි කතා කළේ. ඉතින් මීට අමතරව ගුරුවරුන්ට තෑගි කරන්න පුළුවන් පොත් ගැන ඔයාටත් අදහසක් තියනවනම් අනිවාර්යයෙන්ම ඒ ගැනත් අපිට කියන්න.

 

ශශින් ප්‍රබෝද්

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *