පාඩම් කරන දේ මතකයේ රැඳෙන විදිහට පාඩම් කරන තැන හදාගනිමු

අපි මීට කලින් සෑහෙන්න ස්ටඩී ටිප්ස් ප්‍රමාණයක් ඔයාලා එක්ක බෙදාගත්තා. ඉතින් ඒ ස්ටඩී ටිප්ස් කිහිපයකදීම අපි කතා කළා පාඩම් කරන තැන පිරිසිදුව තියෙන්නේ ඕනය කියලා. ඉතින් අද අපි තවදුරටත් විස්තර කතාකරමු පාඩම් කරන තැන සාමාන්‍යයෙන් මොන වගේ විය යුතුද කියන එක ගැන. 

 

1. මේසයක්ම විය යුතුයි ද?

ගොඩක් වෙලාවට අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ මේසයකුයි පුටුවකුයි එක්ක පාඩම් වැඩ කරන්න. ඒත් ඊට වඩා අපිට තියෙන පහසුකම් අනුව, නිදිමත කම්මැලිකම නොදැනෙන ඕනම ස්ථානයක් අපිට පාඩම් කරන තැන විදියට තෝරගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම පුටුවක් සහ මේසයක් විය යුතු නම් නැහැ.

 

2. පිරිසිදුකම සහ ආලෝක​ය

අපි කලින් කිව්වනේ පාඩම් කරන තැන හැටියට අපිට පහසු ඕන තැනක් තෝරගෙන පාඩම් කරන්න පුළුවන් කියලා. ඒත් එහෙම කියලා අපිරිසිදු තැනක පාඩම් කරන්න ගත්තොත් එක අපේ මනසට වදයක් වෙන්න පුළුවන්. අපිට අඩුම තරමේ ගහක් යට වුණත් පාඩම් කරන්න පුළුවන් එතන පිරිසිදු නම්. එනිසා ඔයා පාඩම් කරන තැන පුළුවන් තරම් පිරිසිදුව, පිළිවෙලට තියාගන්න. 

ඒ වගේම තමයි පාඩම් කරන ස්ථානයට හොඳ ආලෝක තත්ත්වයක් ලැබීමත් අත්‍යාවශ්‍ය කාරණයක්. පුළුවන් තරම් ස්වභාවිකව ආලෝකය ලැබෙන තැනක් පාඩම් කරන්න තෝරගන්නවනම් වඩාත් හොඳයි. විදුලි බල්බයක් භාවිතා කරලා එතන ආලෝකවත් කරගන්නවනම් ඒ ආලෝකය තමන්ගෙ මූණට කෙලින්ම වැටිලා අපහසුතාවයක් ඇති නොකරන තැනක ස්ථානගත වෙලා තියනවනම් වඩාත් හොඳයි.

 

3. අතිශය පිළිවෙළ සහ ලස්සන?

පාඩම් කරන තැන පිරිසිදු වෙන්න ඕනය කියලා ප්‍රමාණය ඉක්මවා ඒ පාඩම් කරන තැන ලස්සන කරගන්න එකත් අපේ ඔළුවට හිසරදයක්. විශේෂයෙන්ම විවිධ බෝනික්කෝ, සෙල්ලම් බඩු වලින් ඔයා ඔයාගේ පාඩම් කරන තැන පුරවන් ඉන්නවා කියන්නේ ඇත්තටම ඔයාගේ මනසට සෑහෙන්න වදයක් වගේම කරදරයක්. ඉතින් පාඩම් කරන තැන ලස්සනට තියාගන්න… හැබැයි ප්‍රමාණය ඉක්මවා නොයමින්…

 

4. සුවපහසුව සහ ඉඩකඩ 

පාඩම් කරන තැන තෝරගනිද්දි තවත් අවධානයට ලක් කරන්න ඕනේ කරුණක් තමයි ඒ පාඩම් කරන තැන කොච්චර නිස්කලංකද සහ පහසුද කියන එක. විශේෂයෙන්ම ඒ පාඩම් කරන තැන ඔයාට නිතරම දාඩිය දාන, හරියට පාඩම් කරන්න ඉඩකඩ මදි ස්ථානයක් නම් ඒක ඔයාගේ පාඩම් කරන තැන විදියට තෝරගන්න එක නම් සුදුසු මදි. එනිසා පුළුවන් තරම් නිස්කලංක තැනක් ඔයා පාඩම් කරන තැන විදියට තෝරගන්න.

 

5. බාහිර සද්ද බද්ද අඩු තැනක්

කලින් කිව්වා වගේම ඔයා පාඩම් කරන්න තෝරගන්න ඕන නිස්කලංක තැනක්. ඒ වගේම බාහිර ශබ්ද වලින්, ඒ කියන්නේ ගෙදර ටීවි එකේ සද්දේ, වාහන වල සද්ද මේවා පුළුවන් තරම් අඩුවෙන් ඇහෙන තැනක්. විශේෂයෙන්ම ටීවී එක නිසා ඒ ශබ්දය ඇහෙන වෙලාවට ඔයගේ මනස පාඩමට වඩා ටීවී එකට යොමුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම පුළුවන් තරම් ෆෝන් එකෙනුත් ඈත්වෙලා ඉන්න. පාඩම් කරන වෙලාවට ෆෝන් එක ළඟ තියෙනවා නම් ෆෝන් එක සයිලන්ට් දාගන්න, නැත්නම් ඕෆ් කරගන්න.

 

6. පොත් ගොඩගැහුණු තැනක් නම් කරගන්න එපා

දැන් අපි අද පාඩම් කරන පාඩමයි, ඒකට අදාළ ඉස්කෝලේ නෝට්සුයි, ක්ලාස් ටියුට් ටිකයි, පාස්ට් පේපර් ප්‍රශ්නයි, අච්චු පොතයි වගේ ඔක්කොම එකවර ඔයාගේ මේසය උඩ තිබ්බම ඔයා පාඩම් කරන්න කම්මැලි වෙනවා ඉබේම. ඒ හින්දා පුළුවන් තරම් අවශ්‍ය දේවල් පමණක් මේසය උඩ තියාගන්න. පාඩම් කරන තැන නම් ගොඩගැහුණු තැනක් කරගන්න එපා.

 

7. මේසය සහ පුටුව

 අපි විභාගයකට මුහුණ දෙද්දි ඩෙස්ක් එකක පේපර් එක තියාගෙ​න පුටුවක වාඩි වෙලානෙ උත්තර ලියන්නෙ. අන්න ඒ අවස්ථාවට සමාන වටපිටාවක් නිවසේ හදාගෙන පාඩම් වැඩ වල නිරත වුණොත් ඔයා ගෙදරදී පාඩම් කරන කරුණු වැඩිපුර මතකයේ රැඳෙන්න හැකියාවක් තියනවා. තමන්ගෙ ගෙදර විභාග ශාලාවක් බවට පරිවර්තනය කරන්න බැහැ තමයි. ඒත් ඔයාට පුළුවන් ඩෙස්ක් එකක්, පුටුවක් භාවිතා කරමින් ඒ වගේ වටපිටාවක් යම් තරමකින් හදාගෙන මේ වැඩේ උත්සාහ කරන්න.

 

ඒ වගේම තව වැදගත් දෙයක් තමයි මේ පාඩම් කරන්න තෝරාගන්න තැන පාඩම් වැඩ වලට විතරක්ම භාවිතා කරන එක. එතන ඉඳන් කෑම කන්න, ගේම්ස් ගහන්න වගේ වෙන වැඩ කරන්න යන්න එපා. පාඩම් කරන තැන පාඩම් වැඩ වලට විතරක් භාවිතා කරන්න. ඒක පාඩම් වැ​ඩ ඔයාගෙ මතක​යේ වැඩිදුර රැඳෙන්නත් උදවුවක් වේවි.

 

ඉතින් ඔයා දැන් දන්නවා පාඩම් කරන තැන තියෙන්න ඕනෙ කොහොමද කියලා ඉතින් මේ අනුව මේසය සුදානම් කරන එක කිතරක් ප්‍රමාණවත් මදි. අනිවාර්යයෙන්ම හොඳට පාඩම් වැඩත් කරන්න.

 

ශශින් ප්‍රබෝද්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *