සීගිරිය බැලීම කියන්නේ කීප වතාවක් බැලුවත් ඇතිවෙන දෙයක් නෙමෙයි. සීගිරිය, පිදුරංගල වගේ පොඩි කඳු නගින එක අපේ සෞඛ්‍යයටත් හොඳ දෙයක්. ඉතින් මේ සීගිරි ගිහින් සීගිරිය බැලීමත් දඹුලු ගිහින් දඹුලු ලෙන් විහාර බැලීමත් බොහොම ජනප්‍රිය වෙච්ච සංචාරක අත්දැකීමක්. ඊට අමතරව ඒ පළාතේ කරන්න තියෙන්නේ, බලන්න තියෙන්නේ, විඳගන්න තියෙන්නේ මොනවාද කියලා අපි ටිකක් බලමු.
1. සුන්දර රිටිගල
රිටිගල ටිකක් දුරයි සීගිරියේ දඹුල්ලේ ඉඳලා. ඒත් රිටිගල කියන්නෙත් සීගිරිය වගේම තවත් එක ශේෂ කන්දක්. රිටිගල තියෙනවා ඓතිහාසික නටබුන්. සාමාන්‍යයෙන් නටබුන් අතර දකින්නට නොලැබෙන මහා විසාල පොකුණක් හෝ සුගතදාස ක්‍රීඩාංගණය වගේ විශාල පෞරාණික අංගනයක නටබුන් රිටිගල දකින්නට ලැබෙනවා. රිටිගල කියන්නේ දැඩි ස්වභාවික රක්ෂිතයක්. ඒ නිසා නටබුන් වලින් උඩට ගිහින් ගල උඩට නගින්න දෙන්නෙ නැහැ. එහෙම ගිහින් අහුවුනොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි දඬුවම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
2. කවුඩුල්ල අලි
යාල අලි බැලීමට වඩා කවුඩුල්ලේ අලි බැලීම අමුතු අත්දැකීමක්. මේ අලි ටිකක් දිග පළලින් වෙනස්. ඒ වගේම අලි බැලීම වගේම විශාල විල්ලු පරිසරයක් අපිට එහිදී දකින්නට ලැබෙනවා. ඒ විල්ලු පරිසරයේ අලංකාර කුරුල්ලන්, කුළු හරකුන් ආදියත් දකින්නට ඉන්නවා. සවස් කාලයට කවුඩුල්ල ජලාශයේ වතුර බොන්න එන අලි ළඟටම ගිහින් බලන්න කාලෙකදි සංචාරකයින්ට අවස්ථාව ලැබෙනවා. යම් අවස්ථාවන් වලදි අලි එලවීම්, පහරදීම් වාර්තා වෙලා තියෙන නිසා ටිකක් ඈත්වෙලා බලන එක කෝකටත් හොඳයි.
3. වැව් සිරි
කණ්ඩලම වැව කියන්නේ වැව් අතර තියෙන බැලිය යුතුම වැවක්. කණ්ඩලම වැවේ පැරණි ගස් ආදිය තවමත් වැව මැද කොටසේ ඉතිරි වෙලා තියෙනවා. මේ මතුවුණු තුරුහිස් වල විශාල කුරුල්ලෝ ලැගලා ඉන්නවා. ඒ වගේම එක යායට පේන ජල තලාව මොන කාලයකදීත් අපේ ඇස් වලට ගේන්නේ සුන්දර සිරියක්. වැව් බැම්ම මතින් දිවෙන පාර දිගේ එද්දි දෙපස බලාගෙන යන එක මනරම් අත්දැකීමක්. මේ විදිහට කුඩා වැව් කිහිපයක්ම සීගිරි දඹුලු දිහාවේ අපිට බලාගන්නට තියෙනවා.
4. ඉබ්බන්කටුවේ සතුටු දූපත
කණ්ඩලම ජලාශයේ හෝටල මගින් කරන පොඩි බෝට්ටු සේවාවන් තිබුණාට සාමාන්‍යයෙන් හෝටලයේ නවතින්නේ නැති අයට ඒවාගේ අවස්ථා ලබාගන්න අමාරුයි. ඉබ්බන්කටුව ජලාශයේ වැව් බැම්ම සහ පිටවාන ආසන්නයේ තියෙනවා ‘සතුටු දූපත බෝට්ටු සවාරි’ කියලා තැනක්. ඒ හරහා ඉබ්බන්කටුව ජලාශය මැද තිබෙන කුඩා දූපතට අපිට යන්නට පුළුවන්. අක්කර හතරක විතර පොඩි වපසරියක තියෙන මේ දූපතට ගිහින් නාන්නත් පුළුවන්. දූපතට එන අයට කාල බීලා විනෝද වෙන්න පහසුකම් ආදියත් ඒ බෝට්ටු සපයන කාර්ය මණ්ඩලය විසින් සපයලා තියෙනවා. මේ බෝට්ටු සවාරි සැපයෙන්නේ හැබැයි දවල් වෙලාවට විතරයි. මහවැලියට අයිති ජලාශයක දූපතක් නිසා රෑට නවතින්න අවසර නැහැ.
5. සීගිරිය ශීලා උද්‍යානය සහ ජල උද්‍යානය
සීගිරිය ගැන යමක් කමක් ඉගෙනගෙන දැනගෙන ඒ කෞතුකාගාරය එහෙම නැරඹුවොත් සීගිරිය කියන්නේ ගල විතරක් නෙමෙයිය කියන එක වැටහෙනවා. ඒ සීගිරියට පහල තියෙන ශිලා උද්‍යානය කාශ්ය රජතුමා සීගිරිය පාවිච්චි කරන්න කලිනුත් සංඝයා විසින් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ජල උද්‍යානයේ තවමත් වැසි තද කාලයට වතුර මල් ආදිය කදිමෙට වැඩ කරනවා. සීගිරියේ උඩ තියෙන දේවල් වගේම පහල ඇති මේ විස්කම් නිර්මාණ ගැනත් ඉගෙනගන්න පැය කීපයක් වැය කළාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
6. පිදුරංගල
පිදුරංගල විහාරයේ බලගතු දේවාලයක් තියෙනවා. අවට සිටින ගම්වාසීන් සහ පිරිස් ඇවිත් මේ දේවාලයේ බාර හාර පූජා ආදිය තියෙනවා. සංචාරකයින් අතර නම් පිදුරංගල ජනප්‍රිය වුණේ සීගිරිය උඩින් බලන්නට හැකි තැනක් වීම නිසා. ඇතැම් විදෙස් සංචාරකයින් මුලින් සීගිරියට වැඩිපුර ඔවුන්ට මුදල් ගෙවන්නට වෙන නිසා නොමිලේම ගොස් පිදුරංගල අසිරිය විඳගන්නට තීරණය කරලා තිබුණා.
7. වෙනත් සංචාරක විනෝද අවස්ථා
සංචාරක පුරවරයක් වුණාට පස්සේ එයට ආවේණික වෙනමම සංස්කෘතික වටපිටාවක් හැදෙනවා. දැන් සීගිරි දඹුලු පැත්තෙත් එහෙම වැව් මාලු සහ දේශීය වට්ටෝරු වලට සැකසුණු ප්‍රණීත අහාරපාන හැමතැනම වගේ දකින්නට තියෙනවා. අලි නම් එච්චර කැමති නැති වුණත් අලියා පිටේ නැගලා යන අලි සෆාරිත් සීගිරිය අවට තියෙනවා. අලි ගැන සානුකම්පිතව ඔවුන් වනසතුන් විදිහට දකින අය නම් මේ අලි සෆාරි වලට වැඩිමනක් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම විවිධ මට්ටමේ ස්පා මසාජ් පහසුකම්, සුන්දර සංචාරක නවාතැන්, ගම්බද සිරි බලන්නට යන සවාරි ආදී සංචාරක අවස්ථා රැසක් දැන් සීගිරිය කලාපයේ තියෙනවා.
මේ කාලය වෙද්දි නම් කොවිඩ් ලොක්ඩවුන් ඉවර වෙලා නැවතත් සංචාරකයින් සීගිරියට එන්නට අරගෙන තියෙනවා. අපිට අවශ්‍ය මට්ටමේ අවශ්‍ය මිලට නවාතැන් පහසුකම් සුපිරි මට්ටමේ සිට සාමාන්‍ය කාමර දක්වා සීගිරිය දඹුල්ල ප්‍රදේශවල හොයාගන්නට තියෙනවා. ඉතින් නුවර එළිය, නුවර වගේ සීතල පළාතක් නොවුණත් වියලි දේශගුණය විඳගෙන අලුත්ම අත්දැකීම් ටිකක් ගන්න සීගිරිය දඹුල්ල පැත්තට දවස් කිහිපයක් වැය කරන්න පුළුවන් නම් එයින් කදිම අත්දැකීම් ගොඩක් ඔයාලට ලබාගන්න පුළුවන් වේවි.
Leave a Reply