පුංචි ළමයින්ගේ නරක පුරුදු සහ ඒවාට පිළියම්

දරුවෝ කියන්නෙ කොයි දෙමව්පියන්ටත් තියෙන වටිනාම සම්පත. අම්මලා, තාත්තලා කවුරුත් ආසයි තමන්ගේ දරුවන් ලෝකයට වැඩදායී, යහපත් පුරවැසියන් විදිහට ඇති දැඩි වෙනවා දකින්න. දරුවා ඉතාම කුඩා කාලයේ ඉඳලම ඒකට අවශ්‍ය අඩිතාලම සකස් කරන්න තමයි ඕනම දෙමව්පියෙක් උත්සාහ කරන්නේ. ඉතින් පුංචිම දවස්වල ඉඳලම දරුවා සමාජයේ දොස් අහන්න වෙන නරක වැඩක් කරනවනම්, හොඳින් හෝ පුංචි තරවටුවකින් හරි ඒක වළක්වන්න තමයි දෙමව්පියන් උත්සාහ දරන්නේ. ඉතින් ඒ නිසාම අපි හිතුවා හැම දෙමව්පියෙක්ම කරදර වෙන පුංචි දරුවන් පොදුවේ කරන නරක වැඩ සහ ඒවාට යොදන්න පුළුවන් පිළියම් ගැන කතාකරන්න. මේ සඳහන් කරන බොහොමයක් ක්‍රියාවන් කිසිම වැඩිහිටියෙකුගේ හුරුකිරීමකින් තොරව ඔවුන් තනියම කරන දේවල්. නමුත් තරවටු මඟින් මේ දේවල් නතර කිරීමට උත්සාහ කිරීම ඔවුන්ගේ පුංචි මනසට හානිදායක වෙන්න පුළුවන්.

 

1. ඇඟිලි සූප්පු කිරීම

මේක නම් වයස මාස දෙකේ තුනේ ඉඳලාම පුංචි දරුවන් කරන වැඩක්. නමුත් කුඩා අවධියේ ඇඟිලි සූප්පු කිරීම වළක්වන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එය දරුවාගේ මුඛ අවධියේදී සිදු කරන වර්ධන ක්‍රියාකාරකමක් විදිහටයි සැලකෙන්නේ. බොහෝ දරුවන් මේ ක්‍රියාව ක්‍රම ක්‍රමයෙන් නවතා දමනවා. නමුත් වයස අවුරුදු තුනෙන් හෝ හතරෙන් පසුවත් නිතර ඇඟිල්ල ඉරීම සිදුකරන දරුවන් දකින්න පුළුවන්. මුලදී උරාබීමට ඇති කැමැත්ත නිසා මෙය සිදුකරන දරුවන් පසුකාලීනව එයට ඇබ්බැහි වීම නිසා ඒ පුරුද්ද නවතන්න අපහසු වෙනවා. තමන්ට පහසු බවක් දැනීමට හෝ නින්දට යාමේදී වැනි අවස්ථාවන් වලදී දරුවන් බොහෝ වෙලාවට මෙසේ ඇඟිලි ඉරීම දකින්න පුළුවන්.

මේ ක්‍රියාව නැවත්වීමට දරුවාට එය නරක පුරුද්දක් බවත්, පිරිසක් ඉදිරියේ එසේ කිරීම නුසුදුසු බවත් පහදා දෙන්න පුළුවන්. ඒ හැරුණු කොට දරුවා ඇඟිලි ඉරීම සිදු කරන වෙලාවල් පරීක්ෂා කොට එම වෙලාවේ ඇති තරහව, දුක වැනි මනෝභාවයන්ට වෙනත් පිළියම් සපයා දරුවාට සහය වෙන්න පුළුවන්.

 

2. නියපොතු හැපීම  

නියපොතු හැපීම කියන්නෙත් හුඟක් කුඩා දරුවන් තුළ තියෙන නරක පුරුද්දක්. නිසි කාලයේදී මේ පුරුද්ද වැළැක්වීමට නොහැකි වුවොත් වැඩිහිටි අවදියේ පවා මෙලෙස නියපොතු හැපීම සිදු කරන වැඩිහිටියන් අපිට දකින්න පුළුවන්. මේ පුරුද්දට නිසි හේතුවක් නොමැති වුණත් බොහෝවිට මෙය ආතතිය දුරු කරගැනීමට කරන ක්‍රියාවක් ලෙස පොදුවේ සැලකෙනවා. කොයි හැටි වෙතත් දීර්ඝකාලීනව නියපොතු හැපීම නිසා වයසින් වැඩෙද්දී නියපොතු වලට අවලස්සන පෙනුමක් එකතු වෙනවා. 

මේ වරද නිවැරදි කරන්නත් ඔවුන් නියපොතු හපන හේතුව අධ්‍යයනය කළ යුතුයි. එය මානසික ආතතිය නිසා කරන දෙයක් නම් එම හේතුවට මුලින් පිළියම් යෙදිය යුතුයි. එමෙන්ම නිය ආලේපනයක් ආලේප කිරීම (තාවකාලිකව) හෝ ක්ලේ වැනි ද්‍රව්‍යයක් සමඟ නිතර සෙල්ලම් කිරීමට ඉඩ හැරීමෙන් නියපොතු හැපීම මඟ හරවා ගත හැකියි. ඔවුන් ටිකෙන් ටික ඒ පුරුද්ද අතහැරීම කරන විට දරුවාව අගය කරමින් සහයෝගය ලබාදීමද වැදගත්.

 

3. නාසය හෑරීම

නාසය හැරීමත් කුඩා දරුවන් නිතර සිදුකරන නරක පුරුද්දක්. මේ පුරුද්ද නම් තනිකරම කම්මැලිකම නිසා කරන දෙයක්. පිටට පෙන නරක විදිහ හැරුනුකොට නාසයට අනවශ්‍ය විසබීජ ඇතුල්වීම සහ නාසයෙන් රුධිරය ගැලීම  මේ නරක පුරුද්දේ ප්‍රතිඵල විදිහට ඇතිවෙන්න පුළුවන්.

මේ පුරුද්ද වළක්වන්න තේරෙන වයසේ දරුවෙකුට නම් එය නරක පුරුද්දක් බවත්, පිරිස ඉදිරියේ කිරීමෙන් අපහසුතාවයට පත්විය හැකි බවත් පහදා දෙන්න. ඒ වගේම ඔවුන් එය සිදුකරනවා ඔබ දකින සෑම අවස්ථාවකම අත සේදීමට පවසන්න. නිතර අත සේදීමේ කරදරය නිසාම ඔවුන් ඒ පුරුද්දෙන් ටිකෙන් ටික අත්මිදේවි. කුඩා දරුවෙකුට නම් අත්වලට මේස් පැළඳීම මඟින් මේ පුරුද්ද අවම කරන්න පුළුවන්.

 

4. නිතර හිසකෙස් ඇදගැනීම

මේ කියන්නේ තරහව, මානසික ආතතිය, දුක වැනි හැඟීම් වලදී ඔවුන් තදින් තමන්ගේම හිසකෙස් දෑතින්ම ඇදීමකට ලක් කිරීමයි. කාලයක් ගතවෙන විට මෙය පුරුද්දකට සිදුකරන ක්‍රියාවක් බවට පත්වෙන්න පුළුවන්.  විසඳුම වන්නේ පුරුද්ද අතහැරෙන තුරු කොණ්ඩය කෙටි වන ලෙස කපා දැමීමයි. ඒ වගේම මානසික ආතතිය සහ තරහව පාලනය කිරීමටද ඔවුන්ට ඔබේ උදව් ලබාදීම අත්‍යවශ්‍යයි.

 

5. දත්මිටිකෑම

පුරුද්දක් ලෙස නිතර දත්මිටි කෑමත් දරුවන් අතරේ තියෙන නරක පුරුද්දක්. මෙය නින්දේදී හෝ අධික ලෙස ආතතියට පත්ව සිටින අවස්ථාවන් වලදී සිදුකරනවා දකින්න පුළුවන්. කිරි දත් හැලී යාමත් සමඟම බහුතරයක් දරුවන් මේ පුරුද්ද අතහැරියත් සමහර දරුවන් මෙය දිගින් දිගටම කිරීමට පෙළඹෙනවා. මෙහිදීත් දත්මිටි කෑමට පෙළඹෙන ආතතිය වැනි හේතූන්ට පිළියම් යොදන්න අවශ්‍යයි. ඒ වගේම අලුත් දත් මතුවීම, විදුරුමස් වේදනා වැනි ගැටළු නිසා මෙසේ සිදුකළ හැකි බැවින් දන්ත වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගැනීමද උපකාරී විය හැකියි. නින්දේදී දත්මිටි කෑම වැළැක්වීමට නින්දට පෙර උණුසුම් සේදීමකින් සහ ලඟින් තබාගෙන ගීත, කතන්දර කීම වැනි ක්‍රියාකාරකම් මඟින් දරුවාව සතුටින් නින්දට යැවීම සිදුකළ හැකියි.

 

6. අධික ලෙස ස්මාර්ට් ෆෝන් භාවිතයට ඇලුම් කිරීම

අද කාලේ දරුවන් තුළ දකින්න පුළුවන් නරකම පුරුද්දක් තමයි මේක. හුඟක් කුඩා වයසේ සිටම දරුවන් ස්මාර්ට් ෆෝන් වලට දැඩි කැමැත්තක් දක්වනවා. පින්තූර  සහ වීඩියෝ බැලීමෙන් ආරම්භ කරන මේ ඇබ්බැහිය පසුකාලීනව ගේම් ගැසීම, සමාජ මාධ්‍ය ඇබ්බැහිය වගේ කාරණා දක්වාම දුරදිග යන්න පුළුවන්. මෙය හුදෙක්ම වැඩිහිටියන් අනුකරණය කරමින් දරුවන් සිදුකරන ක්‍රියාවක්. නමුත් කුඩා දරුවන්ගේ අතිශය වැදගත් වර්ධන අවධිය ඇතුළත මෙසේ දුරකථන තිරයට ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ වර්ධනයට බාධා ඇතිවෙන්න පුළුවන්. වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට වැඩිහිටියෙකු සමඟ ඉතා කුඩා වෙලාවකුත්, වයස දෙකත් පහත් අතර දරුවන්ට දවසටම පැයක කාලයකුත් මේ තිරය බැලීමට සුදුසු බවයි වෛද්‍ය නිර්දේශය. දරුවන් මේ ඇබ්බැහියෙන් මිදවීම පහසු කාර්යයක් නෙමෙයි. පළමුවෙන්ම දරුවන්ට පෙනෙන ලෙස වැඩිහිට්යන් ස්මාර්ට් තිරය භාවිතය අවම කරන්න අවශ්‍යයි. ඒ වෙනුවට දරුවා කාර්යබහුල කරවන වෙනත් ප්‍රයෝගික ක්‍රියාකාරකම් වල යොදවන්න. ඒ වගේම දුරකථනය නරඹන කුඩා කාලය ඇතුළත වුවද වැඩිහිටියෙකු ලඟින් හිදිමින් එහි දකින දේ සාකච්ඡා කරමින් නැරඹීමට ඉඩ සලස්වන්න.

 

7. සිරුරේ පෞද්ගලික අවයව ඇල්ලීම

වයස අවුරුදු දෙකේ සිට හය දක්වා දරුවන් තුළ පොදුවේ දකින්න පුළුවන් ක්‍රියාවක් තමයි මේක. ඔවුන්ගේ ශරීරයේ අවයව නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි ඔවුන් මේ විදිහට පෞද්ගලික අවයව පවා නිතර අතගෑමට හුරුවෙන්නේ. ශරීරාංග පිළිබඳව නිවැරදි නම් යොදාගනිමින් විස්තර කර ඒවායෙන් පෞද්ගලික අවයව මොනවාද සහ ඒවා ආවරණය කළ යුතු බව යනාදී කරුණු සරලව දරුවාට කියාදෙන්න. කුතුහලය වැඩිවෙන පරිදි විවිධ නම් වලින් පෞද්ගලික අවයව හඳුන්වමින් විහිළු කිරීම සිදුකරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *