රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආසාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයක්. තමන්ගේ පෙනුම වගේම බලය වැඩි කරගන්නත් මේ රත්තරන් එක එක අය උපයෝගී කරගන්නවා. අපි කවුරුත් දන්න විදිහට ලෝකයේ තියෙන වටිනාම ලෝහ අතරින් එකක් තමයි රත්තරන් කියන්නෙ. ඒ වගේම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම ඉන්න ලෝහයක් විදිහටත් රත්තරන් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්තරන් වලට තියෙන ඉල්ලුමනම් ලේසියෙන් අඩුවෙනවා දකින්න ලැබෙන්නෙ නැහැ. මේ තරම් හැමෝම ආස රත්තරන් ගැන කතා නොකර කොහොමද? ඉතින් අපිත් හිතුවා රත්තරන් වල සුලමුල හොයා බලන්න. ඇයි රත්තරන් මෙච්චර ගණන් කියල හොයල බලන්න. රත්රන් පස්සේ පන්නන කාටත් දැනගන්න ඔන්න මේක තමයි රත්තරන් ගැන ඇත්තම කතන්දරේ.
1. මොනවද මේ රත්තරන් කියන්නේ?
රත්තරන් කියන්නෙ සරලවම ලෝහයක්. කහ පැහැයට හුරු මෘදු ලෝහයක්. නමුත් විද්‍යාත්මකව පැහැදිලි කලොත් රත්තරන් කියන්නෙ පරමාණුක ක්‍රමාංක 79 න් දැක්වෙන, Au නමැති සිම්බල් එකෙන් හැඳින්වෙන, සාමාන්‍ය පරිසර තත්ත්වයේදී ඝනව පවතින ලෝහයක්. ඒ වගේම පහසුවෙන් සකස් කළ හැකි ලෝහයක්.
2. රත්තරන් වල විශේෂත්වය
කලින් කිව්ව මෘදු බව, ඝනව පැවතීම සහ පහසුවෙන් සකස් කළ හැකිවීම කියන ලක්ෂණ වලට අමතරව රත්තරන් වලටම ආවේණික විශේෂ ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. රත්තරන් කියන්නෙ සියළුම ලෝහ වර්ග අතරින් ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි ලෝහයක්. එක රත්තරන් අවුන්සයක් සැතපුම් 50ක් දක්වා දුරකට අදින්න ඒ කිව්වේ දික් කරන්න පුළුවන්. ඒ වගේම එක රත්තරන් අවුන්සයක් වර්ග මීටර 9ක තනි පත්‍රයක් දක්වා පැතලි ලෙස සකස් කරන්නත් පුළුවන්. ඒ වගේම රත්තරන් වල තියෙන ඉහළ සන්නායකතාවය නිසා රත්තරන් වලට පුළුවන් සුළු කාලයකදී අපේ ශරීරයේ උෂ්ණත්වය සමඟ ගැලපෙන්නත්. ඒ වගේම රත්තරන් කියන්නේ ආහාරයට ගන්නත් පුළුවන් ලෝහයක්. ඔය පුංචි දරුවන්ට රන්කිරි කටගෑම කියල ලංකාවේ කරන්නෙත් රත්තරන් ස්වල්පයක් උරගාලා කිරි එක්ක මිශ්‍ර කර පෙවීම නේ. ඒ වගේම රට රටවල විවිධ කෑම බීම වර්ග සඳහා රත්තරන් යොදාගෙන තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම රත්තරන් කියන්නෙ සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ මළ නොබැඳෙන ලෝහයක්.
3. රත්තරන් හදන්නේ කොහොමද?
මේ කියන්න යන්නේ ස්වභාවිකව රත්තරන් හැදෙන හැටි හෝ ඒ පිළිබඳව ඉතිහාසය නෙමෙයි. ඒක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ කියන්න යන්නේ ස්වභාවිකව නිෂ්පාදනය වෙන රත්තරන් පාෂාණමය කුට්ටි වශයෙන් හොයාගත්තට පස්සේ නිෂ්කාශනය කරලා අපේ භාවිතයට සුදුසු පිරිසිඳු රත්තරන් විදිහට සකස් කරගන්න විදිහයි. පොළව අභ්‍යන්තරය කැණීමෙන් සොයා ගන්නා රන් ලෝපස් කුට්ටි මූලිකවම පතලේදී සේදීමකට ලක් කරලා වැඩිදුර කටයුතු සඳහා මෝල් හෙවත් රත්තරන් සකස් කරන ස්ථාන වලට යැවීම සිදුකරනවා. එහිදී මේ ලෝපස් කුට්ටි ජලය සමඟ මිශ්‍ර කර ඇඹරීමකට ලක්කරනවා. ඊළඟ පියවර වන්නේ රසායනික ක්‍රියාවලීන් මඟින් රත්තරන් වෙන්කිරීම. අවසානයේ තවමත් ඉවත් වී නොමැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා Flux නම් වූ රසායනික පිරිසිඳු කාරකය සමඟ රත්කිරීම සිදුකරනවා. ඒ සියල්ල අවසානයේ තමයි රත්තරන් කුට්ටි වශයෙන් ඝන බවට පත්කිරීම සිදුවෙන්නේ.
4. රත්තරන් හදන රටවල්
රත්තරන් නිෂ්පාදනයේ යෙදෙන ලෝකයේ රටවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. නමුත් නිෂ්පාදනය කරන ප්‍රමාණය අනුව ප්‍රධාන රටවල් 15ක් දක්වන්න පුළුවන්. ලෝකයේ අනෙක් රටවල් සියල්ලම මේ රටවල් 15 නිෂ්පාදනය කරන සමස්ථ රත්තරන් ප්‍රමාණයට වඩා බොහොම අඩු අගයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ලෝකයේ වැඩියෙන්ම රත්තරන් නිෂ්පාදනය කරන්නෙ චීනය. ලෝකයේ සමස්ථ රත්තරන් නිෂ්පාදනයෙන් 11%ක්, ඒ කියන්නෙ වසරකට රත්තරන් ටොන් 368කට ආසන්න ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදනය කෙරෙනවා. දෙවෙනි තැන ලැබෙන්නේ රුසියාවට. ඒ 2019 දී ඕස්ට්‍රේලියාව පසුකරමින්. ඔවුන් වසරකට රත්තරන් ටොන් 331 කට ආසන්න ප්‍රමාණයක් නිපදවනවා. අනෙක් මුල් ස්ථාන අට පිළිවෙළින් ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඝානා රාජ්‍යය, බ්‍රසීලය, උස්බෙකිස්තානය, මෙක්සිකෝව සහ ඉන්දුනීසියාව කියන රටවල් වලට හිමිවෙනවා.
5. රත්තරන් වල ප්‍රයෝජන
ලෝකයේ අනිත් හුඟක් රත්තරන් වල ප්‍රධානම ප්‍රයෝජනය ආභරණ නිෂ්පාදනය. සෑම වසරකම පරිභෝජනය කරන රත්තරන් වලින් 78%කම වෙන් කෙරෙන්නේ ආභරණ නිෂ්පාදනයට. ඊට අමතරව ප්‍රධානවම රත්තරන් භාවිතා කරන්නේ ආයෝජන ක්‍රමයක් හැටියටයි. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් උපාංග සඳහා, සමහර වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කටයුතු සඳහා වගේම විවිධ කෑම සහ මිල අධික මත්පැන් වර්ග නිෂ්පාදනය කිරීම සඳහාත් රත්තරන් භාවිතා කෙරෙනවා.
6. ලෝකයේ වැඩිම රත්තරන් අයිතිය
ලෝකයේ අනිත් හුඟක් දේවල් වලින් වගේම රන් අයිතිය අතිනුත් ඉදිරියෙන් ඉන්නෙ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය. 2020 වසරේ දෙසැම්බර් වනවිට ඔවුන් සතුව රත්තරන් මෙට්‍රික් ටොන් 8,000ක සංචිතයක් තිබෙන බවට ගණනය කරලා තියෙනවා. මෙය දෙවනියට වැඩිම රන් සංචිත සතු ජර්මනියේ රන් සංචිත වලට වඩා දෙගුණයකටත් වැඩි අගයක්.
7. වර්තමාන රන් මිල
මෑත ඉතිහාසය නම් රත්තරන් මිල සම්බන්ධව සුභදායක ආරංචි අහන්න ලැබුණ කාලයක් නෙමෙයි. 2019 වසරේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිය රත්තරන් මිල මෑත ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම මිලට එන්නේ 2020 ජූලි මාසයේදී. එතනින් පස්සේ යම් තරමක අඩුවීමක් පෙන්වන රත්තරන් මිල නැවත 2021 මැයි මාසේ ටිකක් ඉහළ අගයකට එනවා. නමුත් මේ වෙද්දී නම් ඒ මිල තරමක් අඩුවෙමින් යන ලක්ෂණ තමයි දකින්න තියෙන්නේ. ලංකාවේ ඩොලර් ගැටළුවත් එක්ක මිල ටිකක් ඉහළ වුණත්, රත්තරන් මිලදී ගන්න ඉන්නවනම් මේ ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනය ගැන අන්තර්ජාලය හරහා අදහසක් අරගෙන මිල අඩුවෙන කාලයක් බලලා මිලදී ගැනීම තමයි හොඳම විදිහ.
Leave a Reply