තමන්ගේ රෙදි පෙරෙදි හරියට සෝදාගෙන, වේලාගෙන පිරිසිදු කරගන්නේ මෙහෙමයි!

දැන් ඔය සමහරු කියන විදියට අපි කොළ අතු, හම් අනං මනං ඇඳගෙන හිටපු කාලෙකුත් තිබ්බනේ. ඒක හරි. හැබැයි දැන් වෙනකොට අපි හැමෝම රෙදි පෙරෙදි තමයි අඳින්නේ. දැන් එහෙම අඳින ඇඳුම් පැළඳුම් හෝදගෙන කරගෙන පිරිසිදු කරගන්නත් වෙනවනේ. ඇත්තටම සාමාන්‍යයෙන් තනි මනුස්සයෙක්ට වුණත් කොයි තරම් ඇඳුම් කැඩුම් සහ වෙනත් රෙදි පෙරෙදි හෝදන්න සිද්ධ වෙනවද? උදාහරණයක් විදියට කිව්වොත්, අපි ගෙදරට අඳින ඇඳුම්, ගමන් අඳින ඇඳුම් වගේ දේවලට අමතරව ගෙදර තියෙන නැප්කින් වගේ දේවල් තියෙනවා. එතකොට ඇඳකට දාන ඇඳ ඇතිරිලි, කොට්ට උර එහෙම තියෙනවා. එතනින් ගියහම නිතර නිතර හෝදන්නෙ නැති වුණත් හෝදන්න සිද්ධ වෙන දොර රෙදි, ජනෙල් රෙදි එහෙම තියෙනවා.

සාමාන්‍යයෙන් අපි ඔය හැම රෙද්දක් පෙරෙද්දක්ම හෝදන්නේ එක්කෝ අතේ. එහෙම නැතිනම් වඩාත් පහසුවෙන් හෝදගන්න පුළුවන් වොෂින් මැෂින් එකට දාලා. හැබැයි ඒ වගේම, හෝදගත්තු රෙදි වේලගන්නත් ඕන. අතේ හෝදගත්තු රෙදි නම් වැලේ දාලා හුළඟෙන් නැතිනම් අව්වෙන් වේලගන්න වෙනවා. දැන් එන අලුත් වොෂින් මැෂින් ගත්තොත්, වොෂින් මැෂින් එකේම රෙදි වේලන පහසුකමත් තිබ්බට, එහෙම වේලපු රෙදි වුනත් හොඳටම වේලගන්න වැලකට දාන්න වෙනවා.

දැන් ඔය ඔක්කොම හරි. හැබැයි අපි ඔය අපේ රෙදි පෙරෙදි හෝදගෙන වේලගන්නකොට කරන වැරදි එහෙමත් තියෙනවා නේද? අන්න ඒ නිසා අපි හිතුවා රෙදි ටික හෝදගෙන, වේලගෙන පිරිසිදු කරගන්න එකට ගැලපෙන ටිප්ස් කීපයක් ලබාදෙන්න!

 

1. රෙදි වෙන් කරන්න

මෙන්න මේක ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ තමයි රෙදි හෝදන්න කලින් රෙදි වෙන් කරගන්න එක. එහෙම නොකරන එකේ ප්‍රතිඵල අපි හැමෝම අඩු ගාණේ ජීවිතේ එක පාරක් හරි අත්දැකලා ඇති කියලා ෂුවර්. උදාහරණයක් විදියට කිව්වොත්, පාට යන මොකක් හරි ඇඳුමක් අනික් සුදු ඇඳුම් එක්ක හෝදලා, ඒ සුදු ඇඳුම් වලටත් ඒ පාට අල්ලලා තියෙන එක්ස්පීරියන්ස් නැද්ද? ආන්න ඒ නිසා සහ තවත් හේතු නිසා තමයි මේ රෙදි හෝදන්න කලින් වෙන් කරගන්න කියලා කියන්නේ.

 

මුලින්ම රෙදි වර්ග කරගන්න ඕන ඒකේ මැටීරියල් එක අනුව. ඒ කියන්නේ සෑහෙන්න සිනිඳු රෙදි, දළ වෙදි වලින් වෙන් කරලා හෝදන්න ඕන. එහෙම නැතිනම් අර සිනිඳු රෙදි වලට ගොරෝසු රෙදි එක්ක හේදීමෙන් හානි පැමිණෙනවා. ඒ වගේම පාට අනුව වෙන් කරන්න ඕන. කොහොමත් සුදු රෙදි වෙනමම හෝදන්න ඕන. පාට යනවා කියලා දන්න ඇඳුමක් එහෙම තියෙනවා නම් ඒක කොහොමත් වෙනම අතේ හරි හෝදන එක හොඳයි. කොහොමත් අලුත් පිට ගත්ත ඇඳුමක් එහෙම වෙනම හෝදන එක නුවණට හුරුයි. ඒ වගේම, ඔය සුමුදු සුසිනිඳු කාන්තා යට ඇඳුම් වුනත් වෙනම හෝදන එක තමයි හොඳ.

 

2. හරිම සේදුම් කුඩු

වොෂින් මැෂින් වල රෙදි හෝදනකොට සමහරු රෙදි ටිකයි වතුරයි දාලා සබන් කෑල්ලක් ඇතුළට දැම්මත් ඇති කියලා තමයි හිතන්නේ. ඒවා හරි යන්නෙ නෑ. හරි විදියට රෙදි ටික හෝදගන්න නම් හරි සේදුම් කුඩු හරි සේදුම් දියර හරි දාන්න ඕන. ඒවා තෝරගන්න අපහසුවක් නෑ. හැබැයි සේදුම් කුඩු සහ දියර, වොෂින් මැෂින් එකේ වර්ගය අනුවත් වෙනස් වෙනවා. උඩින් රෙදි දාන මැෂින් වලට වෙනමයි, ඉස්සරහින් රෙදි දාන මැෂින් වලට වෙනමයි තමයි මේ සේදුම් කුඩු එන්නේ. ඒක හොයාගන්න පුළුවන් පැකට් එකේ ටොප් ලෝඩින්, ෆ්‍රන්ට් ලෝඩින් කියලා ගහල තියෙන නිසා.

 

ඒ වගේම, කොයි තරම් සේදුම් කුඩු හෝ දියර රෙදි කොයි තරම් ප්‍රමාණයක් සඳහා යොදනවද කියන එකත් පැකට් එකේ ගොඩක් දුරට ගහලා තියෙනවා. ඒක වැදගත් වෙන්නේ මේකයි. සේදුම් කුඩු හෝ දියර ඕනෑවට වඩා දැම්මොත්, රෙදි ටික එලියට ගන්නකොට රෙදි වල කුඩු කුඩු විදියට හරි පැල්ලම් විදියට හරි ඒවා රැඳිලා තියෙනවා. ඒක රෙදි වලට හොඳත් නෑ. ඉක්මනට රෙදි ඩැමේජ් වෙනවා ඒකෙන්. වැඩිපුර සේදුම් කුඩු හෝ දියර දැම්මා කියලා වඩා හොඳට රෙදි හේදෙන්නෙ නෑ. හැබැයි ඒ වගේම, සේදුම් කුඩු හෝ දියර අඩුවෙන් දැම්මත් වෙන්නේ රෙදි හරියට හේදෙන්නේ නැති වෙන එක.

 

3. ෆැබ්රික් සොෆ්ට්නර්

දැන් කාලේ ඔය ෆැබ්රික් සොෆ්ට්නර් රෙදි හෝදන කොට දාන එක සෑහෙන්න ජනප්‍රියයි. ඒකෙන් වෙන්නේ රෙදි වලට අර සිනිඳු බවක් ලබාදෙන එක. හැබැයි ඇත්තටම ෆැබ්රික් සොෆ්ට්නර් දාන එක අනිවාර්ය නෑ. ඒක ඇත්තටම පුද්ගලික කැමැත්ත මත තමයි තීරණය වෙන්නේ. කොහොමහරි ෆැබ්රික් සොෆ්ට්නර් දානවා නම්, ඒක දාන්න ඕන සේදුම් කුඩු හෝ දියර යොදලා රෙදි ටික හෝදගත්තට පස්සේ, අන්තිම රෙදි හෝදන වටයේදී. එතකොට අතේ රෙදි හෝදනකොට? එතකොටත් ෆැබ්රික් සොෆ්ට්නර් දාන්න පුළුවන්, කිසිම අවුලක් නෑ. අන්තිමට රෙදි හෝදන වටයේදී තමයි එතකොටත් ෆැබ්රික් සොෆ්ට්නර් දාන්නේ.

හැබැයි ඉතින් ෆැබ්රික් සොෆ්ට්නර් වුනත් හැමදාම රෙදි වලට යොදන එක නුවණට හුරුද කියන එක තාමත් විවාදයට පාත්‍ර වෙන දෙයක්. මොකද මොනවා වුනත් ඔය හැමදේම කෙමිකල්ස්නේ. අන්න ඒ නිසා!

 

4. පැල්ලම්

ගෙදර පොඩි අය එහෙම ඉන්නවා නම්, ඒ අයගේ ඇඳුම් ඔහේ වොෂින් මැෂින් එකට ලෝඩ් කරලා හෝදලා ගන්නවට වඩා, පොඩ්ඩක් පැල්ලම් ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. මොකද, ඇඳුම් වල පැල්ලම් තියෙනකොට ගොඩක් වෙලාවට සාමාන්‍ය විදියට වොෂින් මැෂින් එකේ හෝදන එකෙන් ඒ පැල්ලම් යන්න ලොකු උදව්වක් වෙන්නෙ නෑ. මෙතනදී මේ පැල්ලම් කියලා කියන්නේ තීන්ත පැල්ලම්, මඩ පැල්ලම්, තෙල් පැල්ලම්, ඉඳුල් පැල්ලම්, කහට පැල්ලම්, ලේ පැල්ලම්, සෙන්ට් පැල්ලම් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හොඳම දේ මේ පැල්ලම් කලින්ම ඉවත් කරලා, රෙදි ටික වොෂින් මැෂින් එකට දාන එක. උදාහරණයක් විදියට ගත්තොත්, තීන්ත පැල්ලම් යවන්න පුළුවන් දත්බෙහෙත් ටිකක් ගාලා තදින් ඇතිල්ලීමෙන්. විනාකිරි මද රස්නේ වතුරට දාලා, ඒකෙන් ටිකක් ගාලා ඇතිල්ලීමෙන් ලේ පැල්ලම් අයින් කරන්න පුළුවන්. සෙන්ට් වලින් ඇතිවෙන පැල්ලම් අයින් කරන්නත් ඒකෙන්ම පුළුවන්. ඔය ගෙවල් වල එහෙම ආලේප කරන තීන්ත වල පැල්ලම් යවන්න නම් තිනර් ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්.තෙල් පැල්ලම් වලට බේකින් සෝඩා ටිකක් දාලා තියලා පස්සේ හෝදලා යවාගන්න පුළුවන් වෙයි. කෝපි පැල්ලම් වලටත් මද රස්නේ වතුර වලට පිඟන් හෝදන සබන් දියර එක්ක විනාකිරි ඩිංගක් දාලා හදාගත්තු මික්ස්චර් එක හරි යනවා.

 

5. පොකට්ස්

රෙදි හෝදන්න කලින්, හැම රෙද්දක්ම හොඳට ගසලා, දිගඇරලා බලලා බේසමට දාගන්න ඕන. සමහර වෙලාවට රෙදි අස්සේ අනං මනං තියෙන්න, පොඩි කෘමි සත්තු එහෙම රිංගලා ඉන්න පුළුවන්. එතකොට කමිසයක්, කලිසමක් හෝදන්න කලින් අනිවාර්යයෙන්ම සාක්කු හොඳට චෙක් කරලා බලලා බේසමට දාගන්න ඕන. අපි නොදැනුවත්වම හෝ අමතක වෙලා හෝ අපේ සාක්කු වල සල්ලි, කාසි, පෙන් ඩ්‍රයිව් වල ඉඳලා නානාවිධ දේවල් තියෙන්න පුළුවන්. මේ සමහර දේවල් එක්ක රෙදි හේදුවට පස්සේ ඒක නාස්ති වෙන්න පුළුවන්. ඒ වගේම, ඔය දෘඩ දෙයක් වොෂින් මැෂින් එකේ කරකැවෙන එකෙන් මැෂින් එකට හානි සිද්ධ වෙන්න පුළුවන්.

අන්න ඒ නිසා, රෙදි හෝදන්න කලින්, රෙදි දිග අරින එක සහ පොකට්ස් පරීක්ෂා කරන එක පුරුද්දක් විදියට කරන්න ඕන දෙයක්!

 

6. වේලමු වේලමු

රෙදි වේලනකොට නිකම්ම එක ගොඩේ දාලා හරියන්නෙ නෑ. හොඳට දිග ඇරලා, එක පිට එක දාන්නේ නැතුව වනන්න ඕන. එළියේ වැලක් බැඳලා වනන එක අපි ගොඩක් වෙලාවට කරන දෙයක්නේ. එහෙම නැතිනම් අර රෙදි වේලන ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොම කළත් හුළඟෙන් රෙදි වේලාගන්න එක තරම් සාර්ථක ක්‍රමයක් තවත් නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන්. ඒ නිසාම, වොෂින් මැෂින් එකෙන් වේලගන්න රෙදි පවා, ආයෙමත් ස්ටෑන්ඩ් එකක දාලා හරි වැලක දාලා හරි හුළගෙන් වේලාගන්න එක සාර්ථකයි. ඊට පස්සේ රෙදි එතනින් ඉවත් කරගන්න ඕන තෙත ගතියක් කොහෙත්ම නැති වෙන තරමට හොඳටම වේලුනාට පස්සේ. අපිට වැස්ස නිසා හරි රෙදි ටික තෙත නැති වෙන්න කලින් ගන්න වුණොත්, ඒවා ගොඩක් වෙලා එක ගොඩේ දාලා තියන්නේ නැතුව ආයෙමත් වේල ගන්න ඕන. එහෙම නැතිනම් පුස් ගඳ ගහනවා. ඒ වගේම, රෙදි වැලේ දාලා දවස් ගණන් අව්වේ තිබුණොත් එහෙම ඒත් රෙදි වල පාට පිච්චෙන්න බලනවා.

 

7. අහුරන්නේ කොහොමද?

හරි, දැන් ඔය විදියට රෙදි හෝදාගෙන, වේලගත්තට පස්සේ මොකද කරන්නේ? ඇත්තටම ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ වේලපු රෙදි ටික ගෙනැල්ලා පුටුවක් උඩ හරි දාලා තියන්න. ඊට පස්සේ ඉතින් සති ගණන් රෙදි ටික එතන. සමහර වෙලාවට අඳින්න ඕන ඇඳුම ඇඳුම ඒ රෙදි ගොඩෙන් අරගෙන, අයන් කරගෙන ඇඳගෙන යනවා. හැබැයි තමන්ගේ රෙදි ගැන සැලකිලිමත් වෙනවා නම් කරන්න ඕන හොඳ දේ තමයි, රෙදි ටික වේලගෙන ගෙට ගත්තට පස්සේ, හැකිතාක් ඉක්මනට ඒවා අයන් කරනවා නම් අයන් කරලා හරි තැන් වල අසුරගන්න එක. සාමාන්‍යයෙන් ඔය ලේසියෙන් නැවුම් පහරවල් හිටින රෙදි පෙරෙදි නවලා අනික් රෙදි එක්ක අඩුක් කරන එක හරියන්නෙ නෑ. ඒවා එල්ලලා තියන්න ඕන. එහෙම වෙන්නේ නැති අනික් හැම රෙද්දක් පෙරෙද්දක්ම නවලා අඩුක් කළාට කාරි නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *