සැලොන් එකකට ගියාට පස්සෙත් හැසිරෙන්න ඕන විදියක් තියෙනවද? ඒ ගැන දැනගන්න තව කියවන්න!

දැන් ඔය ගොඩක් පිරිමි උදවියට නම් සැලොන් එකකට යනවා කියන්නේ කොණ්ඩේ හරි රැවුල හරි කපාගන්න එක විතරයි. අපි ගොඩක් වෙලාවට නමට සැලොන් කිව්වට යන්නේ ඇත්තටම බාබර් සාප්පුවටනේ. එහෙම ගිහිල්ලා කොණ්ඩේ නැතිනම් රැවුල කපාගෙන එන එක තමයි කරන්නේ. හැබැයි අපිට එහෙම වුණාට සැලෝන් එකකට යන කාන්තා පාර්ශවේට ඊට වඩා සෑහෙන්න වැඩ තියෙනවා. හෙයාර් කට් එකක් ගන්න එකේ ඉඳන් අයිබ්‍රෝස් හදන එකේ ඉඳන් සැලොන් එකකින් කරගන්න නානාවිධ වැඩ ඒ ගොල්ලන්ට තියෙනවා. 

හරි කොහොම වුණත් අපි කතා කරන්න යන්නේ සැලොන් එකකට ගිහින් මොනවද කරගන්නේ කියන එක ගැන නෙවෙයි. සැලෝන් එකකට හරි, එහෙම නැතිනම් බාබර් සාප්පුවකට හරි ගිහින් කොහොමද හැසිරෙන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඇත්තටම අපි කොහේට හරි ගියාට පස්සේ හැසිරෙන විදිය, මැනර්ස් රැකගන්න විදිය කියන්නේ ගොඩක් දුරට කොමන් සෙන්ස්. ඒත් ගොඩක් දෙනෙක් සැලෝන් එකකට, බාබර් සාප්පුවකට ගිහින් තමන්ගේ වැඩේ කරගැනීමේදී නොහිතා කරන වැරදි තියෙනවා. ආන්න ඒවා හදාගත්තොත්, සැලෝන් එකකට,බාබර් සාප්පුවකට ගියහම අපිටත්, එතන වැඩ කරන අයටත්, එතනින් වැඩ කරගන්න ආපු අනික් අයටත් කරදරයක් නොවෙන්න හැසිරෙන්න පුළුවන්. ඒ මෙහෙමයි!

 

1. අපිට වගේම අනික් අයටත් වෙලාව වටිනවා

වැඩ කරන අපි හැමෝටම රත්තරන් වගේ වටින දෙයක් තමයි කාලය කියන්නේ. ආන්න ඒ නිසා, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යන අපි හැමෝම හිතේ තියාගන්න ඕන දෙයක් තමයි නිරපරාදේ තවත් කෙනෙක්ගේ කාලය නාස්ති නොකර ඉන්න අවශ්‍යයි කියන එක.

 

ප්‍රධාන වශයෙන්ම, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යන්න කලින් ඇපොයිමන්ට් එකක් දානවා නම්, ඒ වෙලාවට හරියටම යන්න හිතට ගන්න ඕන. බැරි වෙලාවත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒ වෙලාවට එතනට යන්න අමාරුයි නම්, ඒක කලින් කෝල් කරලා කියන්න ඕන. අඩු ගාණේ අපේ ඇපොයිමන්ට් එක තියෙන වෙලාව ලං වෙනකොට වත් කතා කරලා, සමාව ඉල්ලලා පරක්කු වෙනවා කියලා ඇපොයිමන්ට් එක වෙන වෙලාවකට දාගන්න පුලුවන්ද කියලා අහන්න ඕන. හැබැයි මේක නිකම්ම කම්මැලි කම නිසා කරන්න ඕන දෙයක් නෙවෙයි. වෙන කරන්නම දෙයක් නැති නම් කරන්න ඕන දෙයක්. එහෙම නැතිනම් හරි විදිය තමයි හරි වෙලාවට යන එක.

 

ඒ වගේම, ඔය බාබර් සාප්පුවකට එහෙම විශේෂයෙන්ම යනවා නම් ඇපොයිමන්ට්‍ සිස්ටම් එකක් නෑ. ආපු පිළිවෙලට තමයි වැඩේ කරන්නේ. ආන්න එතකොට කරුණාකරලා පෝලිම් පනින්න එපා. වෙන කෙනෙක්ට කලින් තමන්ගේ වැඩේට චාන්ස් එක දෙන්න කියලා යාප්පු වෙන්න හදන්නත් එපා. අනික් අයටත් වැඩ තියෙනවා. ඒ නිසා ඉවසලා පෝලිමේ ඉන්න!

 

2. පොඩ්ඩක් පිරිසිදු වෙලා යමුද?

දැන් අපි සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියාට පස්සේ එතන වැඩ කරන අයට අපේ ශරීරයත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. එතකොට අපි පිරිසිදු නැති නම්, ඒ මිනිස්සුන්ට කොයි තරම් අපහසුතාවයක් සිද්ධ වෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ. උදාහරණයක් විදියට අපි දවස් ගණන් කොණ්ඩේ හෝදන්නෙ නැතුව ඉඳලා කොණ්ඩෙ කපාගන්න කියලා බාබර් සාප්පුවකට ගියාට පස්සේ බාබර් උන්නැහේට කැත නැතුව අපේ කොණ්ඩේ අල්ලන්නවත් පුළුවන්ද? 

 

ඒ වගේම, අපි අපිරිසිදුවට ඒ වගේ තැනකට යන එකෙන් අපිත් ලොකු අපහසුතාවයකට මුහුණ දෙනවා. ආන්න ඒ නිසා, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යන්න කලින් හොඳින් පිරිසිදු වෙලා, පිළිවෙලකට යන්න. එහෙම නැතුව උදේ නැගිට්ට ගමන්ම කුණු කෙළ පිටින් එතනට යන එක කැතයි. ඒ නිසා, කරුණාකරලා සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යන්න කලින් තමන්ගේ පිරිසිදුකම ගැන දෙපාරක් නෙවෙයි, තුන්පාරක් හිතන්න!

 

3. තමන්ට මොකද්ද කරගන්න ඕනේ?

සාමාන්‍යයෙන් අපි සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගිහිල්ලා අපිට කරගන්න ඕන මොනවද කියන එක බාබර් උන්නැහේට හරි සැලොන් එකේ වැඩ කරන අක්කට හරි කියනවනේ. එතකොට ඒ මිනිස්සු ඒක ඒ විදියටම කරලා දෙන්න උත්සාහ කරනවා. හැබැයි සමහරු ඉන්නවා තමන්ට කරගන්න ඕන මොනවද කියන එක ගැන හරි අයිඩියා එකක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, බාබර් සාප්පුවට ගිහින් කියනවා කොණ්ඩේ හොඳට කොට කරන්න කියලා. ඉතින් බාබර් උන්නැහේත් කොණ්ඩේ කොට කළාට පස්සේ ඔන්න ඒ මනුස්සයා එක්ක කෙළගන්නවා තමන්ගේ කොණ්ඩේ කොට කරලා වැඩියි කියලා!

 

අන්න ඒ නිසා කරුණාකරලා සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යනකොට, තමන්ට කරගන්න අවශ්‍ය මොකක්ද කියන එක ගැන හොඳ අවබෝධයකින් යන්න ඕන. ඊට පස්සේ එතන වැඩ කරන අයට වටවංගු ගහන්නේ නැතුව තමන්ට අවශ්‍ය ස්ටයිල් එක හරි කට් එක හරි පැහැදිලිව, සරලව කියන්න.

 

තමන්ට ඕන මොන වගේ ස්ටයිල් එකක්ද කියලා ෂුවර් නැතිනම්, අන්න එතකොට අපිට එතන වැඩේ කරන කෙනාගෙන් අහලා හරි සාකච්ඡා කරලා හරි දැනගන්න පුළුවන් අපේ පෙනුමට ගැලපෙන ස්ටයිල් එක.

 

4. ෆෝන් එකේමද?

දැන් ඔය සැලොන් එකකට ගියාට පස්සේ ගොඩක් දෙනෙක් ෆෝන් එක අතේමනේ තියාගෙන ඉන්නේ. තමන්ගේ හෙයාර් කට් එක හරි වෙන බියුටි කල්චර් වැඩක් හරි කරන එක ෆොටෝ ගහලා ඉන්ස්ටග්‍රෑම් දාන එක තමයි ගොඩක් අය කරන්නේ. තවත් සෑහෙන්න පිරිසකට තමන්ගේ කොණ්ඩේ කපනකල් හරි වෙන බියුටි කල්චර් වැඩක් කරනකල් හරි බලාගෙන ඉන්න අමාරුයි. ඉතින් ෆෝන් එක අරගෙන යනවා ෆේස්බුක්!

 

හැබැයි ඇත්තටම හරි විදිය නම්, තමන්ගේ කොණ්ඩේ කපන එක හරි, රැවුල කපන එක හරි ඒ වගේ කරන්න තියෙන වැඩක් කරනකල් ෆෝන් එක අතට නොගෙන ඉන්න එක. පුළුවන් නම් සයිලන්ට් දාලා තියන්න. විශේෂයෙන්ම හිතන්න අපේ කොණ්ඩේ කපනකොට අපි මූණ පාත් කර කර ෆෝන් එක දිහා බලන එක කොණ්ඩේ කපන මනුස්සයට මොන තරම් කරදරයක්ද කියලා. ඒ නිසා, ඔය කොණ්ඩෙට කලර් එකක් දාලා ටික වෙලාවක් ඉන්න කියන වෙලාවක වගේ, අපේ ෆෝන් කෙරුවාවෙන් වැඩේට කිසිම බාධාවක් නොවෙන වෙලාවක ඇරෙන්න ෆෝන් එක අතට ගන්න නරකයි!

 

5. වඳුරෙක් වගේ හැසිරෙන්න එපා!

සමහරු ඉන්නවා, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියාට පස්සේ එතන වැඩ කරන අයටත් වඩා දේවල් දන්නවා. ඉතින් එතන තියෙන එක එක බඩුමුට්ටු ඇද ඇද, ඒවා ට්‍රයි කරන්න උත්සාහ කර කර ඒ අයට වාතයක් වෙනවා. ඒ වගේම සමහරු ඉන්නවා ඉතින් අර දකින දකින දේ අදින්න, ට්‍රයි කරන්න උත්සාහ කරන. ඒ අයට අත පය තියාගෙන ඉන්න බෑ. බාබර් කොණ්ඩේ කපනකොට එතන තියෙන මොකක් හරි ගැජට් එකක් ඇදල බලන්න ඕන. එහෙම නැතිනම් අඩු ගාණේ එතන තියෙන හෙයාර් ඔයිල් එකක් ඇරලා සුවඳ බලන්න හරි ඕන. ආන්න ඒ නිසා කරුණාකරලා සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියාට පස්සේ එහෙම වඳුරෙක් වගේ හැසිරෙන්න හදන්න එපා. තමන්ගේ අත් දෙක තමන් ගාව තියාගෙන, එතන ඉන්න මිනිස්සු තමන්ගේ වැඩේ කරනකල් ඉවසිල්ලෙන් ඉන්න! 

 

6. පොඩි අය එක්ක පරිස්සමෙන්

සමහර වෙලාවට ඔය සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියාට පස්සේ එතන වැඩක් කරගන්න ඇවිත් ඉන්න අනෙක් අයටත්, වැඩ කරන අයටත් ලොකුම වදයක් වෙන්නේ පුංචි ළමයි. ඒකට ළමයින්ට දොස් කියන්න බැහැනේ. පොඩි එවුන් කියන්නේ පොඩි එවුන්. පොඩි ළමයෙක්ට ගොඩක් වෙලාවට තේරුමක් නැහැ සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියාට පස්සේ හයියෙන් කෑ ගහන එක, අඬන එක, එහේ මෙහේ දුවන එක, එතන තියෙන දේවල් ඇදලා බලන එක වැඩ කරන අයටත්, වැඩක් කරගන්න ඇවිත් ඉන්න අයටත් සෑහෙන්න ලොකු කරදරයක් කියන එක. ඒකෙන් වැඩේට බාධා වෙනවා. හැබැයි ඉතින් ඒ අවබෝධය ඒ දරුවන්ව එතනට අරගෙන එන දෙමාපියන්ට හරි වෙනත් කෙනෙක්ට හරි තියෙන්න ඕනනේ. අන්න ඒ නිසා, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි යනකොට දේවල් නොතේරෙන වයසේ දරුවන්ව තියලා යන්න. ඒ කියන්නේ දරුවෙක්ගේ කොණ්ඩයක් කපන්න එහෙම නෙවෙයි නම් සැලොන් එකට යන්නේ!

 

7. ආචාරශීලීව, ඉවසිලිමත්ව, කරදරයක් නොවී…

අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ මේ ටිකනේ. නැද්ද? අපි ඕනම තැනකට ගියහම ආචාරශීලීව හැසිරෙන්න, ආචාරශීලීව කතා කරන්න ඉගෙන ගන්න ඕන. මහ හයියෙන් කෑ ගහන්නේ නැතුව, පොඩ්ඩ බැරි වුණහම ගේම ඉල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. එතකොට සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියහම එතන සෑහෙන්න සෙනඟ ඉන්න පුළුවන්. එහෙමයි කියලා අපිට බැහැ ඉවසිල්ලක් නැතුව වැඩ කරලා එතන අනික් අයටත් වාත වෙන්න. ඔන්න ඔය සරල කාරණාව ඉගෙන ගන්න පුළුවන් නම්, සැලොන් එකකට හරි බාබර් සාප්පුවකට හරි ගියහම ඒ මිනිස්සුත් හරිම හිත සතුටින් අපේ වැඩේ කරලා දෙයි!

 

දැන් පැහැදිළියි නේද? මේ විදියට වැඩ කරනවා නම්, තමන්ට සැලොන් එකට හරි බාබර් සාප්පුවට හරි ගිහින් කරගන්න ඕන වැඩේත් හිතට හරියට විදියට කරගෙන, වෙන කෙනෙක්ට කරදරයකුත් නොවී, හිත සතුටෙන් ගෙදර එන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *