චීනයේ එක් දරුවෙකු පමණක් වන නීතිය ඉවත් කළත් තවමත් චීන දෙමාපියන්ට බොහෝවිට ඉන්නේ ඒක දරුවෙකු පමණයි. ඉතින් චීන දරුවන්ට එයම තවත් එක ප්‍රෙශර් එකක්. මොකද ඉන්න ආච්චි, සීයා, අම්මා, තාත්තා සහ අනෙක් සියළු දෙනාම එක දරුවෙකුට ඉගෙනීම සහ අනෙක් දේවලට බලපෑම් කරනවා. චීන දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය ඉහළ නංවන්න චීන රජය නීතිමය වශයෙන් සැලසුම් සකස් කරන්න කටයුතු කරලා තියෙනවා.
1. ඔන්ලයින් ගේම් වලට තිබූ ඇබ්බැහිය
චීනයේ දරුවන්ගේ වැඩි දෙනෙක් දෙමාපියන් දෙදෙනාම රැකියාවට යන අය. එතකොට ඔවුන් දිවි ගෙවන්නේ පාළු අවකාශයක. ඒ නිසා ඒ කාලය ගත කරන්න ඔවුන් ඉතා පහසුවෙන් ඔන්ලයින් ගේම්ස් කරා යොමු වුණා. ඇතැම් ඔන්ලයින් ගේම් වලට ඇබ්බැහි වුන දරුවන් ඉන්ටනෙට් කැෆේ වල බොහෝ රෑ වෙනකල් ඔන්ලයින් ගේම් වල නිරත වුණා. මේ නිසා දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩුවෙන බවත් අධ්‍යාපනය සහ ව්‍යායාම කෙරේ තියෙන අවධානය අඩු වෙන බවත් චීනය නිරීක්ෂණය කළා. ඉන් පසු ඔන්ලයින් ගේම්ස් නැවැත්වීමේ හදිසි තීරණයක් චීනය ගත්තා.
2. ඔන්ලයින් ගේම් තහනම
චීනයේ නව නීති අනුව දරුවන්ට ඔන්ලයින් ගේම් ගහන්න පුළුවන් සතියකට දවසක් එක් පැයක් පමණයි. ඒ අනුව ඔන්ලයින් ගේම් ඊට වඩා කාලයක් සෙල්ලම් කරන අය අන්තර්ජාලය මගින්ම බ්ලොක් කරනු ලබනවා. මේ තහනම ගැන චීන බලධාරීන් කියන්නේ මේ වෙද්දි ඔන්ලයින් ගේම් වලට තියෙන ඇබ්බැහිය චීන ළමුන් මිලියන දෙසීයකට වැඩි ගාණකට බලපාන බවයි. එය ඔවුන් කියන විදිහට ඉලෙක්ට්‍රොනික මත්ද්‍රව්‍යයක් මට්ටමට දරුවන්ගේ සාමාන්‍ය ජීවිතය අවහිර කරලා තියෙනවා. සොයාගෙන ඇති අන්දමට චීන දරුවන් දහයකින් හය දෙනෙක්ම මේ ඔන්ලයින් ගේම් වලට හුරු වෙලා තිබුණා.
3. ගෙදර වැඩ නැවැත්වීම
ඉන්දියාව, ලංකාව, චීනය වගේ ආසියානු රටවල ළමුන්ට පාසලෙන් ගෙදර වැඩ ලබාදීම අරුමයක් නෙමෙයි. ඒ අනුව සැබැවින්ම දරුවා දිනකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන කාලය ඉබේම වැඩි වෙනවා. අධ්‍යාපනය ලැබීමේ කාලය වැඩි වීමෙන් සමස්ථයක් ලෙස දරුවාගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩිවෙන්නේ නැහැ. එතුළින් දරුවන්ට ඉක්මනින් අධ්‍යාපනය එපා වී, එය අප්‍රිය දෙයක් බවට පත්වෙන්නත් ඉඩකඩ තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒ නිසා දරුවන්ට දෙන ගෙදර වැඩ නැවැත්වීමට චීන රජය කටයුතු කරලා තියෙනවා.
4. ටියුෂන් නැවැත්වීම
කලින් කාරණයේදී මෙන්ම පාසලේ උගන්වන දෙය නැවත ඉගැන්වීමට ටියුෂන් ගැනීමත් ආසියානු රටවල සුලභ දෙයක්. ඒ හරහාත් දරුවන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේම එකම කරුණු නැවත නැවත ඉගෙනීම තුළින් ලොකු නාස්තියකුත් වෙනවා. මේ ගෙදර වැඩ සහ ටියුෂන් හරහා දරුවන්ගේ සමාජ ක්‍රියාකාරකම්, ව්‍යායාම, ක්‍රීඩා කටයුතු වගේ බාහිර ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අඩුවෙන බව චීනය නිරීක්ෂණය කරලා තිබුණා. ඒ නිසා ඔවුන් දරුවන් අධ්‍යාපනයෙන් විතරක් නෙමෙයි සෞඛ්‍ය සම්පන්නවත් පිරිපුන් පිරිසක් කරන්න ටියුෂන් සහ ගෙදර වැඩ සීමා කරන්න නීතියෙන්ම කටයුතු කරලා තියෙනවා.
5. රජය මගින් දරුවන්ට සීමා දැමීම සාර්ථකද?
අධ්‍යාපනය සම්බන්ධයෙන් බටහිර රටවල වඩාත් දරුවන්ට හිතකර වටපිටාවක් තියෙනවා. ෆින්ලන්තය, නෝර්වේ, ස්වීඩන් ආදී රටවල බුද්ධිමත් බව අතින් වගේම ආකල්ප අතිනුත් සාරවත් දරුවන් අධ්‍යාපනයෙන් බිහි කර ගන්නවා. එහෙත් ඒ රටවල රජයෙන් කරන බලපෑමට වඩා දෙමාපියන් සහ දරුවන් සිය කැමැත්තෙන්ම සකසාගත් ක්‍රමවේද තමයි ක්‍රියාත්මක වන්නේ. ඇතැම් දියුණු රටවල සිය දරුවාට අධ්‍යාපනය ලබා දෙන්නේ කුමන අධ්‍යාපන ක්‍රමවේදය යටතේද කියන කරුණ තීරණය කරන්නට පුළුවන්. චීන ක්‍රමය පෙනුමෙන් හොඳ වුවත් ඒ මගින් දරුවන් සහ පවුල සම්බන්ධ රජයේ ආධිපත්‍යය තවත් වැඩි කරන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
6.දරුවන්ගේ වැරදි වලට දෙමාපියන්ට දඬුවම්
දරුවන් ගෙදර සිට අධ්‍යාපනයට යොමු වූ පහුගිය කාලයේ වගේම ඊට පෙරත් දරුවන් සම්බන්ධ නොමනා දරුණු හැසිරීම් චීනයෙත් වෙන රටවල වගේම වාර්තා වුණා. චීනය කියන පරිදි නව නීති මගින් දරුවන් පාලනය කරගත්තේ නැතහොත් දෙමාපියන්ටත් අදාළ දඬුවම් සෘජුවම විඳ දරාගන්න වෙනවා. පවුලේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම කියන නීතිය යටතේ තමයි දෙමාපියන්ට දඬුවම් විඳින්නට වෙන්නේ. එහිදී දරුවන්ගේ විවේක කාලය ගතකිරීම සම්බන්ධයෙන් වැරදි ලෙස මගපෙන්වීම් සිදුකළොත් ඒ සඳහා දෙමාපියන්ට දඬුවම් නියම වෙනවා ඇති.
7. දරුවන්ගේ ඔන්ලයින් දත්ත පිළිබඳ නීති
මේ නීති නම් මෑතක ආව ඒවා නෙමෙයි. 2019 දී හඳුන්වා දුන් මේ නීති මගින් ඔන්ලයින් අවකාශය තුළදී දරුවන්ගේ දත්ත ආරක්ෂාව, ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහතික වෙනවා. මේ අනුව දරුවන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීමට වෙනමම ක්‍රමවේදයක් චීනයේ ක්‍රියාත්මක වෙනවා. එහිදී දරුවන් යම් තැනක ලියාපදිංචි වන්නට ඔන්ලයින් අවකාශය යොදාගත්තොත් ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීම අනිවාර්යය වෙනවා. මේ මගින් දරුවන් අනවශ්‍ය වෙබ් අඩවි වලට ඇතුළත් වීම ඉබේම පාලනය වෙනවා.
සමාජය ඔන්ලයින් වෙද්දි, තාක්ෂණය අලුත් වෙද්දි දරුවන් එයට ඉතා පහසුවෙන් ගොදුරු වෙන්නට පුළුවන්. මොකද භාවිතයට ඉතා පහසු සහ සිත්ගන්නාසුළු ආකාරයෙන් නිපදවෙන ඔන්ලයින් ගේම්ස් සහ ඔන්ලයින් විනෝද වැඩ හුරුවන්නට දරුවන්ට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔන්ලයින් හැසිරීම පාලනය සම්බන්ධයෙන් හැමදාම කියව කියව ඉන්නේ නැතිව චීනය ගත්ත මේ නීති රීති, ක්‍රියාමාර්ග සැබැවින්ම ලොකු වෙනසක්. ඒ හරහා ඇතැම් ව්‍යවසායකයන්ට පාඩුවක් වුණත් ඒ පාඩුවට වඩා චීන රජය දරුවන්ගේ අනාගතය ගැන අවධානය යොමු කර ඇති බවක් පේනවා.
Leave a Reply