ලෝකයේ විවිධ රටවල ළමා සෙල්ලම්

සෙල්ලම් කියල කිව්වම දැන් කාලේ ළමයි නම් ඉතින් වැඩිම හරියක් කරන්නෙ පරිගණක ක්‍රීඩා, සමාජ මාධ්‍ය හරහා කරන ක්‍රීඩා, එහෙමත් නැත්තම් ඔය එක එක සුකුරුත්තන් සෙල්ලම් බඩු වලින් කරන සෙල්ලම්. හැබැයි අපි පුංචි කාලේ වගේම ඊටත් කලින් ඉඳලම ලංකාවේ පුංචි දරුවන් එළිමහනේ සෙල්ලම් කරද්දී කරන්න පුරුදුවෙලා හිටපු හරි අපූරු කෙලි සෙල්ලම් කිහිපයක්ම තිබුනා. එළුවන් කෑම, පංච දැමීම, කබඩි, එල්ලේ, පනා හැංගීම වගේ අපූරු ක්‍රීඩා ඒ ලැයිස්තුවට ඇතුළත්. ඒ වගේම තමයි ලෝකය පුරාමත්. පුංචි ළමයි වෙනුවෙන්ම නිර්මාණය වුණු ඒ ඒ රටවලටම ආවේණික අපූරු ක්‍රීඩා ලෝකයේ හුඟක් රටවල් වල දකින්න පුළුවන්. ඉතින් අපි හිතුවා අද ලෝකය පුරා විවිධ රටවල කෙරෙන ළමා සෙල්ලම් කිහිපයක් ගැන කතා කරන්න.

 

 

1. Corre, Corre la Guaraca – චිලී රාජ්‍යය

චිලී කියල කියන්නේ දකුණු ඇමරිකාවට අයත් රාජ්‍යයක්. මේ රටේ කුඩා ළමයින්ගේ අපූරු ක්‍රීඩාවක් තමයි මේ Corre, Corre la Guaraca එහෙමත් නැත්තම් Run, Run, la Guaraca කියල කියන්නෙ. මේ la Guaraca කියන්නෙ නම් එච්චරම හොඳ තේරුමක් තියෙන වචනයක් නෙමෙයි කියල තමයි කියන්නෙ. ඒත් මේ ක්‍රීඩාවනම් හරිම අපූරුයි. මේක අපේ පනා හැංගීම කියන සෙල්ලමටත් ටිකක් විතර සමානයි. කුඩා ළමයින් පස් දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් රවුමට වාඩිවෙලා ඉන්නකොට එක ළමයෙක් ලේන්සුවක් අතින් අරගෙන රවුම වටේ ගමන් කරන්න ඕන. ඒ අතරේ අනිත් ළමයින් Corre, Corre la Guaraca කියමින් ගායනය කරනවා. රවුමේ ඉඳගෙන ඉන්න ළමයින්ට පිටුපස බලන්න ආවසර නැහැ. බැලුවොත් ඔහුගේ හිසට පහරක් එල්ල වෙනවා. ලේන්සුව අතේ තියෙන ක්‍රීඩකයා රවුමේ එක අයෙකුගේ පසුපසින් ලේන්සුව තියලා දුවන්න අවශ්‍යයි. ලේන්සුව තමාගේ පසුපස බව රවුමේ ඉන්න කෙනා තේරුම් ගන්න කලින් ඔහු රවුම සම්පූර්ණ කළොත් ඔහුට රවුමට ඇතුළත් වෙන්න පුළුවන්. අනෙක් කෙනා ලේන්සුව ගෙන රවුම වටේ යන්න ඕන. හැබැයි රවුම සම්පුර්ණ කරන්න කලින් ඔහුව අල්ලගන්න දෙවෙනි ක්‍රීඩකයාට හැකි වුනොත් ඔහු නැවත රවුම වටේ යන්න ඕන.

 

 

2. Pass the Parcel – එක්සත් ජනපදය  

එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ ක්‍රීඩාවක් වන මේ ක්‍රීඩාව මධ්‍යතන යුරෝපීය යුගයේ සිටම කෙරෙන එකක් බවටයි විශ්වාස කරන්නේ. අද කාලෙනම් හුඟක්ම උපන්දින වැනි පිරිසක් එක්රැස් වෙන සාද වලදී තමයි මේ ක්‍රීඩාව කෙරෙන්නේ. වැඩිහිටියෙක් විසින් කලින් තෝරාගන්නා යම් ත්‍යාගයක් විවිධ වර්ණයන්ගේ කොළ කිහිපයකින් ඔතන්න ඕන. ක්‍රීඩාව පටන් ගන්න අවස්ථාවේ ළමයින් පිරිස රවුමක් විදිහට වාඩි කරවලා පසුබිමින් සංගීතය යොදලා තෑගි පාර්සලය අතින් අතට යැවීම සිදුකරනවා. සංගීතය නවතින අවස්ථාවේ පාර්සලය අතැති කෙනා එක කවරයක් ඉවත් කරන්න අවශ්‍යයි. ඒ විදිහට ගිහිල්ලා අවසාන කවරය ඉවත් කරන ක්‍රීඩකයාට ත්‍යාගය හිමිවෙනවා.

 

 

3. Skippyroo Kangaroo – ඕස්ට්‍රේලියාව

ළමයින් හයදෙනෙකු හෝ උපරිම 25 දෙනෙකු යොදාගෙන තමයි මේ ක්‍රීඩාව සිදු කරන්න අවශ්‍ය. ළමයින් සියලු දෙනා රවුමක වාඩිවෙලා ඉන්දැද්දී වැඩිහිටියෙක් විසින් එක ළමයෙකුව නම් කරනවා රවුම මැදට ඇවිත් ක්‍රීඩාව ආරම්භ කරන්න. ඔහු තමයි පළමු Skippyroo, kangaroo. ඔහු හෝ ඇය රවුම මද ඇස වහගෙන වාඩිවෙලා ඉන්නකොට අනෙක් දරුවන් “Skippyroo, kangaroo, dozing in the midday sun, comes a hunter, run, run, run” කියලා ගායනා කරනවා. ඒ අතරේ වැඩිහිටියෙක් විසින් තව දරුවෙක් නම් කරනවා. ඒ දරුවා රවුම මැද ඉන්න Skippyroo, kangaroo ගේ උරහිස අල්ලලා “Guess who’s caught you just for fun? කියලා කියන්න ඕන. උරහිස අල්ලපු කෙනාගේ කටහඬ හඳුනගෙන නම නිවැරදිව කියන්න Skippyroo, kangaroo ට පුළුවන් වුණොත් ඔහු රවුමට ගිහිල්ලා දෙවන දරුවා මැදට එනවා. ඒ විදිහට සියළුම දරුවන්ට Skippyroo, kangaroo වෙන්න අවස්ථාවක් ලබෙනකන්ම ක්‍රීඩාව කෙරෙනවා. ඕස්ට්‍රේලියාවේ බොහොමයක් පෙරපාසල් වල එහෙම නම් මතක තබාගැනීම පහසු කරවන්න මේ ක්‍රීඩාව දරුවන්ට කරවනවා.

 

 

4. Ten Ten – නයිජීරියාව

මේක ජපානයේ Rock Paper Scissors ක්‍රීඩාවට ටිකක් සමානකම් කියන ක්‍රීඩාවක්. එකිනෙකට මුහුණ බලාගෙන සිටගෙන ඉන්නා දරුවන් දෙදෙනෙක් පිටුපසට අත්පුඩි ගසමින් “Ten, Ten, (නැවතීමක්) Ten” යනුවෙන් දෙදෙනා මාරුවෙන් මාරුවට ගායනා කරනවා. අවසාන Ten කියන වචනයේදී ඔවුන් දෙදෙනාම තම එක කකුලක් ඔසවා තබාගන්න ඕන. දෙදෙනාම සමාන කකුල එසවුවොත් ගායනය ආරම්භ කළ දරුවාට ලකුණක් හිමිවෙනවා. විරුද්ධ කකුල් එසවුවොත් එය ජය පරාජයක් නොමැති වටයක් ලෙස සැලකෙනවා. මෙය කුඩා දරුවන් තුළ දෑත් සහ ඇස් සම්බන්ධීකරණ කුසලතාවය ඉහළ නංවන්න ඉතා හොඳ ක්‍රීඩාවක් විදිහට සැලකෙනවා.

 

 

5. Catch the Dragon’s Tail – චීනය

මේ ක්‍රීඩාවට දරුවන් හතරක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අවශ්‍යයි. සියළුම දරුවන් එක පෙළට සිටගෙන ඉදිරියෙන් සිටින කෙනාගේ උරහිස මත දෑත් තබාගෙන පේලියක් සකසා ගන්නවා. ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා තමයි මකර හිස. ඔහුගේ අභියෝගය තමයි මකර වලිගය හෙවත් අවසාන ක්‍රීඩකයා හඹාගොස් ඔහුට පහරක් එල්ල කිරීම. අනෙක් ක්‍රීඩකයින් ඔහුව ඒ ගමනින් වළක්වමින් සිටිම තමයි කරන්න ඕන. අවසානයේ මකර හිස, මකර වලිගය අල්ලාගත් පසු වලිගය නව හිස බවට පත්වෙන අතර අනෙක් ක්‍රීඩකයින් එක ස්ථානයක් පසුපසට යමින් නැවත පෝලිම සකස් වෙනවා.

 

 

6. Il Lupo Mangiafrutta – ඉතාලිය

ක්‍රීඩකයින් තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකට මෙම ක්‍රීඩාව සිදුකරන්න පුළුවන්. මුලින්ම එක දරුවෙකු වෘකයා විදිහට තෝරාගැනීම සිදුකරනවා. අනෙක් දරුවන් ඔහුට ඉදිරිපසින් පේළියට සිටගෙන ඉන්නවා. ඒ අතරමැද ස්ථානයක් Home ලෙසින් නම් කරනවා. පේළියේ සිටින දරුවන් තම තමන්ට එක එක පළතුරු වල නම් යොදාගන්න අවශ්‍යයි. ක්‍රීඩාව ආරම්භ කළ පසු මුලින්ම සියළුම ක්‍රීඩකයින් තම තමන්ගේ පළතුරු සඳහන් කරන අතරේ වෘකයා ඒ සියල්ල මතක තබාගන්න අවශ්‍යයි. ඊළඟට මේ විදිහේ දෙබසක් හුවමාරු වෙනවා.

වෘකයා : “Knock, Knock” (ටක් ටක් ටක්)

ළමයින් : “Who is it? (කව්ද ඔතන?)

වෘකයා : “I am the fruit-eating wolf!” (මම පළතුරු කන වෘකයා)

ළමයින් : “What fruit do you eat?!” (මොන පළතුරද ඔබට අවශ්‍ය?)

වෘකයා : *Names a fruit* (*පළතුරක් නම් කරනවා*)

ඊළඟට වෘකයා ඉක්මනින් ඒ නම් කළ පළතුරට අදාළ ක්‍රීඩකයා අල්ලාගන්න අවශ්‍යයි. ක්‍රීඩකයා වෘකයාට හසුවීමට පෙර Home නමින් නම් කළ ආරක්ෂක ස්ථානයට දුවගෙන යන්න උත්සාහ කරන්න අවශ්‍යයි. පැරදුම ලැබෙන ක්‍රීඩකයා ඊළඟ වෘකයා බවට පත්වෙනවා.

 

 

7. Pilolo – ඝානා රාජ්‍යය

මේ ක්‍රීඩාව කරන්න නිධානය ලෙස හඳුන්වන දේවල් කිහිපයක් සොයාගන්න අවශ්‍යයි. කුඩා සෙල්ලම් බඩු කිහිපයක්, වෙනස් ගල් කිහිපයක්, සිප්පි කටු කිහිපයක් වගේ දේවල් යොදාගන්න පුළුවන්. නායකයා ලෙස නම් කරන පුද්ගලයා ඒ සියල්ල විවිධ ස්ථාන වල සඟවනවා. ඊළඟට ඔහු “Pilolo” ඒ කියන්නේ “සොයන්න වෙලාව හරි” යනුවෙන් කෑගහනවා. අනෙක් ක්‍රීඩකයින් කලින් තීරණය කරගත් කාලය ඇතුළත හැකි තරම් අයිතම හොයාගන්න ඕන. වැඩිම ප්‍රමාණයක් සොයාගන්නා ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *