ඔබ නැරඹිය යුතුම ඇසෑම් සිනමාපට හතක්

අපි මීට පෙරත් වැඩිය කතාබහට ලක් නොවන සිනමාවක් වන බෙංගාලි සිනමාවේ නැරඹිය යුතුම සිනමාපට හතක් ගැන කතා කළා ඔයාට මතක ඇති. ඉතින් අද අපි කතාකරමු ඒ වගේම වැඩිය කතා බහට ලක් නොවන සිනමාවක් වන ඇසෑම් සිනමාවේ නැරඹිය යුතුම සිනමාපට හතක් ගැන.

 

ඔබ නැරඹිය යුතුම බෙංගාලි සිනමාපට හතක්

 

 

 

1. Aamis 

මාංශ භක්ෂණය හා බැඳුණු තරමක් පිළිකුල් සහගත මාතෘකාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටයේ කතාව දිව යන්නේ. මැදි වියේ පසුවන විවාහක වෛද්‍යවරියක් සහ තවත් තරුණයෙක් අතර ඇතිවන අමුතුම සම්බන්ධතාවයක් වටායි මේ කතාව ප්‍රධානව ගලායන්නේ. මේක තරමක් විතර ලංකාව තුළත් ආන්දෝලනයක් ඇති කරපු සිනමාපටයක් නිසා ඔබ සමහර විට මේ සිනමාපටය නරඹලත් ඇති. නරඹපු නැති අයටත් අනිවාර්යයෙන්ම බලන්න ආරාධනා කරනවා. සංවේදී පුද්ගලයන්ට මෙම චිත්‍රපටයේ සමහර දර්ශන නැරඹීමේදී අපහසුතාවන් ඇතිවීමට ඉඩ තිබෙන බවත් කිව යුතුමයි. 

 

 

2. Village Rockstars 

 91 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපට කාණ්ඩය සඳහා ඉන්දියාව නියෝජනය කිරීමට වගේම 65 වන ඉන්දියානු ජාතික සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය බවට පත්වන්නටත් මේ චිත්‍රපටය සමත් වුණා. ආයේ ඉතින් මේ ෆිල්ම් එක බලන්න තව හේතු මොකටද නේද? දුෂ්කර ගම්මානයක ජීවත් වන දැරියක් ඇතුළු තවත් කුඩා ළමුන් පිරිසකගේ එක් හීනයක් තමයි මේ සිනමාපටයට පාදක වෙන්නේ. සුන්දරත්වය සහ වේදනාව එකට කැටිකර නිර්මාණය කරපු විශිෂ්ට චිත්‍රපටයක් හැටියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 

 

 

3. Kothanodi 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අපි උඩ කතාකරපු ආමිස් (Aamis) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම වීමත් විශේෂත්වයක්. හොඬපර ගෙඩියක් පස්සෙන් එන කාන්තාවක්, තම අලුත උපන් දරුවන් මරණයෙන් බේරාගන්න උත්සාහ කරන මවක්, සැමියාගේ දියණියට කුරිරුකම් කරන කුඩම්මා කෙනෙක් සහ පිඹුරෙක්ට තම දුවව විවාහ කරදෙන මවක් යන චරිත හතර වටායි මෙම චිත්‍රපටයේ කතාව දිව යන්නේ. Aamis චිත්‍රපටයේ තිබ්බ පිළිකුල ඒ ආකාරයටම නොවුණත් වෙනස් ආකාරයකට දෙන්න අධ්‍යක්ෂවරයා මෙහිදීත් සමත් වෙලා තියෙනවා. 

 

 

4. Jetuka Pator Dore

ජඩුමොනි දත්තා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට පාදක වෙන්නේ තම කුඩා කල මිතුරෙකු වුණු රජත් සමඟ හැදී වැඩුණු අනාථ දරුවෙක් වන රාධාගේ කතාවයි. ගමේ ධනවත් ප්‍රධානියෙක් සමග සිදුවන ඔවුන්ගේ ගැටීම තමයි චිත්‍රපටයේ කතාව මගින් ඉස්මතු වන්නේ. ඉතින් අපි කලින් කතාකරපු චිත්‍රපට වගේම ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සිනමාපටයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්.

 

5. Ishu

 මේ සිනමාපටයත් තරමක් විදියේ වෙනස් මාදිලියේ සිනමාපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි ඉෂූ කියන චරිතය.  ඇගේ ප්‍රියතම නැන්දණිය වෙන්නේ අම්බිකා. ඉතින් මේ චරිත දෙක මූලික කරගෙන දිවයන මේ කතාව මගින් යම් යම් ජන කොට්ඨාස අතර පවතින මිත්‍යා විශ්වාසයන් සහ ඉන් සිදුවන බලපෑම් ගැනත් ප්‍රබලව අපේ අවධානයට ගෙන එනවා. ඉතින් තරමක් වෙනස් රසවින්දනයක් අනිවාර්යයෙන්ම මේ සිනමාපටයෙන් ඔබ ලබාගනීවි. 

 

 

6. Bulbul can sing 

කලින් අපි කතා කරපු Village Rockstars සිනමාපටයේ අධ්‍යක්ෂකවරියමයි මේ සිනමාපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. මෙයත් Village Rockstars සිනමාපටය වගේම සෑහෙන්න ඇගයීම් ලබපු සිනමාපටයක්. යොවුන් වියේ පසුවන තරුණියන් දෙදෙනෙක් සහ තරුණයෙක් අතර පවතින මිත්‍රකමත්, වැඩිහිටි වියට පත්වීමත් සමග සමාජයේ අපේක්ෂාවන් සහ ඔවුනොවුන්ගේ අපේක්ෂාවන් අතර සිදුවන ගැටීමත් මෙම චිත්‍රපට කතාවෙන් පිළිබිඹු වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ඇසෑම් සිනමාපටයක් මෙයත්.

 

 

7. Baandhon 

2008 වසරේ සිදුවන මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ තම මුණුබුරා සොයාගෙන මුම්බායට පැමිණෙන වියපත් යුවළක් මුහුණ දෙන අත්දැකීම් තමයි මේ සිනමාපටයෙන් අපට දැකගන්නට ලැබෙන්නේ. ත්‍රස්තවාදය, ප්‍රේමය සහ මනුෂ්‍යත්වය වැනි සියුම් මාතෘකා මෙම සිනමාපටයේදී මැනැවින් කතාවට බඳුන් කරගන්න අධ්‍යක්ෂකවරයා සමත්ව තිබෙනවා. 

 

ඉතින් මේ සිනමාපට හතට අමතරව ඔබ දන්න විශිෂ්ට ඇසෑම් සිනමාපට තව ඇති. ඉතින් ඒ සිනමාපට ගැනත් අනිවාර්යයෙන්ම අමතක නොකර අපිට කමෙන්ටුවකින් කියන්න.

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *