දූ පුතුන් රජුන් කළ අම්මලා

අම්මා කෙනෙක් කියන්නේ මේ ලෝකේ ළමයෙක්ට ලැබෙන වටිනාම රැකවරණය. අපේ අම්මලා අපි වෙනුවෙන් කොයි තරම් කැප කිරීම් කරනවද? අපි හිඟන්නෙක් වුණත් කෝටිපතියෙක් වුණත් අම්මාගේ ආදරේ වෙනසක් වෙන්නේ නැහැ. අපි අද ඔබ එක්ක බෙදා ගන්න යන්නේ තමන්ගේ දූ පුතුන් වෙනුවෙන් විශාල කැපකිරීම් සහ මඟ පෙන්වීම් කරපු අම්මලා කීපදෙනෙක් පිළිබඳව තොරතුරුයි.

 

1. මාගොල්ල බලපිටියේ නොච්චිහාමි 

මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මව වූ ඇය අතිශයින්ම පරාර්ථකාමී හැඟීමෙන් යුතුවූ තැනැත්තියක්. තමන් අගහිඟකම්වලින් පෙළෙමින් සිටියදී පවා තමන් මුහුණ දී තිබෙන දුෂ්කරතා කොළඹ සිටින තම පුත්‍රයාට නොදන්වන ලෙස ඇය තම දියණිවරුන්ට දන්වා තිබෙනවා. තමන් ඇය පිළිබඳව සොයා නොබලා තම වැටුප පොත්පත්වලට පමණක් වියදම් කිරීම පිළිබඳව තමන් කණගාටු වන බව මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

 

2. ඊව් බ්‍රැන්සන්

මෑතකදී අභ්‍යවකාශයට ගොස් වාර්තාවක් තැබූ වර්ජිනියා සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා වන රිචඩ් බ්‍රැන්සන් තම සාර්ථකත්වය පසුපස සිටි ප්‍රධානතම බලවේගය ලෙස සලකන්නේ සිය මවයි. ඔහුගේ පියාගේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙද්දී පවුලේ වගකීම තමන් වෙත පවරා ගත් ඇය රිචඩ් හට අවදානම් ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව කුඩා කාලයේ සිටම සිටම අවබෝධ කිරීමට කටයුතු කර තිබෙනවා.

 

3. පුත්ලිබායි මැතිණිය 

මහත්මා ගාන්ධිතුමා කුඩා කාලයේ දී ඉතා බියගුළු පුද්ගලයෙකු වුණා. විශේෂයෙන්ම රාත්‍රී කාලයට දැඩි ලෙස බියක් දැක්වූ ඔහු හොල්මන් අවතාර වලට ද දැක්වූයේ අසාමාන්‍ය භීතිකාවක්. එතුමාගේ මව සිය පුත්‍රයාගේ මෙම බය නැති කිරීමට ඔහුව දිරිමත් කළ අතර අවසානයේදී ගාන්ධිතුමා ලෝක ඉතිහාසයම වෙනස් කළ පුද්ගලයෙකු බවට පත්වුණා.

 

4. ඩූකා ටෙස්ලා 

නිකොලා ටෙස්ලා කියන්නේ කවුද කියලා සමාජ මාධ්‍ය වල වැඩි හරියක් ගත කරන අයට ආයෙ අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. අපිත් මීට පෙර ටෙස්ලා ගැන ලිපියක් ඔබ වෙත ගෙන ආවා කියලා ඔබට මතක ඇති. නිකොලා ටෙස්ලා හට විදුලිය පිළිබඳව සහ නිර්මාණාත්මක දේවල් කිරීම පිළිබඳව මූලික ආභාෂය ලැබෙන්නේ ඔහුගේ මව වන ඩූකා ටෙස්ලාගෙන්. ඇය විනෝදාංශයක් ලෙස විදුලි උපකරණ අලුත්වැඩියා කළ අතර එය නැරඹීමෙන් ටෙස්ලා ඒ පිළිබඳව වැඩිදුර හැදෑරීමට තීරණය කළා. ටෙස්ලා නිර්මාණකරුවෙකු වීම පිළිබඳව ඔහුගේ පියා විරෝධය පළ කළ නමුත් ටෙස්ලාගේ අධිෂ්ඨානය වෙනුවෙන් ඔහුගේ මව දිගින් දිගටම පෙනී සිටියා.

 

5. අර්මලින් ඩිකැප්‍රියෝ 

සුප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ පසුපස කුඩා කල සිටම සෙවනැල්ලක් ලෙස සිටියේ ඔහුගේ මව පමණයි. මේ වන විට ඔහුගේ පියා ඇයව දික්කසාද කර තිබූ අතර ඩිකැප්‍රියෝව රැකබලා ගැනීම සම්පූර්ණයෙන්ම පැවරුණේ ඇයටයි. නළුවෙකු වීමේ ඩිකැප්‍රියෝගේ සිහිනයට  තම සම්පූර්ණ දායකත්වය ලබා දුන් ඇය සිනමාවට පිවිසි මුල් අවධියේදී ඔහුව නිතර දිරිමත් කළා. මේ නිසා ඩිකැප්‍රියෝ පවසන්නේ තමන් සෑම විටම ඇයට ණයගැති වන බවයි.

 

6. එළිසබෙත් මවු බිසව

 

දෙවැනි එළිසබෙත් රැජන සිහසුනට පත් වූයේ තරුණ කාලයේ වන අතර එම කාලයේ දී ඇයටත් පවුලේ සියළු දෙනාටත් අවශ්‍ය මග පෙන්වීම සිදු කරන ලද්දේ ඇගේ මව වන එළිසබෙත් මව් බිසවයි. සිය සැමියාගේ මරණයෙන් පසුව කාලයක් ස්කොට්ලන්තයේ කාලය ගත කළ ඇය යළිත් ලන්ඩනය වෙත පැමිණියේ සිය දියණියට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහාමයි. එතැන් පටන් ඇගේ මරණය දක්වාම සිය දියණිය වෙනුවෙන් රාජකීය වගකීම් රාශියක් ඉටු කිරීමට ඇය කටයුතු කළා.

 

7. විහාර මහා දේවිය 

අපේ රටේ සමස්ත ඉතිහාසය වෙනස් කළ වීර මාතාව විදිහට විහාර මහා දේවිය හඳුන්වන්න පුළුවන්. වංශ කතාවල කියැවෙන පරිදි මුහුද ගොඩගලන අවස්ථාවකදී මුහුදට බිලිවීමට ස්වකැමැත්තෙන් ඇය ඉදිරිපත් වනවා. සිය ආවේගශීලී පුත්‍රයා සෑම විටම ආරක්ෂා කිරීමට කැප වූ ඇය සියපුතුන් දෙදෙනා අතර ඇතිවන ගැටුම්  නිරාකරණය කිරීමට ද මැදිහත් වූණා. එළාර සමග සටන් බිමට ගිය ඇයගේ උපාය කෞශල්‍ය නිසා ඒ සටන වඩාත් පහසු වූ බව ඉතිහාසය සාක්කි දරනවා. 

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *