මතභේදයට තුඩුදුන් යූටියුබ් චැනල්

මෑත ඉතිහාසයේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගත් ක්ෂේත්‍රයක් විදිහට සන්නිවේදන ක්ෂේත්‍රය හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන් සන්නිවේදන උපකරණ වගේම සන්නිවේදන මාධ්‍යයන් වලත් සිදු වෙච්ච වෙනස්කම් සහ සංවර්ධනය මේ දියුණුවට ඉතා විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ අතරිනුත් යූටියුබ් කියන්නේ මෑත කාලයේ ඉතා විශාල වශයෙන් ජනතාව අතර ප්‍රචලිත වුණු සන්නිවේදන මාධ්‍යයක්. ඕනම කෙනෙකුට ඉතා අඩු පිරිවැයකින් තමන්ගේම යූටියුබ් චැනලයක් ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිසි කෙනෙකුගේ සීමාවන්ට යටත් නොවී තමන්ගේ ස්වාධීන අදහස් සහ නිර්මාණ යූටියුබ් හරහා ජනතාව අතරට ගෙනියන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්. හැබැයි ඉතිං මොනදේ උනත් මේ නිදහස් අවකාශයත් වැරදි විදිහට පාවිච්චි කරන අවස්ථා ඕනෑ තරම් දැක ගන්නට තියෙනවා. ඒ අතරිනුත් සමහර යූටියුබ් නාලිකා ඉතාම මතභේදයට තුඩු දීපු දේවල් වලට සම්බන්ධ වෙච්ච අවස්ථා වුණත් ඕන තරම් තියෙනවා. ඉතිං අපි අද කතා කරන්න යන්නෙ ඒ විදිහට මතභේදයට තුඩු දුන්නු යූටියුබ් චැනල් කිහිපයක් ගැනයි. 

 

 

1. Logan Paul

ලෝගන් ඇලෙක්සැන්ඩර් පෝල් 1995 දී ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ තමයි උපත ලබන්නෙ. පෝල් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක්. ලෝගන් යූටියුබ් වෙබ් අඩවිය එක්ක එකතුවෙන්නේ 2007 අවුරුද්දේ. මේ වෙද්දී ඔහුට යූටියුබ් වෙබ් අඩවියේ චැනල් තුනක් තියෙනවා. ඒ LoganPaul, TheOfficialLoganPaul සහ Impaulsive කියන චැනල් තුනයි. ඒවායෙනුත් LoganPaul කියන චැනල් එකට මේ වෙද්දී ග්‍රාහකයින් මිලියන විසි තුනකට වැඩි පිරිසක් ඉන්නවා. ඒකෙ නැරඹුම් ප්‍රමාණය බිලියන හයකට කිට්ටුයි. නමුත් මෙච්චර ජනප්‍රිය යූටියුබ් කරුවෙක් වෙන ලෝගන් වැඩ වරද්දගන්න සිද්දිය සිද්දවෙන්නේ 2017 අවුරුද්දේ. ලෝගන් එක වීඩියෝ එකක් කරනවා “සියදිවි නසාගැනීමේ වනාන්තරය” විදිහට ප්‍රසිද්ධ වුණු Aokigahara වනාන්තරය තුළ ඉඳන්. ඒ වීඩියෝ එකේ විදිහට ලෝගන් සහ ඔහුගේ කණ්ඩායමට සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙනවා. ඉන් පස්සේ ඔවුන් ඒ සම්බන්ධව අදාළ බලධාරීන් දැනුවත් කරනවා. ඉතින් ඔය වීඩියෝ ඒක පැය 24ක් තුළ මිලියන 6.3ක් නරඹා තිබුණා. ඉතින් ඒ වීඩියෝවට විරුද්ධව ඔන්ලයින් පෙත්සම් පවා අත්සන් කෙරුණා ලෝගන් ගේ යූටියුබ් නාලිකාව වසා දමන ලෙස බල කරමින්. ඒ වගේම අවස්ථා කිහිපයක ඒ වගේ මතභේදකාරී වීඩියෝ නිසා ඔහු කතාබහට ලක් වෙනවා. තවත් වරක් ඔහු සමලිංගික වීම සම්බන්ධවත් මතභේදකාරී අදහස් දැක්වීමක් කරලා තිබුණා. 

 

 

2. Jake Paul

ජේක් පෝල් කියන්නෙත් ඇමෙරිකාවේ ඔහායෝ උපන්බිම කරගත් සමාජ ක්‍රියාකාරියෙක්. 1997 දී තමයි ජේක් උපත ලබන්නෙ. අපි කලින් සඳහන් කරපු ලෝගන්ගේ බාල සහෝදරයා තමයි ජේක්. ජේක් රැප් ගායකයෙක් සහ බොක්සින් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරනවා. JakePaulProductions තමයි ජේක් ගේ යූටියුබ් නාලිකාව. ඒකෙ මේ වෙද්දී මිලියන 20කට වඩා ග්‍රාහක පිරිසක් ඉන්නවා. 2017 දී ජේක් හවුල් ව්‍යාපාරයක් විදිහට Team 10 නමින් කණ්ඩායමක් හදාගන්නවා. ඒ කණ්ඩායම එකතු වෙලා කරපු “It’s Everyday Bro” කියන සින්දුව මාසයක් ඇතුළත මිලියන 70ක් නරඹලා තිබුණා. හැබැයි ඉතින් ඒ මාසය අවසානයේ වැඩිම dislike සහිත ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානයට එය පත් වෙනවා. අදටත් ඒ ලැයිස්තුවේ 16 වන ස්ථානයේ තියෙන්නෙ ඒ ගීතයයි. ඒ වගේම ජේක් ගේ චැනල් එකේ ඔහුගේ කලින් පෙම්වතියගේ අඩ නිරුවත් පින්තූරයක් සහිත thumbnail එකක් යොදාගැනීම සම්බන්ධවත් මතභේදාත්මක තත්ත්වයක් උද වුණා. 

 

 

3. James Charles

යූටියුබර් කෙනෙක් සහ රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට කටයුතු කරන ජේම්ස් චාර්ල්ස් ඇමරිකානු ජාතිකයෙක්. ඔහු උපත ලබන්නෙ 1999 දී. ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට රැකියාවක් කරන අතරතුර 2016 අවුරුද්දේදී තමන්ගේ යූටියුබ් නාලිකාව ආරම්භ කරනවා. ඒ හරහා විශාල ප්‍රසිද්ධියක් දිනාගන්නා නමුත් 2019 දී ඔහුගේ සමකාලීනයෙක් ඔහුට අයථා ලිංගික හැසිරීම් ඇතුළු තවත් චෝදනා එල්ල කරමින් වීඩියෝවක් යූටියුබ් වෙත එකතු කරනවා.  ඒ වීඩියෝවෙන් පස්සේ ජේම්ස්ට පැය විසිහතරක් තුළ ග්‍රාහකයින් මිලියනයක් අහිමි වෙනවා. ඒ වගේම ඔහු විසින් ඒ චෝදනාවලට සමාව ඉල්ලමින් එකතු කරනු ලැබූ වීඩියෝවත් වැඩිම dislike සහිත වීඩියෝ ලැයිස්තුවට එකතු වුණා. පස්සේ ඔහු විසින් ඒ වීඩියෝව ඉවත් කරගනු ලැබුවා.

 

4. Olivia Jade

ඔලිවියා ජේඩ් කියන්නෙත් යූටියුබ් හරහා ගොඩක් ප්‍රසිද්ධ වුණු චරිතයක්. 1999 ඇමෙරිකාවේ උපත ලබන ඇය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් විදිහට කටයුතු කරනවා. 2014 වසරේ තමන්ගේ යූටියුබ් චැනලය ආරම්භ කරන ඇය 2019 වන විට ග්‍රාහකයින් මිලියනයකට වඩා එකතු කරගන්න සමත් වෙනවා. නමුත් ඇය විසින් ලබා ගත් ප්‍රසිද්ධිය මුළුමනින්ම අහිමි වෙනවා 2019දී ඇයගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් අල්ලසක් ලබාදීම නිසා. ඒ හේතුවෙන් ඇය සමඟ ඇතිකරගෙන තිබුණු කොන්ත්‍රාත්තු ගණනාවක් ඇයට අහිමි වුණා වගේම සමාජයේ දැඩි කතාබහට ලක් වුණු සිද්ධියක් ද බවට එය පත්වනවා. 

 

5. Brooke Houts

බෘක් උපතින් ඇමරිකානු ජාතිකයෙක්. ඇය උපත ලබන්නෙ 1998 දී. ඇයගේ යූටියුබ් නාලිකාව 2014 වර්ෂයේදී පටන් ගත්තත් පළවෙනි වීඩියෝව එකතු කරන්නෙ 2015 දී. නමුත් ඇයගේ වීඩියෝ සඳහා ඉතා ඉහළ ප්‍රතිචාර ලබාගන්න ඇය සමත් වෙන්නෙ නෑ. ඒ අතර 2019 දී ඇය විසින් අහම්බෙන් යූටියුබ් වෙත එකතු කරපු වීඩියෝවක ඇය විසින් ඇගේ සුනඛයාට  පහර දෙමින් අපයෝජනයට ලක් කරන ආකාරය දකින්නට තිබුණා. ඒ හරහා විශාල සමාජ විරෝධයක් ඇයට එල්ල වුණා. ඇය පසුව සමාව ඉල්ලමින් වීඩියෝවක් එකතු කළත් එයටත් සෘණාත්මක ප්‍රතිචාර තමයි තිබුණේ.  

 

6. JayStation

Jason Matthew Ethier තමයි මෙයාගේ නම.  ඔහුගේ යූටියුබ් ආගමනය සිද්ද වෙන්නෙ 2015 දී. නමුත් 2016 දී ඔහු පොලිස් අත්අඩංගුවට පත් වෙනවා නිවාස සහ නොයෙක් ගොඩනැගිලි වලට අනවසරයෙන් ඇතුල් වීම සම්බන්ධයෙන්. ඉන් පස්සේ ඔහුගේ නාලිකාව demonetized තත්ත්වයට පත් වෙනවා. ආයේ 2016දීම ඔහුගේ නව යූටියුබ් නාලිකාව ආරම්භ කරනවා. ඉන් පස්සේ අද්භූත ක්‍රියාකාරකම් සම්බන්ධ වීඩියෝ නිසා ඔහු ජනප්‍රිය වෙනවා. නමුත් වඩා විශාල මතභේදයක් ඔහු වෙත ගොඩනැගෙන්නේ 2020 දී ඔහුගේ පෙම්වතියගේ ව්‍යාජ මරණයක් නිර්මාණය කර යූටියුබ් වෙත එකතු කිරීම නිසයි. පසුව ඒ හේතුවෙන් ඔහු යූටියුබ් වෙතින් ඔහුගේ නාලිකාව ඉවත් කරගන්න පවා පෙළඹෙනවා මේ සමාජ විරෝධය නිසා. 

 

7. ReSet (Kanghua Ren)

රෙන් කියන්නෙ 1997 උපත ලබපු යූටියුබ්කරුවෙක්. ඔහු චීන ජාතිකයෙක් වුණත් ඔහුගේ පදිංචිය ස්පාඤ්ඤයේ. ඔහු තමන්ගේ යූටියුබ් නාලිකාව ආරම්භ කරන්නෙ 2017 වර්ෂයේදී. ඔහු බොහෝ දුරට පරිගණක ක්‍රීඩා ආශ්‍රිත වීඩියෝ තමයි සිදු කරමින් හිටියේ. ඊට අමතරව Prank වර්ගයේ වීඩියෝ සඳහාත් ඔහු පසුව යොමු වුණා. ඒ හරහා ක්‍රමයෙන් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙමින් හිටපු රෙන් හදිසියේම තමන්ගේ ගමනට බාධා කරගන්නවා. ඒ ඔහු විසින් කරපු Prank වීඩියෝ එකක් නිසා. ඒ වීඩියෝවේ ඔහු අසරණ පුද්ගලයෙකුට ඔරියෝ බිස්කට් එකක් දෙන දර්ශනයක් තමයි ඇතුළත් වුණේ. නමුත් ඔහු ඒ බිස්කට් දීල තිබුණේ මැද ක්‍රීම් වෙනුවට දන්තාලේප තවරලයි. ඒ නිසා ඔහුට මාස 15ක සිර දඬුවමක් සහ ඩොලර් 22,300ක දඩයකුත් එරට අධිකරණය විසින් නියම කළා.

 

Leave a Reply

Your email address will not be published.