ලංකාව කියන්නේ වටේම මූද තියෙන රටක්. ඒක නිසාදෝ හෝ ලංකාවේ අය වෙනත් මස් වර්ග කනවා අඩුයි. ඒක පුද්ගල මස් පරිභෝජනය ගත්තාම ලංකාව ඉන්නේ පහළම තැනක. ඉතින් මේ ලංකාව වටේ මූද තියෙන නිසා සී ෆුඩ් ලබාගන්න අපිට ලේසියි. ඒත් ලාභ නැහැ. කෑමට මාළු ටිකක්, දැල්ලෝ, ඉස්සෝ, කුකුළුවෝ ටිකක් හැමදාම එකතු කරගන්න අපිට බැහැ. අපි නොදන්නා මාළු ජාති නම් අඩුවට ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ මිල අඩු, ඒත් රසවත්ව හදාගන්න පුළුවන් මාළු ජාතියක් ගැන තමයි අපි අද කතාකරන්න යන්නේ. මුහුදු කුකුළා කියලා උඩ පළාත් වලත්, දකුණු කරේ පොතුබරි විදිහටත් තමයි මේ මාළුවා හඳුන්වන්නේ.
1. උන්ව අල්ලන්නේ කොහොමද?
මේ මාළුවා පැතලි මාළුවෙක්. ගල් පර අස්සේ ඉන්නේ. පැතලි විසිතුරු මාළුවෙක් වගේමයි හැඩය. ඒත් මේ පොතුබරියා එහෙම නැතිනම් මුහුදු කුකුළා රංචු වශයෙනුත් මුහුදේදී හසු වෙනවා. මේ මාළුවාගේ වාණිජ වටිනාකම එතරම් නැහැ. ඒ නිසා උන්ව අනෙක් මාළු අල්ලන්න දැල් එලුවාම ඉබේම වගේ අහුවෙන අවස්ථා තමයි වැඩි.
2. විශේෂතා
මේ මාළුවා සුද්ද කරන්න කලින් යූටියුබ් එකේ ටිකක් බලලා හිටියනම් හොඳයි. මොකද අනෙක් මාළු වගේ නෙමෙයි, පොතුබරියාගේ පොතු කොටස ගැලවීම යම්කිසි ක්‍රමවේදයකට අනුව කරන්න ඕනි. දෙපැත්තෙන් අයිනෙන් කපලා, ඉන් පසුව වල්ගය පැත්තේ ඉඳලා ඇඟට ඇලුණු ඇඳුමක් ඉරලා ගලවනවා වගේ තමයි පොතුබරියාගේ පොත්ත ඉවත් කරන්න තියෙන්නේ. මේ දැඩි පොත්ත විසිතුරු බඩු හදන්න ගන්නවා. මාළුවා සුද්ද කිරීම ගත්තාම දෙපැත්ත කපලා පොත්ත ඇද්දම මාළුවා සුද්ද වෙලා ඉවරයි.
3. කෑමක් ලෙස
කෑමක් ලෙස ගත්තාම මේ පොතුබරි මාළුවා සාමාන්‍ය අපි බලමාළු හදන විදිහට ඇඹුල්තියල් හෝ හොදි වශයෙන් හදන්න අමාරුයි. මේ මාළුවාව තෙල් දාන එක තමයි කන්න තියෙන සුදුසුම විදිහ. තෙල් ටිකක් දාලා තෙම්පරාදු කරගන්න පුළුවන්. නැතිනම් කෙලින්ම තෙල් වල ගිල්වලා ගැඹුරු තෙලේ බදින්නත් පුළුවන්. තෙල් වලට වැඩි කැමැත්තක් නැත්නම් කටු අයින් කරලා අවන් එකේ දාලා බේක් කරලා ගන්නත් පුළුවන්. මෙහෙම කළාට පස්සේ ඒ මාළුවල රසය කුකුළු මස් වල රසයට ආසන්නයි.
4. පිළී ගඳ අඩු වීම සහ කල්තබාගන්න ලේසි වීම
මේ මාළුවා සුද්ද කරාට පස්සේ ඇතුළ පිලී ගඳ සෑහෙන අඩුයි. කටු නම් ටිකක් සීරුවෙන් ඉවත් කරලා ගන්න ඕනි. මේ පිළී ගඳ අඩු නිසා කුළුබඩු ආදිය දාලා, තෙල් දාලා, සෝස් දාල එහෙම ගත්තාම රසවත් බයිට් එකක්, ඩෙවල් එකක් විදිහට පිළියෙල කරගන්න පුළුවන්. මේ මාළුවාගේ තියෙන තද හම වැස්ම නිසා මූව ලේසියෙන් නරක් වෙන්නෙත් නැහැ. මේ මාළු අහුවෙන කාලෙට බොහොම සුලභව ඉන්නවා. ගොඩක් අය හදන්න දන්නෙ නැති නිසා මේ මාළුවා අරගෙන යන්නේ නැහැ.
5. කල්තබාගන්නා පොතුබරි
කල්පිටිය, ත්‍රික්‍රණාමලය වගේ පැතිවල මේ පොතුබරියාව මූදු කුකුළා කියලා කරවල වලට වේලනවා. ඒ කරවල වලත් අමුතු රසයක් තියෙනවා. රසයටත් වඩා සපන කොට මස් කනවා වගේ අමුතු ගතියක් දිවට සහ දත් වලට දැනෙනවා. වෙරළබඩ කලාපයේ ලාබෙට මාළු ලැබෙන හරියක ඉන්නවා නම් හොඳට අව්ව වැටෙන කාලෙක මාළු ටිකක් අරගෙන සුද්ද කරලා, ලුණු දාලා පලලා, වේලෙන්න දාලා ගෙදරම කරවල ටිකක් හදාගන්නත් ඔයාලට පුළුවන්. එහෙම නැතිනම් මාළුවා පිටින්ම ශීතකරණයේ අධිශීත කොටස තුළ තිබුණත් දින කිහිපයක් කිසි අවුලක් නැතිව මේ මාළු තියාගන්නට පුළුවන්.
6. මාළුවාගේ පරම්පරා විස්තර
මේ මාළුවාගේ මේ ආකාරය ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව වගේ ඉන්දියානු සාගර කලාපය තුළ තමයි හමු වෙන්නේ. එක පොතුබරි ජාතියක් තනිකර කළු සහ අළු පාටයි. අනෙක් ජාතියේ කහ පාට තිත් තියෙනවා. මුන් විද්‍යාත්මකව C. maculata, C. macrolepis, C. sufflamen කියන වර්ග තුනට අයිති වෙනවා. මේ මාළු ගැඹුරු මුහුදේ රංචු වශයෙන් සැරිසරනවා. මීටරයත් මීටර 110ත් අතර ගැඹුරේ තමයි මේ මාළු ජීවත් වෙන්නේ.
7. උන්ගෙන් ලැබෙන වාසි
කාලයක් මීගමුවේ ධීවරයින් වෙනත් පළාත්වලින් හමුවෙන පොතුබරි සහ ලින්නෝ මාළු මීගමුවට ගේන්න එපා යැයි උද්ඝෝෂණ විරෝධතා වලද නිරත වුණා. ඒකට හේතුව තමයි මේ මාළු මිල අඩුයි. ඉතින් මේ දැල්වලට අහුවෙලා විශාල වශයෙන් වෙළඳපොලට එන මේ පොතුබරි නැතිනම් මුහුදු කුකුළා අපේ රටේ ප්‍රෝටීන අවශ්‍යතා වලට කියාපු මාළුවෙක්. රසයෙන් වගේම මේ මාළුවා ගුණයෙනුත් කුකුළු මස් වලට ආසන්න බවක් තමයි පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නේ.
පොතුබරියා හෙවත් මුහුදු කුකුළා සුද්ද කරගන්න දන්නේ නැති කමත්, හරිහැටි පිළියෙල කරගන්න දන්නේ නැති කමත් නිසා රසවත් මාළුවෙක් වුණත් වැඩි සැලකීමක් මූට වෙළඳපොලේදි ලැබෙන්නෙ නැහැ. අපේ රටේ මූදේ රසවත් මාළු ගොඩක් ඉන්නවා. ඒ වුණත් අපනයනය කරන නිසා ටූනා මාළු වර්ග එහෙම හැමදාම ටිකක් වැඩි මිලට තමයි අලෙවි වෙන්නේ. ඔයාලත් ලඟදි මාළු ගන්න ගියොත් ලෑල්ලේ කළුපාට ගල්මාළු වගේ පැතලි මාළු හිටියොත්, මාළු මාමගෙන් අහලා මූදු කුකුළා හෝ පොතුබරි නම් අරගෙන ගිහින් තෙල් දාලා ඩෙවල් එකක් හදාගන්න පුළුවන්.
Leave a Reply