සාමාන්‍යයෙන් ඉස්සර නම් අපි පොත් ගන්නේ කොහොමද? ඔන්න අපි පොත් කඩේකට යනවා. ඊට පස්සේ රාක්ක අතරේ ඇවිදගෙන ගිහිල්ලා අපිට හිතට අල්ලන පොත් තෝරනවා. ඒවල පිටකවරේ අතපත ගාලා බලනවා. පොඩ්ඩක් අතට අරගෙන පිටුවක් දෙකක් කියවනවා. පොතේ පිටිපස්ස කවරේ එහෙමත් කියවනවා. සමහර වෙලාවට පොත් කඩේ වැඩකරන කෙනෙක්ගෙන් හරි, පොත් කඩේ මුදලාලිගෙන් එහෙමත් විස්තර අහනවා. එහෙම කරලා ඒ පොත සෙට් වෙනවා නම් ගන්නවා. ඊලඟට තව පොතකට යනවා. ඔහොමනේ වෙන්නේ. හැබැයි දැන් කාලෙත් එක්ක තාලේ ටිකක් වෙනස්. දැන් කාලේ අපිට පොත් ගෙදර ඉඳන්ම තෝරගෙන, ගෙදර ඉඳන්ම සල්ලි ගෙවලා, ගෙදරටම ගෙන්න ගන්න සෑහෙන්න තැන් තියෙනවා. ඔන්ලයින් පොත් කඩ කියන්නේ එව්වට. සමහර වෙලාවට අපිට ඔන්ලයින් වෙබ්සයිට් එකකින් පොත් තෝරගෙන ගෙන්න ගන්න පුළුවන්. තවත් සමහර වෙලාවට අපිට ෆේස්බුක් පේජ් එකකින් වගේ විස්තර බලලා, එතනින් කෙලින්ම ඕඩර් කරලා ගෙන්න ගන්නත් පුළුවන් .
හැබැයි ඉතින් අර ඇත්තටම පොත් කඩේකට ගිහින් පොත් ගන්නකොට වුණත් ඒ වැඩේ කරන හරි ආචාරශීලී විධි තියෙනවනේ. ඔන්ලයින් පොත් ඕඩර් කරනකොටත් අපි පාරිභෝගිකයෙක් විදියට පිළිපදින්න ඕන දේවල්, හොඳට හැසිරෙන්න ඕන විධි තියෙනවා. ආන්න ඒ දේවල් ටිකක් තමයි මේ සාකච්ඡා කරන්නේ!
1. විස්තර කියවන්න පුරුදු වෙමු
මෙන්න මේක නම් ඉගෙන ගන්න ඕන ප්‍රධාන කාරණයක්. ඒ තමයි ඔක්කොටම කලින් දෙයක් ගැන තියෙන විස්තර ටික කියවන එක. සමහරු ඉන්නවා, පොත් කියවන්න ඕන කියලා පොත් ගන්න ගියාට, පොතේ මිල ගණන් වල ඉඳන් දාලා තියෙන විස්තර ටික කියවන්න කම්මැලියි. එහෙම නැතිනම් ඒ විස්තර ටික කියව කියවා ඉන්න බැරි තරමට හදිසියි. ඉතින් එක්කෝ ෆේස්බුක් එකේ එහෙම නම් පොතේ ගාණ කීයද, ඩිලිවරි චාර්ජස් කීයද, කවදටද එවන්න පුළුවන්, කවදටද ගන්න පුළුවන්, පොතේ පිටු කීයද යනාදී දහසකුත් එකක් ප්‍රශ්න අහලා එක්කෝ කමෙන්ට් කරනවා. නැතිනම් ඉන්බොක්ස් කරනවා. ඉතින් පුළුවන්ද වැඩේ කරන්න!
ගොඩක් වෙලාවට බඩුවක් මුට්ටුවක් විකුණන, වැඩේ දන්න මනුස්සයෙක් නම් පාරිභෝගිකයාට අවශ්‍යයි කියලා හිතාගන්න පුළුවන් සියළුම විස්තර තමන් දාන ඇඩ් එකේ නැතිනම් විස්තරේ ඇතුළත් කරනවා. එතකොට අපිට ඒක සාවධානව කියවන්න පුළුවන් නම්, අවශ්‍ය විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. එහෙම කියවලත් අපිට යම් කිසි වෙනස් දෙයක් දැනගන්න අවශ්‍ය නම් ඔන්න ඉන්බොක්ස් කරලා හරි කමෙන්ට් කරලා හරි අහන්න පුළුවන්!
2. ගණන් වැඩියි නේද? අඩු කරන්න බැරිද?
“අයියෝ රුපියල් හත්සීයක් මේ පොතට වැඩියි. අඩු කරලා ගන්න බැරිද?” ඔන්ලයින් පොතක් මිලදී ගන්න ගියහම අන්න එහෙම අහන පාඨකයොත් නැතිනම් පාරිභෝගිකයොත් ඉන්නවා. ඒක එතකොට වැරදිද? වැරැද්දක් නැහැ. හැබැයි පොත් මිලදී ගැනීමෙදී ඒක ප්‍රායෝගික නෑ. පොළේ එළවළු ගන්න ගියහම නම් ඒක අවුලක් නැතිවෙන්න පුළුවන්. මොකද පොතක මිල කලින් නියම වෙලා තියෙන්නේ. අන්න එතකොට ඒ පොතට වට්ටමක් දුන්නොත් ඇරෙන්න වෙන මිල අඩු කිරීමක් කරන්න අමාරුයි. එතකොට දෙන ඩිස්කවුන්ට් ගැන වුණත් මුලින්ම ප්‍රකාශකයා පැහැදිලිවම කියනවනේ. අන්න එතකොට ආයෙමත් තව අඩු කරන්න බැරිද, තව ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිද කිය කියා වාත වෙන්න යන එක පොඩ්ඩක් අප්සට්.
3. පිටු කීපයක් කියවලා, කරලා!
අපි පටන් ගන්නකොටත් කිව්වනේ පොත් කඩේකට ගිහින් හොඳ පොතක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන. ගොඩක් වෙලාවට අපි පොත එහෙන් මෙහෙන් කියවලා බලනවා. ඇත්තටම ඔන්ලයින් පොත් ගන්නකොටත් අපිට ඒ හා සමාන හැකියාවක් තියෙනවා. දැන් ඔය ඔන්ලයින් පොත් විකුණන වෙබ් අඩවි වල තියෙන පහසුකමක් තමයි ඒ ඒ පොතේ පිටු කීපයක් කියවන්න පහසුකම් සපයන එක. ෆේස්බුක් එකෙන් පොත් විකුණන තැන් වලත් සමහර වෙලාවට ඒ පහසුකම තියෙනවා. අන්න එතකොට ඒ හැකියාව භාවිතා කරන්න. පොඩ්ඩක් පොතේ පිටු කීපයක් කියවලා ඉන්න. එහෙම පොතේ පිටු කීපයක් කියවන්න අවස්ථාව දීලා නැතිනම්, අපිට ඒ අදාළ වෙබ් අඩවියෙන් හෝ ෆේස්බුක් පේජ් එකෙන් හෝ ඉල්ලීමක් කරන්නත් පුළුවන්.
4. රැවටෙන්නෙ නැති පාරිභෝගිකයෙක් මං!
අපි මොනවා හරි බඩුවක් මුට්ටුවක් ගන්න ගියහම, අපි උත්සාහ කරන්නේ අපි ගෙවන මිලට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙන බඩුවක් ගන්නනේ. ඒ කියන්නේ කොටින්ම අපි ඇන්දෙන්නෙ නැති පාරිභෝගිකයෝ වෙන්න ඕනනේ. ආන්න ඒක ඔන්ලයින් පොත් ගන්න ගියත් බලපානවා. උදාහරණයක් විදියට කිවුවොත්, සමහර වෙලාවට පොතකට ලබාදෙන මාකටින් පාරට අහුවෙලා අපි පොතක් ගන්නවා. ඊට පස්සේ පොත කියවනකොට ඒක අපිට අපරාදේ සල්ලි කියලා හිතෙනවා. ඊට පස්සේ ඉතින් අපි පොත ලියපු එකාටයි, පොත විකුණපු එකාටයි පලු යනකල් බණිනවා. හැබැයි අපිටත් වගකීමක් තියෙනවා නොරැවටී ඉන්න. ආන්න ඒ නිසා, පොතක් ගන්න කලින් අනිවාර්යයෙන්ම උඩ කියපු විදියට පිටු කීපයක් කියවන්න උත්සාහ කරන්න. තමන් කැමති ශෛලියේ පොතක්ද කියන එක දැනගන්න. පොතේ කවරෙට ගිණිකන වැටිලා, ඒ නිසා විතරක්ම පොත ගන්න උත්සාහ නොකරන්න. ඒ පොත ගැන සෝෂල් මීඩියා වල කරන මාකටින් වලට රැවටෙන්න කලින්, ඇත්තටම පොත කියවපු කෙනෙක්ගේ අදහස හොයාගන්න. මේක පහසුවෙන්ම හොයාගන්න පුළුවන් හදිසි නොවී පොඩ්ඩක් නිරීක්ෂණය කළොත්. ඒ කියන්නේ, අදාළ පොත ගැන සෝෂල් මීඩියා වල පළවෙන අදහස් හරියට නිරීක්ෂණය කළොත්. එතකොට අපිට බලාගන්න පුළුවන්, ඒ ඒ ප්‍රකාශකයගේ හැම පෝස්ට් එකටම කමෙන්ට් කරන අය කවුද කියලා. පොත හොඳයි කියලා කියන කෙනෙක්ගෙන් අපිට කමෙන්ට් කරලා පොත ගැන තව විස්තර අහන්න පුළුවන්. අන්න එතකොට එන ප්‍රතිචාර වලින් ඇත්තටම පොත කියවපු අයගේ අදහස් වෙන් කරල අඳුනගන්න පුළුවන්. එතකොට අපිට පොත ගැන දැනුවත් වෙලා ඒක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්!
5. ප්‍රී-ඕඩර් කියන්නෙ ප්‍රී-ඕඩර්!
දැන් ඔය ගොඩක් වෙලාවට ප්‍රී-ඕඩර් සීන් එක පොත් විකුණන වෙළඳාමෙත් තියෙනවනේ. ඒ කියන්නේ, මොකක් හරි පට්ට සිරා හිට් එකක් වෙයි කියලා ෂුවර් කරන්න පුළුවන් අන්දමේ පොතක් ප්‍රින්ට් එකට දාන්නත් කලින්ම, ප්‍රී-ඕඩර් ගන්නවා. ඒ කියන්නේ, තමන්ට පුළුවන් පොතේ ගාණ ගෙවලා තමන්ගේ කොපිය වෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රින්ට් කරලා ආවහම උණු කැවුම් වගේ විකිණෙයි කියලා හිතෙන පොතක් අපි කඩේට ආවහම ගන්න හිටියොත්, ඒක අපි ගන්න කලින් විකිණිලා ඉවර වෙන්න පුළුවන්. සමහර පොත් තියෙනවා ප්‍රී-ඕඩර් වලින්ම ඉවර වෙනවා. හැබැයි ඉතින් එහෙම පොතේ ගාණ ගෙවලා පොත එන්න කලින්ම වෙන් කරගත්තහම, අපේ කොපි එක ලැබෙනවා කියලා ෂුවර් කරගන්න පුළුවන්.
ඒත් එකක් මතක තියාගන්න ඕන. ප්‍රී-ඕඩර් කියන්නේ ප්‍රී-ඕඩර්! පොතේ ගාණ ගෙව්වා කියලා පහුවෙනිදට පොත එවන්න බෑ. මොකද, පොත ගොඩක් දුරට ප්‍රින්ට් එකට ගිහිල්ලත් නෑ. ආන්න ඒ නිසා බලන්න පොත ගැන තියෙන විස්තරේ පොත බෙදාහරින්නේ කවද ඉඳලද කියන එක සඳහන් වෙලා තියෙනවද කියලා. බැරිවෙලාවත් ඒක සඳහන් වෙලා නැතිනම්, ඒ ගැන ප්‍රකාශකගෙන් අහන්න. ආන්න එදායින් පස්සේ පොත බලාපොරොත්තු වෙන්න.
6. ඉවසීමත් ප්‍රගුණ කරමු
සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අයට නැතිම දෙයක් තමයි ඉවසීම කියන එක. හැබැයි ඉතින් ඔන්ලයින් පොත් ගන්නකොට විතරක් නෙවෙයි, ඔන්ලයින් වෙන ඕනම දෙයක් ගන්නකොට වුණත්, ඔන්ලයින් විතරක් නෙවෙයි කඩේකට ගිහින් බඩු ගන්නකොට වුණත්, බඩු ගන්නකොට විතරක් නෙවෙයි ජීවිතේ වෙන ඕනම තැනකදී වුණත් මේ ඉවසීම කියන එක අපිට තියෙන්නම ඕන. උදාහරණයක් විදියට අපි කියමු අපි ඕඩර් කරපු පොතක් අපේ අතට ලැබෙන්න වැඩකරන දින දෙකත් තුනත් අතර කාලයක් ගත වෙනවා කියලා ඩිලිවරි කොන්දේසි වල තියෙනවා කියලා. එතකොට අපි සිකුරාදා ඕඩරේ දාලා සෙනසුරාදා පොත එව්වෙ නෑ කියලා ගේම ඉල්ලලා හරියන්නෙ නෑ. හරි ඩිලිවරි දවසට ආවත් ගොඩක් දුරට පොත එන්න සෙට් වෙන්නේ අඟහරුවාදා වෙන්න පුලුවන්. එතකොට ඕඩරේ දාපු වෙලාවේ ඉඳලා ඔන්ලයින් පොත් කඩේ මුදලාලිට වාත වෙන්න යන්න එපා. ඩිලිවරි එක එන්න ඕන දවස පහුවෙලා දවසක් විතර යනකලුත් වාත කරන්න එපා. ඩිලිවරි කරන්නෙත් මිනිස්සුනේ. එතකොට ප්‍රමාදයන් වෙන්න පුළුවන්. හැබැයි දවස් කීපයක් යනකලුත් අපේ පොත් ඩිලිවර් වුණේ නැතිනම් අන්න හොයලා බලන්න පුළුවන්.
7. වැරැද්දක් හරියට හැන්ඩ්ල් කරමු
අන්තිම කාරණාව මේකයි. වෙන ඕනම දේකදී වගේම පොත් ඔන්ලයින් මිලදී ගන්නකොටත් ප්‍රකාශකයගේ පැත්තෙන් යම් යම් ගැටළු ඇතිවෙන්න පුළුවන්. හිතලා කරන දේවල් නෙවෙයි, ප්‍රායෝගික ගැටළු. උදාහරණයක් විදියට අපි කියමු පොතේ පිටුවක් ප්‍රින්ට් වෙලා නැහැයි කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ. අන්න එතකොට අපි කරන්න ඕන සෝෂල් මීඩියා වලට ගිහිල්ලා, අර පබ්ලිෂර්ගේ පොත් අන්තිමයි, මට පිටුවක් ප්‍රින්ට් වෙලා නැති පොතක් තමයි ලැබුණේ කියලා ගේම ඉල්ලන්න කලින්, පොඩ්ඩක් පබ්ලිෂර්ව නැතිනම් ඔන්ලයින් පොත් කඩේ මුදලාලිව ඒ ගැන දැනුවත් කරන එක. ගොඩක් දුරට දැන් ඔන්ලයින් බුක් ෂොප් වලින් අපිට අමතර ඩිලිවරි ගාස්තු නැතුවම දෝෂ නැති පොතක් ඩිලිවර් කරන අවස්ථා තියෙනවා. අන්න එහෙම සහනයක් ලැබෙන්නෙ නැතිනම් විතරක් අපිට පුළුවන් ඒක ගැන මිනිස්සු දැනුවත් කරලා, පබ්ලික් ගේම ඉල්ලන තැනකට යන්න. මේක එක උදාහරණයක් විතරයි. හැම තිස්සේම ඕනම ප්‍රශ්නයක් සුහදත්වයෙන් විසඳගන්න පුළුවන් කියන එක, ඔන්ලයින් පොත් ගන්න යනකොටත් අමතක කරන්න එපා!
Leave a Reply