පිට ගෙදරක රැයක් නවතින්න ගියොත්, හරියට හැසිරෙන්නේ මෙහෙමයි!

අපි ඕනම කෙනෙක්ට අපේම ගෙදර හරි කාමරේ හරි තරම් සැනසිලිදායක, සැපදායක තැනක් තවත් නැහැනේ. ආයෙ තමන්ගේ කාමරේ තමන්ට කකුල් උඩදාගෙන හරි, ඇඳුම් නැතුව හරි ඉන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට යම් යම් අවස්ථාවන් වලදී ගෙදරින් පිට තැනක නවතින්න සිද්ධ වෙනවනේ. ඒක නෑදෑ ගෙදරක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් යාලුවෙක්ගේ ගෙදර වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙන කොහේ හරි පිට තැනක් වෙන්න පුළුවන්. එහෙම අපි පිට තැනක නවතින්නේ එක්කෝ නෑදෑ ගමනක්, යාලුමිත්‍රයෝ බලන්න යන ගමනක් ගිහින් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අනුන්ගේ වැඩකට වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් තමන්ගේ වැඩකට ගිහින් වෙන්න පුළුවන්. දැන් ඔහොම පිට තැනක නැවතිලා ඉන්නකොට අපිට අපේම ගෙදරක ඉන්න විදියට හැසිරෙන්න අමාරුයි. පොඩ්ඩක් ඩීසන්ට් පිට ඉන්න වෙනවා. ඒ වගේම, අපි ඒ පිට තැන මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ඉන්න වෙනවා. ඇත්තටම ඒක ලොකුවට හිතන්න තරම් දේවලුත් නෙවෙයි, ඊට වඩා සරල, ප්‍රායෝගික දේවල් තමයි අපි මේ කියන්නේ.

 

 

1. තියෙන හැටියකට කමු!

 

සාමාන්‍යයෙන් අපි ආගන්තුක සත්කාරයට බොහොම ලැදි ජාතියක් කියලනේ කියන්නේ. ඒක බොරුවක් කියන්නත් බැහැ ඉස්සර කාලේ නම්. හැබැයි දැන් ඉතින් ඉස්සරට වඩා අපි හැමෝම කාර්යබහුල වෙලානේ ඉන්නේ. අන්න එතකොට ඉස්සර වගේ නිවීහැනහිල්ලේ ගෙදරට එන ආගන්තුකයෙක්ට කෑම බීම උයලා කරලා සංග්‍රහ කරන්න අමාරුයි. ආන්න එතකොට, ආගන්තුකයා වෙන අපි කොහේ හරි පිට ගෙදරකට යනවා නම්, ඔන්න ඔය ගෘහ හිමියෝ අපිට සංග්‍රහ කරන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕන. විශේෂයෙන්ම ඒ අයට වැඩේ පහසු කරන්න හිතන්න ඕන. ඒකට කරන්න පුළුවන් එක දෙයක් තමයි කෑම වෙලාවල් හැකිතාක් මග හරවලා යන එක. උදාහරණයක් විදියට ගත්තොත් රාත්‍රියේ නවතින්න යනවා නම්, කලින් දවසේ දවල් කෑම වෙලාවටම යන්න ඕන නැහැනේ. එතකොට අපි ගොඩක් රෑ වෙලා නම් යන්නේ, රාත්‍රී ආහාරය අපිට අරගෙන යන්න පුළුවන්.

 

හැබැයි එකක්, තමන් එන වෙලාව හරියට දැනුම් දෙන්න ඕන. රාත්‍රියට කෑම කාලා යනවා නම්, ඒක විශේෂයෙන්ම කියන්න ඕන. “රෑ කෑම තියන්න එපා” කියලා කියන්න පුළුවනිනේ. ඒ වගේම, යම් වෙලාවකට එනවා කිව්වොත්, අනිවාර්යයෙන්ම ඒ වෙලාවට යන්න ඕන. එහෙම නැතිනම් ඒ ගෙදර කෑම හදාගෙන බලාගෙන ඉන්න පුළුවන්.

 

 

2. තුවායක් නැද්ද, තුවායක්?

 

සමහරු ඉන්නවා පිට තැනකට යනකොට ඇඳගෙන යන ඇඳුම් ටිකයි, හෙට අඳින්න යන ඇඳුම් ටිකයි විතරයි අරගෙන යන්නේ. ඔන්න පිට ගෙදරට ගියාට පස්සේ ඇඳුම් මාරුකරගන්න ලැහැස්ති වෙලා ඉල්ලනවා අඳින්න එකක්. ඊට පස්සේ මූණ හෝදගන්න යන්න ලෑස්ති වෙලා අහනවා “තුවායක් නැද්ද?” කියලා. සමහර ආගන්තුකයෝ ඉන්නවා දත් මදින්න එක්ස්ට්‍රා දත් බුරුසුවක් නැද්ද කියලත් අහන!

 

අපි කිව්වනේ අපි යන තැන සත්කාරකයොන්ට කරදරයක්, වාතයක් නොවෙන එක තමයි හොඳ ගෙස්ට් කෙනෙක් විදියට අපේ මූලික අරමුණක් වෙන්න ඕන කියලා. ආන්න ඒ නිසා අපි පිට තැනකට යන්න කලින් හරියට සූදානම් වෙන්න ඕන. ගෙදරට අඳින්න ඇඳුමක්, තුවායක්, බුරුසුවක් වගේ දේවල් විතරක් නෙවෙයි, තමන්ට අවශ්‍ය මේකප්, පනා අනං මනං වුණත් අරගෙන යන්න පුළුවන් නම් හොඳයි. එතකොට ගෙදර මිනිස්සුන්ට කිසි කරදරයක් නෑ. සාමාන්‍යයෙන් ගොඩක් තැන් වල ආගන්තුකයෙක්ට පාවිච්චියට අමතර තුවායක් එහෙම තියලා තියෙනවා තමයි. හැබැයි අපි කියන්නේ ඒක බලාගෙන යන්න එපැයි කියලා තමයි.

 

 

3. රෑ මැදියම වෙනකල්

 

දැන් කාලේ සමහරු ඉන්නවා හරියට වෙලාවට නිදාගැනිල්ලක් නෑ. මහ රෑ දෙගොඩහරිය වෙනකල් ෆෝන් එකේ, ලැප් එකේ එල්ලිලා ඉන්නවා. ඊට පස්සෙ තමයි නිදාගන්නේ. දැන් ඔන්න අපි මොකක් හරි වැඩක් නිසා ගිහින් පිට ගෙදරක රැයක් නවතිනවා. එතකොටත් අපි පුරුදු පරිදි නිදිමරන්නද ප්ලෑන් එක? එහෙම නිදි මරන එකේ අවුලක් නෑ, තමන්ගේ නිදි මැරිල්ල ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නෙ නැති නම්. හැබැයි ඉතින්, පිට ගෙදරකට ගිහින් අර වෙනදා තමන්ගේ ගෙදර වගේ දහය එකොළහ වෙනකල් නිදාගන්න නම් හිතාගෙන ඉන්නේ, ඒක හරියන වැඩක් නෙවෙයි. අපි පිට ගෙදරකට යනවා කියන්නේම ඒ ගෙදර කාලසටහනට පුළුවන් උපරිමයෙන් අනුගත වෙන්න ඕන කියන එක තමයි.

 

ඒ ඇරෙන්න ඉතින් මහ රෑ දෙගොඩහරි ජාමේ වෙනකල් ලයිට් දාගෙන ඉන්න, කිචිස් බිචිස් ගගා මල් කඩන්න, සද්දෙට යූටියුබ් වීඩියෝස්, ටික් ටොක් වීඩියෝස් එහෙම බලන්න නං තියාගන්න එපා. අපිට නින්ද යන්නෙ නැති එකට ඒ ගෙදර මිනිස්සු පළි නෑ!

 

 

4. සම්පත් පිරිමහගෙන

 

දැන් අපි පිට ගෙදරකට යනකොට අපිට අවශ්‍ය අඩුම කුඩුම, ඇඳුම් කැඩුම්, තුවා අනං මනං අරගෙන ගියා කියමුකෝ. හැබැයි ඉතින් සබන් කැටේ ඉඳන් අරගෙන යන්න බැහැනේ. අන්න එතකොට ඒ ගෙදර තියෙන සම්පත් වලින් යම් තාක් දුරකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකට ගැටළුවක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න, එහෙමයි කියලා දේවල් නාස්ති නොකර ඉන්න. උදාහරණයක් විදියට ගත්තොත්, පිට ගෙදරකට ගිහින් රෑට කෑම කාලා එහෙම අත හෝදන්න ගිහින් ටැප් එක ඇරගෙන ඔහේ වතුර ගලාගෙන යන අතරේ ඕපාදූප කියවන්න යන්න එපා. සමහර වෙලාවට ගෙදරත් ඉන්නෙ ඒ විදියට වෙන්න පුළුවන්. හැබැයි ඒක අදාළ නෑ. පිට තැනක ගිහින්, ඒ ගෙදර තියෙන මොනයම් හෝ දෙයක් වුණත් පිරිමහගෙන පාවිච්චි කරනවා ඇරෙන්න නාස්ති කරන්න අපිට කිසිම අයිතියක් නැහැ කියන එක මතක තියාගන්න ඕන.

 

 

5. සතුටු සාමීචි කතා

 

සාමාන්‍යයෙන් අපි පිට තැනකට ගියාට පස්සේ මූලිකවම සුහදතාවයෙන් යුතුව හැසිරෙන්න ඕනනේ. එහෙම නැතුව ඒ මිනිස්සු අපිව ඒ ගෙදර නවත්තගෙන, සියලුම සුඛවිහරණයෙන් අපිට සලකලා, රසමසවුළු කවලා, දෙපා දෝවලා, සිරියහන් ගබඩාවේ නින්ද යනකල් චාමර සලන්න ඕන කියලා හිතාගෙන, අපි ඒ තැන නවතින එක ඒ මිනිස්සුන්ට අපි කරන උදවුවක් විදියට හැසිරෙන්න නම් හිතන්නවත් එපා.

 

කොහොම හරි අපි කියන්න ආවේ, ඔය පිට තැනකට ගියාට පස්සේ ඉතින් සතුටු සාමීචී කතාබහ තියෙනවනේ. ආන්න එතකොට අපි ඒ සතුටු සාමීචී කතාබහට හවුල් වෙන එක, සුහදව කතාබහ කරලා, අහන ප්‍රශ්න වලට සුහදව උත්තර දීලා සමාජ සම්බන්ධතාවය වර්ධනය කරගන්න එකත් කළ යුතු දෙයක්. එහෙම නැතුව පිට ගෙදරකට ගිහිල්ලා බුම්මගෙන ෆෝන් එක ඔබ ඔබා ඉන්න එක කැතයි.

 

හැබැයි එතන තවත් දෙයක් තියෙනවා. පිට ගෙදරකට ගියාට පස්සේ සුහද සතුටු සාමීචිය කොලිටියට හැබැයි කොටින් අවසන් කරන තරමට හොඳයි. එහෙම නැතුව ඒ ගෙදර මිනිස්සුන්ට වාතයක් වෙන විදියට අපි කඩේ ඇරගෙන ඉන්න ගියාම ඉතින් ආයෙ අපිව වුවමනාවකට වුණත් ඔය ගෙදරට වැද්ද නොගන්නත් ඉඩ තියෙනවා!

 

 

6. අයියෝ ෆෑන් එකක් නැද්ද?

 

ඔය අපි දන්න සමහර මිනිස්සු ඉන්නවා, හැදිලා තියෙන්නෙම එක විදියකට. ඒ කියන්නේ ඔය කොට්ට තුනක් නැතුව නිදාගන්න බෑ, ඇඳේ නැතුව නින්ද යන්නෙ නෑ, ෆෑන් එකක් නැතුව නිදා ගන්න බෑ වගේ දහසකුත් එකක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් මතක තියාගන්න ඕන අපිට පිට ගෙදරකට ගිහිල්ලා එහෙම ඩිමාන්ඩින් වෙන්න බැහැයි කියන කාරණාව. එහෙම සියළු සැප පහසුකම් එක්ක මිසක් රැයක් ඉන්න බැරි නම් කරුණාකරලා ගිහින් හෝටලේක නතර වෙන්න. එහෙම නැතිනම් තමන් නවතින තැන ගෙදර මිනිස්සුන්ව වාත කරන්නෙ නැතුව, තියෙන විදියකට ඉන්න හැකියාව තියෙන්න ඕන. ඇත්තටම ඕනම මනුස්සයෙක්ට ඒ විදියට තමන් ඉන්න තැනට අනුව හැඩගැහෙන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒකට “අපේ මමී මාව හදලා තියෙන්නේ මෙහෙමයි” වගේ වෙන නිදහසට කරුණු හරියන්නෙ නෑ.

 

 

7. හුටා, හෙට උදේ යන්නෙ කොහොමද?

 

සමහර වෙලාවට අපි පිට ගෙදරක ගිහිල්ලා නවතින්නේ කොහේ හරි පාන්දරින් යන්න අවශ්‍ය නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට කොහේ හරි දුර ඈතක තියෙන මගුල් ගෙදරක බෙස්ට්මන්ට යන්න තියෙන නිසා, ඒ ලඟ පාත තියෙන නෑදෑ ගෙදරක නවතිනවා. දැන් ඊට පස්සේ බෙස්ට්මන් පුතා මගුල් ගෙදර යන්න වෙන්නේ පාන්දරින්නේ. ඔන්න ඉතින් නෑදෑ ගෙදරට ඇවිත් ඉඳලා කරලා, රෑ නවයට විතර අහනවා “මාමේ හෙට උදේ පහට ත්‍රීවිල් එකක් කතා කරගන්න පුළුවන් වෙයි නේද අහවල් හෝටලේට යන්න?” කියලා! දැන් ඔය පික්මී, ඌබර් එහෙම දුවන කොළඹ හරි ඒ තදාසන්න පළාතක් හරි එහෙම නම් මොකක් හරි දහංගැටයක් ගහලා වාහනයක් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම නොවෙන කොළඹින් පිට ප්‍රදේශයක් නං මොකැයි වෙන්නේ? එතකොට කොහොමදැයි වාහන හොයන්නේ මහ පාන්දර ජාමේ යන්න? අනික ඒක කියන්නෙත් මේ මහ රෑ. ආන්න ඒ වගේ වද කරදර නං තමන් නතර වෙන්න යන තැන ගෙදර මිනිස්සුන්ට දෙන්න එපා. තමන්ගේ ට්‍රිප් එක කලින් තියලම ප්ලෑන් කරගෙන එන්න. අඩු තරමින් යන්නේ නොදන්න පළාතකට නම්, ඒ ගෙදර මිනිස්සුන්ට කලින් තියාම තමන්ගේ අවශ්‍යතාවය දැනුම් දීලා තියන්න.

 

 

 

මෙන්න මේ විදියට අපිට පිට තැනකට ගිහින් හැසිරෙන්න පුළුවන් නම් ඒ අයත් අපිව හොඳ ආගන්තුකයෙක් විදියට පිළිගන්නවා. අපෙන් ඒ අයට කරදරයකුත් නෑ, ඒ අයගෙන් අපිට කරදරේකුත් නෑ. හැබැයි තව දෙයක්. පිට තැනකට ගිහින් ඉන්නකොට සමහර වෙලාවට පල නොකියා පලා බෙදන අවස්ථාවන්. තියෙන්න පුළුවන්. ආන්න ඒ විදියේ සංඥාවන් ලැබෙන වෙලාවක නම් ඒ තැන නවතින්නෙ නැතුව ගෙදර යන එක හොඳයි වගේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *