හදිසි විදුලි විසන්ධි වීම් නිසා පීඩා විඳින චීන​ය

විදුලි විසන්ධි වීම් වෙන එක අපිට නම් ලොකු අවුලක් නොවෙන තරමට සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් දියුණු රටවල විදුලි බලය විසන්ධි වීම කියන්නේ ලොකු දෙයක්. චීනය වගේ කර්මාන්ත අතින් පොහොසත් ලොකු රටක විදුලි බලය හදිසියේ විසන්ධි වීම ලොකු ගැටළුවක් වෙනවා. ඉතින් මෑතක සිට චීනය මුහුණදෙන මේ විදුලි විසන්ධි වීම ගැන තොරතුරු ටිකක් අපි දැනගමු.

 

 

1. ඉන්ධන සැපයුම සහ ගල් අඟුරු මිල

අපේ ගෙදර ගෑස් ටැංකිය විතරක් නෙමෙයි, ලෝකේම ගෑස් සැපයුම සම්බන්ධ සිද්ධීන් පසුගිය දිනවල වාර්තා වුණා. ඒ වගේම ගෑස් විතරක් නෙමෙයි, ගල් අඟුරු සහ ඉන්ධන හිඟයකුත් චීනයට බලපානවා. එක පැත්තකින් ගල් අඟුරු සහ ඉන්ධන මිල ඉහළ යනවා. අනෙක් අතින් සැපයුම් ජාල වල යම් යම් ඇණහිටීම් නිසා වෙලාවට කලාවට තෙල් සහ ගල් අඟුරු ලැබෙන්නේ නැතුව යනවා. මේ දිනවල චීනය නැවත කොවිඩ් වලට පෙර පැවති තත්ත්වයට සිය කර්මාන්ත ආදිය ගේන්න කටයුතු කරනවා. ඒ අතරතුර හදිසි විදුලි විසන්ධි වීම් ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරලා තියෙනවා.

 

 

2. ඉටිපන්දම් වැඩියෙන්

මේ හදිසි විදුලි විසන්ධි වීම් නිසා චීනයේ මාර්ග කළුවර වුණා, ගෙවල් දොරවල් කළුවර වුණා විතරක් නෙමෙයි, ට්‍රැෆික් ලයිට් වගේ අත්‍යාවශ්‍ය දේවලුත් ඇණහිටියා. දැනට ලැබෙන ආරංචි මාර්ග වල විදිහට චීනයේ ඉටිපන්දම් වෙළඳාමට හොඳ කලදසාවක් උදා වෙලා තියෙනවා. චීනයේ වයඹ දිසාවේ ලියොන්නි වල කර්මාන්තශාලාවක සේවකයින් 20 දෙනෙක් පමණ රෝහල්ගත කරන්නටත් වෙලා තිබුණා. ඒකට හේතු වෙලා තිබුණේ ඒ සේවකයින්ට වාතාශ්‍රය ලැබෙන වෙන්ටිලේටර් විදුලිය නැතිව ක්‍රියා විරහිත වීම නිසා කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය වීම.

 

 

3. ඉදිරියට එන ශීත කාලය

ඉදිරියට එළඹෙන ශීත කාලය තුළ මේ විදුලි විසන්ධි වීම් සිදුවේවි යැයි ඇතැම් චීන ජනතාව දැනටම බියට පත් වෙලා තියෙනවා. කුඩා නිවාස වල වෙසෙන ජනතාවට උණුසුම් වීමට තියෙන එකම ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්. යම් විදිහකින් විදුලිය විසන්ධි වීමක් වුණොත් උණුසුම ලබාගන්නට බැරිව මහළු අය සහ දරුවන් අවදානමට ලක්විය හැකි බවට චීනයෙන් වාර්තා වෙනවා. එංගලන්තයේ ඉන්ධන හිඟයක් ඇතිවීම නිසාත් මෙවැනි තත්ත්වයන් වාර්තා වුණා. දැන් චීනයත් බලශක්තිය නැති අර්බුදයට දරුණුවටම මුහුණ දීලා තියෙනවා.

 

 

4. ගෑස් අර්බුදය

ජර්මනිය සහ රුසියාව අතර ඇතිවෙලා තියෙන දේශපාලන විරසක නිසා ජර්මනියට සහ යුරෝපයට ලැබෙන ගෑස් සැපයුම අඩු කරන්නත්, ඉන් පසු එයින් වැඩිවන මිල වැඩිවීම තමුන්ගේ වාසියට යොදාගන්නත් රුසියාව කටයුතු කරමින් ඉන්නවා. ඒ එක්ක නල මගින් යුරෝපයට එන රුසියානු ගෑස් වල මිල වැඩිවෙනවා. ගෑස් සැපයුම අඩු වෙනවා. ඉදිරියට එන ශීත කාලයේදී උණුසුම් කිරීමට සහ කෑම පිසීමට මේ ගෑස් සැපයුම වැඩි මිලක් දී ගන්නට යුරෝපයට සිදු වෙනවා. නල මාර්ගයෙන් ගෑස් හිඟ වනවිට ආසියාවට එන දියරමය ගෑස් නැව් වලටද ඉල්ලුම වැඩි වෙනවා. ඒ මගින් චීනය සහ ආසියානු වෙළඳපොලේද ගෑස් හිඟයක් සහ මිල වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරනවා. උණුසුම් වීමට සහ කෑම පිසීමට විදුලිය පාවිච්චි කරන චීන ජනතාවට ඒ වෙනුවට ගෑස් පාවිච්චි කිරීමේ ඉඩත් ඉදිරියේදී අවහිර වෙනු ඇති.

 

 

5. ඉතිහාසයේ අන් කවරදාකවත් තැති විදුලි බිඳවැටීම

චීනය කියන්නේ කොහොමත් බලගතු ලෙස බලශක්තිය පාවිච්චි කරන රටක්. එහෙම වුණත් බලශක්තිය වැඩියෙන්ම පාවිච්චි කරන ගිම්හානයේ සහ ශීත කාලයේදීවත් චීන ජනතාවට විදුලි බිඳවැටීම් වලට කලකින් මුහුණ දෙන්නට සිදු වුණේ නැහැ. ඒත් ඇති වී තිබෙන ගල් අඟුරු සැපයුම් අර්බුද නිසා චීනයට දැන් හදිසි විදුලි බිඳවැටීම් වලට මුහුණ දෙන්නට වෙලා.

 

 

6. කාබන් පාවිච්චිය අඩු කිරීමේ සැලසුම

දැනට චීනයේ විදුලිය නිපදවීමට වැඩි වශයෙන් පාවිච්චි වෙන්නේ ගල් අඟුරු. ඉදිරියේදී මේ පොසිල ඉන්ධන සහ ගල් අඟුරු පාවිච්චි කරන එක 70%කින් අඩු කරන්නට චීනය සැලසුම් කරනවා. චීනය දැනට හරිතාගාර වායු වැඩිපුරම විමෝචනය කරන රටක් වුවත් ඉදිරියේදී ඒ තත්ත්වයෙන් එළියට යන්න තමයි ඔවුන් සැලසුම් කරන්නේ. චීන හිතවතෙක් වුණු ඔස්ට්‍රේලියාවෙන් චීනය ගල් අඟුරු සහ ගෑස් මිලදී ගත්තා. ඒත් මෑත කාලයේ ඇතිවුණු යම් භූ දේශපාලනික විරසක නිසා දැන් ඔස්ට්‍රේලියානු සැපයුම් ලබාගැනීමට චීනය එතරම් කැමැත්තක් නැහැ.

 

 

7. රාජ්‍ය යාන්ත්‍රණය සහ බලය

විදුලි බලය නිපදවීමට වැඩි මුදලක් වියදම් කරන්නට මේ ගල් අඟුරු හිඟය නිසා චීන විදුලි බලාගාරවලට සිද්ද වෙලා තියෙනවා. ඒත් වැඩි මිලක් දී විදුලිය නිපදවීමේදී ඒ විදුලිය වැඩිමිලට විකුණන්න අවස්ථාව විදුලි බලාගාරවලට නැහැ. ඒ නිසා විදුලිය පාඩුවට විකුණන එක නවත්වන්නට විදුලිය ජනනය අඩු කරන බවකුත් කියවෙනවා. කෙසේ වෙතත් රජය මගින් බොහෝ බොහෝ දේ තීරණය කරන චීන පසුබිම මෙම ගැටළුව තවත් උත්සන්න කර ඇති බවක් තමයි වාර්තා වෙන්නේ.

 

ලොව පුරා බලශක්ති අර්බුදයක් ඇති වී තිබෙන අවස්ථාවක ගල් අඟුරු ඉල්ලුම වැඩිවීම නිසා ඉන්දියාවෙත් විදුලි සැපයුම අවදානම් බව වාර්තා වුණා. අනෙක් පසින් ගෑස් සහ හයිඩ්‍රොකාබන් ඉන්ධන සැපයුම් ජාලාත් වෙනස් වෙලා, ඒවායේ මිලත් වැඩිවෙමින් යනවා. ඉදිරියේදී එන ශීත කාලය යුරෝපීය රටවලට වගේම චීනයටත් එතරම් සුබදායී එකක් නොවනු ඇති බව තමයි වාර්තා වෙන්නේ. විදුලිය බිඳවැටීම, ආලෝකය නැතිවීමට එහා සමාජ ආර්ථික කඩා වැටීමක්. එම කඩා වැටීම් නිරන්තරයෙන් වීම ලෝකයේ ආර්ථිකය කෙරෙහිත් දැඩි ලෙස බලපාන්න ඉඩ තියෙනවා කියලා තමයි ජාත්‍යන්තර පුවත් වල මේ දිනවල කියවෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *