වසර 50කට පසු සිදුවූ ස්පාඤ්ඤයේ ලා පල්මා ගිනිකඳු පිපිරුම

ස්පාඤ්ඤයේ ලා පල්මා ගිනිකන්ද සැප්තැම්බර් මාසයේ අග ලොව පුරා පුවත් මැවූ සිදුවීමක් වුණා. මේ ගිනිකන්ද මූලික වශයෙන් මීට කලින් පිපිරිලා තියෙන්නේ 1971 වර්ෂයේදි. මේ ගිනිකඳු හානියෙන් විපතට පත් ජනතාවට දැන්මම තාවකාලික නිවාස හදා දීලා තියෙනවා. ඒ වගේම විපතකදි අපේ රටේ වගේම ස්පාඤ්ඤ ජනතාවත් අවතැන් වූ ජනතාවට සහන සලසන්න පෙරට ඇවිත් තිබුණා.

 

 

1. විපතේ තරම

ලාපල්මා ගිනිකන්ද මගින් ඇතිකරන ලාවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 1240ක් පමණ ලොකු අගයක් ගන්නවා. මේ ගිනිකන්දෙන් ගලාගිය ලෝදිය දහරා ගංගා විදිහට ගලාගෙන ගියා. මේ ලාවා ගංගා වලට අහුවෙලා ගොඩනැඟිලි 1200කට වඩා හානි වුණා. ආසන්න වශයෙන් අක්කර 1218ක භූමියක් වසා මේ ලාවා පැතිරුණා. මේ නිසා මිනිසුන් 6,000ක් පමණ අවතැන් වුණා. ඒ වගේම 83,000ක් පමණ ජනතාවගේ ජන ජීවිතය මේ වනවිට අඩාල වෙලා තියෙනවා.

 

 

2. අකුණු

ගිනිකන්ද විදාරණය වීමත් එක්ක මුලින්ම ආපු දෙයක් තමයි අකුනු පිපිරීම්. 2016 වර්ෂයේ ජියෝපිසිකල් දත්ත අනුව මෙවැනි ගිනිකඳු විදාරණයකදි අකුණු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද ගිනිකන්දෙන් පිටවෙන දේවල තියෙන විද්‍යුත් ආරෝපණ වෙනස්. ඒ ආරෝපණ විශාල වශයෙන් වායුගෝලයට නිකුත් වෙද්දි ඒවා අකුණු විදිහට පේන්න ගන්නවා. ඒ වගේම ගිනිකඳු පිපිරීම පටන් ගන්න අවස්ථාවේ රිච්ටර් මාපකයේ 3.8 තරම් වන කුඩා භූමිකම්පාද මේ ගිනිකඳු පිපිරීමේ මුල් අවස්ථාවල ලා පල්මා දූපතේ ජනතාවට අත් විඳින්නට වුණා.

 

 

3. ලා පල්මා තියෙන තැන

මේක ස්පාඤ්ඤයේ දූපතක් විදිහට හැඳින්වුවත් ගූගල් මැප් එකේ බැලූවිට නම් ලා පල්මා දූපතක් විදිහට දිස් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජලයෙන් වටවූ තත්ත්වය නිසා මෙය දූපතක් ලෙස හඳුන්වනවා ඇති. ලා පල්මා ස්පාඤ්ඤයේ සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්. ඒත් මේ හදිසි ගිනිකඳු පිපිරීම නිසා ලා පල්මා දූපතේ සංචාරක කටයුතු අඩාල වුණා. මේ පිපිරීම ආරම්භ වුණේ සැප්තැම්බර් 19 වැනිදා. 19 වැනිදා ආරම්භ වීමත් සමග ගිනිකඳු පිපිරීමට ආසන්නව සිටි ජනතාව වහාම ඉවත් කළා. ඉන් පසුවත් දිගින් දිගටම ලාවා ගැලීම සිද්ද වෙන්න ගත්ත නිසා අවට තවත් සීමාවලින් ජනතාව ඉවත් කෙරුණා.

 

 

4. කර්මාන්ත වලට හානි

ලා පල්මා පළාත කෙසෙල් වගාවට ජනප්‍රිය පළාතක්. කෙසෙල් වගාකරුවන්ට ගිනිකන්දේ ලාවා බලපෑම විතරක් නෙමෙයි, දවස ගාණක් තිස්සේ නිකුත් වුණ අළු නිසාත් හානි වුණා. එම අළු කෙසෙල් කොළ මත තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේම ගිනි කන්දේ ලාවා ගිහින් වැටෙන්නේ මූදට. ඒ නිසා ධීවර කර්මාන්තය කරන අයටත් ඒ රක්ෂාව නවත්වන්නට වුණා. දූපතේ තිබුණ සංචාරක කර්මාන්තයත් අඩාල වෙලා තියනවා.

 

 

5. ජාල වලට සිදුවුන හානිය

වාහනයක ගමන් කරන සතුරෙක් නම් එන්නේ අපි යන පාරක් ඔස්සේ පමණයි. එත් ගිනිකන්දෙන් ඇතිවුණු ලාවා වලට එහෙම ක්‍රමයක් නැහැ. ඒවා හැමතැනම පැතිරෙනවා. ඒ නිසා මාර්ග ජාලය කිහිප තැනකින්ම අවහිර වෙලා. ඒ වගේම මේ අධික උෂ්ණත්වයෙන් ගලන ලාවා නිසා ජල නල, විදුලි සැපයුම්, විදුලි සංදේශ පහසුකම් ආදියටත් බාධා ඇතිවෙලා තියෙනවා. ගිනිකන්දෙන් පස්සේ ඇතිවුණු මාර්ග අවහිරතා නිසා වෙනදා කෙටි දුරක් වුන ගමන් සඳහා ලොකු දුරක්, වටයක් ගෙවා යන්නට මේ දූපතේ ජනතාවට දැන් සිද්ද වෙලා තියෙනවා. කෙසෙල් සහ වෙනත් වගාවලට ගත්ත වාරිමාර්ග ජල සැපයුම් ආදියත් මේ ගිනිකඳු පිපිරීම නිසා අවහිර වෙලා තියෙනවා.

 

 

6. වායු දූෂණය

මේ ගිනිකඳු පිපිරීම මගින් සල්ෆර් ඩයොක්සයිඩ් ටොන් ආසන්නව 250,000ක් නිකුත් වුණා. ඒ වගේම මේ ගිනිකඳු පිපිරීම නිසා ඝන මීටර මිලියන 35කට ආසන්න මැග්මා නිකුත් වුණා. ගිනිකඳු පිපිරීම නිසා ගිනිකන්දේ ලාවා බලපැම නැති පළාත් වලටත් දුමින් සහ දූවිලි වළා වලින් හානි සිද්ද වුණා. වැසි මගින් සහ වායුගෝලයෙන් වැටුණු මේ සල්ෆර් සහ දූවිලි මිදුල් වල, වහලවල සහ මාර්ග වල තැන්පත් වුණා.

 

 

7. යථා තත්ත්වයට පත්කිරීම 

මේ ගිනිකන්ද නිසා හානි වුණත් ඒ හානි බලන්න එන සංචාරකයින්ට බොහොම ඉක්මනින් අවකාශ ලබාදෙන්න බලධාරීන් කටයුතු කළා. මොකද මේ වෙලාවේ දුපතේ ජනතාව විඳිමින් ඉන්න ආර්ථික ගැටළු වලට ඒ සංචාරකයින්ගෙන් යම් අස්වැසිල්ලක් ලැබෙනවා. මේ ගිනිකඳු පිපිරීම නිසා ලා පල්මා කියන ඒ ස්පාඤ්ඤ දිවයිනේ සියයට 10ක පමණ වපසරියක් හානියට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ජනතාවට සහන සලසලා ඉක්මනින්ම ජනතාව යථා තත්ත්වයට ගන්නවා කියලා තමයි ස්පාඤ්ඤ බලධාරීන් කියන්නේ.

 

 

මේ ගිනිකඳු පිපිරීම සැණෙකින් නිමා වුණේ නැහැ. සති දෙකක කාලයක් පුරාවට ලාවා ගැලීම් තිබුණා. ඒ වගේම දූවිලි වලාවත් තිබුණා. කෙසේ නමුත් මේ විපත කළමනාකරණය කරගන්න ස්පාඤ්ඤය සමත් වෙලා තිබුණා. ගිනිකඳු පිපිරීම කොරෝනා වලින් බැටකාපු ස්පාඤ්ඤ වැසියන්ට තවත් කම්පනයක් වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *