මුදල් නිසා තම වෘත්තීය ජීවිතයට කළු පැල්ලමක් එකතු කරගත් ජනප්‍රි​ය තරු

අද කාලේ ගොඩක් දේවල් තීරණය කරන්න මුදල් මූලික සාධකයක් වුණත් කලාව සාහිත්‍ය වගේ දේවල් වලට මුදල් කියන සාධකය මතම රඳා පැවැත්මක් ඇත්තේ නැහැ. විශේෂයෙන් කලාව සාහිත්‍යය වගේ ක්ෂේත්‍ර ගොඩක් වෙලාවට මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ක්ෂේත්‍රයන්. ඒ නිසා ඒවායේ නිරත වෙලා ඉන්න පුද්ගලයනුත් තමන්ගේ හිතුමනාපෙට තීන්දු තීරණ ගන්නේ නැතුව තමන්ගෙ ක්ෂේත්‍රයේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ ක​ළ යුතුයි. ඒ කොහොම වුණත් සමහර අවස්ථාවල ප්‍රසිද්ධ පුද්ගලයන් තමන්ගේ මුදල් නිසියාකාරව භාවිතා කිරීමට අසමත් වීම නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට හානි සිදුකර ගන්නවා. අපි අද කතා කරන්නෙ ඒ විදිහට මුදල් කළමනාකරණය නිවැරදිව නොකළ නිසා වෘත්තීය ජීවිතයට හානිකර ගත් කිහිපදෙනෙක් ගැන.

 

1. ටෝනි බ්‍රැක්ස්ටන් (Toni Braxton)

ටෝනි බ්‍රැක්ස්ටන් කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ අතිශයින් ජනප්‍රිය වුණු පොප් ගායිකාවක්. විශේෂයෙන් “Un-Break My Heart” කියන ගීතය නිසා අතිශය ජනප්‍රියත්වයක් ලබන්නට ඇයට හැකියාව ඇයට ලැබුණා. නමුත් මුදල් කියන සාධකය ඇයගේ කීර්තිනාමයට ලොකු හානියක් සිද්ද කළා. 2012 දී ABC නාලිකාව සමඟ පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදී ඇය තමන්ගේ මූල්‍ය ප්‍රශ්න ගැන හෙලිකළා. ඇය එහිදී ප්‍රකාශ කරනවා 1998 දී තමන්ට බංකොලොත්බ​ව ප්‍රකාශ කරන්න සිද්ද උනාය කියලයි. ​ඒ ඇය විසින් අත්සන් ක​ළ ගිවිසුමක් හේතුවෙන් ඇයට හරිහමන් ගෙවීමක් නොලැබුන නිසා. ඒ වගේම 2008 දී සෞඛ්‍ය හේතු මත තවත් ගිවිසුමක් අවලංගු කරන්නට සිද්ද වුණු නිසා තමන්ට නැවත බංකොලොත් භාවය පිළිගන්නට සිද්ද උනා කියල ඇය ප්‍රකාශ කළා.

 

2. නිකලස් කේජ් (Nicolas Cage)

නිකොලස් කේජ් කියන්නෙ ඉංග්‍රීසි චිත්‍රපට බලන ඕන කෙනෙක්ට බොහොම හුරු පුරුදු කෙනෙක්. විශේෂයෙන් Spider-Man, Ghost Rider, National Treasure, Pig වගේ ජනප්‍රිය චිත්‍රපට වල රඟපෑමෙන් දායක වුණු දක්ෂ නළුවෙක්. ඒ වගේම සම්මාන රාශියක් පවා ඔහුගේ රඟපෑම වෙනුවෙන් ඔහුට ලැබිලා තියෙනවා. නමුත් ඔහුගේ වත්කම් සහ උපයාගැනීම් වලට අදා​ළව බදු නොගෙවීම නිසා 2007 දී ඩොලර් මිලියන හයක පමණ මුදලක් බදු වශයෙන් ගෙවන්නට ඔහු​ට සිද්ද වෙලා තියෙනවා. ඉන් පස්සේ ඇති වුණු මූල්‍ය ගැටළු නිසා කේජ් ට ඔහුගේ වත්කම් පවා විකුණන්​නට සිද්​ධ වෙලා තියෙනවා. ඉතා විශාල ධනයක් අත් කරගෙන හිටපු කේජ් ට තමන්ගේ මුල්‍ය කළමනාකරණය නිවැරදිව සිදු කර නොගැනීම නිසා තමන්ගේ වෘත්තීය ජීවිතයට කළු පැල්ලමක් එකතු කරගන්න සිද්​ධ වුණේ එලෙසිනුයි.

 

3. මයික් ටයිසන් (Mike Tyson)

මයික් ටයිසන් කිව්වම ඉතින් ලංකාවේ නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නෑ. මොකද ටයිසන් කියන්නෙ ලෝකයම දන්නා බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ගිනස් වාර්තා පොතට පවා ටයිසන්ගේ නම ඇතු​ළත් වෙලා තියෙනවා. හැබැයි අපි කවුරුත් අහල තියෙන ප්‍රතිවාදියාගේ ‘කන කෑමේ’ සිද්දියෙන් පස්සේ ටයිසන් ක්‍රීඩාවෙන් වගේම ජනප්‍රියත්වයෙනුත් පහළ බහින්න පටන් ගන්නවා. විශ්ෂයෙන් ඔහුගේ දික්කසාදය වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන නවයක් පමණ වියදම් කරන්නට සිද්ද වෙනවා. ඒ වගේම 2003 වගේ වෙද්දී ඔහුට ණය කන්දක් පමණක් ඉතුරු වෙනවා. ඒ නිසා තමන්ගේ බංකො​ලොත් භාවය ප්‍රකාශ කරන්න පවා ඔහුට සිද්ද වෙනවා. ඒ වෙද්දී ඔහුට ඩොලර් මිලියන විසිතුනක පමණ ණය කන්දරාවක් එකතු වෙලා තිබිල තියෙනවා.

 

4. 50 Cent

50 Cent එහෙමත් නැත්නම් Curtis James Jackson කියන්නෙ අතිශය ජනප්‍රිය රැප් ගායකයෙක්. ගායනයට අමතරව රඟපෑම, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය වගේ දේවල් වලටත් 50 Cent යොමු වෙලා ඉඳල තියෙනවා. 1996 වගේ තමයි 50 Cent ගේ ක්ෂේත්‍රයට පැමිණීම සිද්දවෙන්නේ. විශේෂයෙන් ඔහු​ගේ “In Da Club” කියන රැප් සින්දුව විශාල ජනප්‍රියත්වයක් ලබාගන්න සමත් වනවා. ඔහු විශාල මුදල් ප්‍රමාණයක් උපයගත්තේ ගායකයෙක් විදිහට නම් නෙමෙයි. ඒ ඔහුගේ ව්‍යාපාර වලින්. කෙසේවෙතත් 2015 වෙද්දී ඔහුට ඩොලර් මිලියන තිස් දෙකක පමණ ණය කන්දක් එකතු වෙලා තිබිල තියෙනවා. ඒ නිසාම ඔහුට තමන් බංකොලොත් පුද්ගලයෙකු ලෙස ප්‍රකාශ කරන්නත් සිද්ද වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට තිබුණු කීර්තිනාමය විශාල පළුදුවීමකට ලක් වෙලා තියෙනවා.

 

 

5. ඒරොන් කාටර් (Aaron Carter)

ඉතාම ලාබාල වියේදී​ම රැප් ගායකයෙකු ලෙස ජනප්‍රිය ව​න ඒරෝන් කාර්ටර්, ගායකයෙක් වගේම ගීත රචකයෙක්, නළුවෙක්, නර්තන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරපු දක්ෂයෙක්. ඔහුගේ සහෝදරයා සුප්‍රසිද්ධ බැක් ස්ට්‍රීට් බෝයිස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වගේම කාර්ටර් තමන් Bisexual නැඹුරුවක් සහිත අයෙකු බවත් කිහිපවරක් ප්‍රකාශ කරලා තිබුණා. 2016 දී US Weekly සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු හෙළි කළා ඔහුගේ මුල්‍ය අස්ථාවරභාවය ගැන. ඒ වගේම ඩොලර් මිලියන 2.5ක් පමණ හිඟ බදු සහ ක්‍රෙඩිට් කාර්ඩ් බිලක් ඔහුට ඇති බව පවසමින් ඔහු තමන්ගේ බංකොලොත් භාවය අයදුම් කරලා තිබෙනවා.

 

6. මකෝලි කල්කින් (Macaulay Culkin)

සුප්‍රසිද්ධ “හෝම් අලෝන්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වුණු මකෝලි, ඒ චිත්‍රපටය නිසාම විශාල ජනප්‍රියත්වයක් වගේම සම්මාන සහ ඇගයීම් වලට පාත්‍ර වුණු රංගන ශිල්පියෙක්. ඒ වගේම තරුණ දිවියට පැමිණීමත් එක්ක තමන්ගේ රංගන වෘත්තිය තුළින් සාර්ථක ගමනක් යා හැකිව තිබුණු කෙනෙක්. හැබැයි මුදල් නිසියාකාරව කළමනාකරණය කරගන්නට අසමත් වීමත් මුදල් අයථා භාවිතය නිසාත් තමන්ගේ වෘත්තීය ජීවිතයට විශාල හානියක් කරගන්න ඔහුට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත් එක්ක සිරගත වීමට පවා මකෝලි ට සිද්ද වෙනවා.

 

 

7. David Cassidy

ඩේවිඩ් දැනට ජීවතුන් අතර නැති, දක්ෂ ගිටාර් වාදකයෙක් වගේම ජනප්‍රිය ගායකයෙක්. හැටේ දශකයේ තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඩේවිඩ්, මුලින් ගායකයෙකු ලෙසත් පසුව රංගන ශිල්පියෙකු ලෙසත් ජනප්‍රිය වෙනවා. අනූව දශකය වෙද්දී ඩේවිඩ් විසින් පටිගත කරපු ගීත ඇල්බම රාශියක් ඉතා ජනප්‍රිය වෙනවා. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම නිසා කිහිපවරක් ඔහුට දඬුවම් පවා ලැබෙනවා. 2014 දී ඔහුගේ බිරිඳ දික්කසාද නඩුවක් පවරනවා. ඊට අදා​ළ කටයුතු සඳහා මුදල් සොයාගැනීමට ඔහු තමන්ගේ දේපල පවා වෙන්දේසි කරන්න පෙළඹෙනවා. 2015 අවුරුද්දේදී තමන්ගේ බංකොලොත්භාව​ය අයදුම් කරන්නට ඔහුට සිද්දවෙනවා තමන්ගේ අවිධිමත් මූල්‍ය කළමනාකරණය නිසා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *