ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (හතර වැනි කොටස)

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු

 

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (දෙවෙනි කොටස)

 

ඉන්දියාවේ ප්‍රාන්ත ගැන තොරතුරු (තුන් වැනි කොටස)

පහුගිය සති කීපයක් තිස්සේ මේ ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව කෙටි සටහන් අපි ඔබ වෙත ගෙන ආවා. අද අපි ඉන්දියාවේ ප්‍රාන්ත පිළිබඳව ඔබව දැනුවත් කරලා ඉවර කරනවා. හැබැයි මේ ලිපි පෙළ නම් තව සතියක් හෝ දෙකක් ඉදිරියට ඇදෙයි. දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇයි අපි මේ ප්‍රාන්ත ගැන තොරතුරු කියවලා ඉවර කරනවයි කියලා නැවතත් ලිපි පෙළ ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒකට හේතුව ඉදිරි ලිපිවලින්ම අපි ඔබට පැහැදිළි කරන්නම්. එහෙමනම් අපි ප්‍රාන්ත ගැන තොරතුරු දැනගමු.

 

1. සික්කිම්

මේ ප්‍රාන්තය අතීතයේ දී ස්වාධීන රාජධානියක් ලෙස පැවතුණා. ඉන්දියාව නිදහස ලබා ගැනීමෙන් පසුව වුවත් ඔවුන් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වූවත් 1973 දී ඇතිවූ රාජ්‍ය විරෝධී කැරළි මර්දනය කිරීම සඳහා පැමිණි ඉන්දීය හමුදාව විසින් පවත්වන ලද ජනමත විචාරණයකින් අනතුරුව  එය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වුණා. හිමාල කඳු පන්තිය ආශ්‍රිතව පිහිටා තිබෙන ඉන්දීය ප්‍රාන්ත අතරින් වැඩිම සාක්ෂරතාවක් හිමිකරගෙන තිබෙන ප්‍රාන්තය වන්නේ ද මෙම ප්‍රාන්තයයි.

2. තමිල්නාඩු 

සමස්ත ඉන්දියාවටමත් වඩා අපේ රටේ දේශපාලනයට වැඩිම බලපෑමක් එල්ල කරන ප්‍රාන්තය වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයයි. චෝල, පාණ්ඩ්‍ය, චේර වැනි අධිරාජ්‍යවලට අතීතයේදී නිවහනක් වූ තමිල්නාඩුවෙන් වැඩි කොටසක් ඉන්දියාව වෙත ඉංග්‍රීසින් පැමිණෙන විට මයිසෝර් රාජධානිය යටතේ පැවතුණා. තමිල්නාඩුවේ බහුතර ජනතාව අන්ත දිළිඳු තත්ත්වයේ සිටියත් ඉන්දියාවේ විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්ත අතරින් දෙවැනි ස්ථානය ලබා ගන්නේද තමිල්නාඩුවමයි.

 

3. තෙලන්ගනා

ඩෙකෑන් සානුව ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ අතීතයේ දී පුරාණ බලවත් හින්දු අධිරාජ්‍යයන් අතරේත් පසුව මූගල් අධිරාජ්‍ය යටතටත් පත් වුණා. මේ නිසා මේ ප්‍රදේශවල හින්දුසමය බලවත් වුවත් ඉස්ලාම් දහමේ යම් ආභාෂයක් ද දකින්නට ලැබෙනවා. ඉන්දියාව නිදහස ලබනවිට මෙම ප්‍රදේශ හයිද්‍රාබාදය සතු වූ අතර පසුව මෙම ප්‍රදේශ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට ඇතුළත් වුණා. කෙසේ නමුත් නව ප්‍රාන්තයක් වෙනුවෙන් දේශපාලන ව්‍යාපාර දිගින් දිගටම බලවත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේ දී තෙලන්ගනා ප්‍රාන්තය ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කරනු ලැබුවා.

 

4. ත්‍රිපුර

 

හිමාල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම ප්‍රාන්තය ද සාක්ෂරතාවය අතින් ඉතා ඉහළතම අගයක් ගන්නා නමුත් ඉන්දියාවේ දිළිඳුතම ප්‍රාන්තයක් ද වනවා. අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව හුදෙකලා බවකින් යුතු මෙම ප්‍රාන්තය ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ සමග සම්බන්ධ වන්නේ එකම එක අධිවේගී මාර්ගයකින් පමණයි. ප්‍රාන්තයේ වැඩි කොටසක් වන වැස්මෙන් යුතු අතර මේ නිසාම ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක් ද වනවා.

 

 

5. උත්තරාඛන්ඩ්

ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම ප්‍රාන්තය ඇතැම් අවස්ථාවල දෙවියන්ගේ භූමිය ලෙස ද හඳුන්වනු ලබනවා. ඊට හේතුව වන්නේ මෙම ප්‍රාන්තය පුරා විසිරී තිබෙන හින්දු පූජ්‍යස්ථාන ප්‍රමාණය නිසායි. ඉතිහාසඥයන්ට අනුව පුරාණ වේද ග්‍රන්ථ වල සහ බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන උතුරුකුරු රාජධානිය මෙයයි.

 

 

6. බටහිර බෙංගාලය 

කල්කටාව අගනුවර කරගත් මෙම ප්‍රාන්තය පැතිර තිබෙන භූමි ප්‍රදේශය වරින් වර විවිධ අධිරාජ්‍ය අතර හුවමාරු වුණා. එසේම බෞද්ධ සහ හින්දු ආගම් ද මෙම ප්‍රදේශවල විවිධ කාලවල ප්‍රබලත්වයට පත්වුණා. පසුකාලීනව මෝගල් අධිරාජයාට අයත් වූ මෙම ප්‍රදේශ  ඉංග්‍රීසි යටත් විජිත සමයේ දී ඉන්දීය නිදහස් ව්‍යාපාරයේ තොටිල්ල බවට පත්වුණා. ඉන්දියාව නිදහස ලබා ගැනීමත් සමගම ජනවර්ග පදනම මත බෙංගාලය බෙදා වෙන් කෙරුණ අතර වර්තමානයේ නැගෙනහිර බෙංගාලය බංග්ලාදේශයට අයත් වනවා.

 

 

7. අනාගත ප්‍රාන්ත 

දැනට ඉන්දියාවේ ප්‍රාන්ත ප්‍රමාණය විසි අටක් වුණාට අනාගතයේදී මෙම ප්‍රාන්ත ප්‍රමාණය තවදුරටත් වැඩි වෙයි කියලා දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරනවා. උදාහරණයක් විදිහට බිහාර ප්‍රාන්තය ගත්තොත් බෝජිපූරි භාෂාව කතා කරන ජන වර්ගය ඔවුන් වෙනුවෙන් වෙනම  ප්‍රාන්තයක් වෙන්කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ වගේම මෛතිලි භාෂාව කතා කරන ජන වර්ග මිතිලා නමින් ප්‍රාන්තයක් ඉල්ලා සිටිනවා. මේ වගේ නව ප්‍රාන්ත සඳහා දේශපාලන ව්‍යාපාර සහ උද්ඝෝෂණ ඉන්දියාවේ සියළුම ප්‍රාන්ත පුරා තිබෙනවා. කොහොම වෙතත් ඉදිරි වසර විසිපහ තුළ ඉන්දියාවේ ප්‍රාන්ත සිතියම මීට වඩා සෑහෙන්න වෙනස් වේවි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නටත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *