ළඟ ළඟම එන නත්තලට හදන්න පුළුවන් විශේෂ කෑම වර්ග 5ක්

නත්තල් කිව්ව​ම ඇඟ හිරිවැටිලා අමුතුම ෆීලින් එකක් එනවා නෙහ්. ඔව් ඔව් ඒ කාලේ ළඟ ළඟම එනවා. ඉතින් ප්‍රීතිමත්ම නත්තල් කාලෙට හදන විශේෂ කෑම වර්ග ටිකක් තමා අද කියලා දෙන්න හදන්නෙ. කල් ඇතුව මේවා හදලා කල් තියාගන්නත් පුළුවන්. ඕන් එහෙනම් අහගන්ටකෝ. 

 

1. ක්‍රිස්මස් පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රේසින් ග්‍රෑම් 100
  2. සුල්තානා ග්‍රෑම් 100
  3. පාන්පිටි ග්‍රෑම් 100
  4. කරන්ට්ස් ග්‍රෑම් 100
  5. චෙරි ග්‍රෑම් 80
  6. ආමන්ඩ් ඇට ග්‍රෑම් 5
  7. කජු ග්‍රෑම් 50
  8. ග්‍රේට්කරගත් දොඩම් පොතු තේ හැඳි 1
  9. කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50
  10. දුඹුරු සීනි ග්‍රෑම් 100
  11. පාන්කුඩු ග්‍රෑම් 40
  12. ස්පයිසස් තේ හැඳි 1/2
  13. බටර් ග්‍රෑම් 100
  14. බිත්තර 2
  15. බේකින් පව්ඩර් තේ හැඳි 1
  16. බ්‍රැන්ඩි කෝප්ප 1/2

 

  • බ්‍රැන්ඩි වලට කපාගත් පළතුරු සියල්ලම දාලා පැය 8ක් තියන්න. 
  • වෙනම බෝල් එකකට පාන්පිටි, බේකින් පව්ඩර්, ස්පයිසස් දාලා කලවම් කරන්න.
  • මේකට බ්‍රැන්ඩි වල දාගත් පළතුරු ටික දාලා බිත්තර හා බටර් ටික දාලා හොඳට කලවම් කරගන්න. 
  • මේකටම දොඩම් පොතු, සීනි, පාන්කුඩු හා නට්ස් වර්ග දාලා කලවම් කරගන්න. 
  • බටර් ගාගත් පුඩින් මෝල්ඩ් එකකට ඔයිල් පේපර් එකක් දාලා පුඩින් එක දාලා ෆොයිල් එකකින් කවර් කරගන්න. 
  • භාජනයකට වතුර 1/2ක් වගේ දාලා පුඩින් බෝල් එක දාලා අඩු ගින්දරේ පැය 3-4ක් ස්ටීම් කරගන්න. වතුර හිඳෙන ගාණට නැවත උණුවතුර එක්කරගන්න. 

 

2. බෲදර් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ඩෝ එකට

 

  1. පාන්පිටි ග්‍රෑම් 200
  2. ඊස්ට් තේ හැඳි 1
  3. මද රස්නෙ කිරි කෝප්ප 1
  4. සීනි තේ හැඳි 2
  5. ලුණු පින්ච් එකක්

 

බැටර් එකට

 

  1. සීනි ග්‍රෑම් 100
  2. බටර් ග්‍රෑම් 100
  3. බිත්තර 2
  4. සුල්තානා ග්‍රෑම් 50
  5. චෙරීස් ග්‍රෑම් 50

 

ග්ලේස් අයිසින් එකට

 

  1. අයිසින් ෂුගර් මේස හැඳි 2
  2. වතුර ස්වල්පයක් 
  3. දෙහි යුෂ ස්වල්පයක් 

 

  • මුලින්ම ඩෝ එක හදන්න ඊස්ට්, සීනි හා කිරි මේස හැඳි 2ක් කලවම් කරලා පිපෙන්න තියන්න. පාන්පිටි වලට ලුණු දාලා කිරි මිශ්‍රණයෙන් ටික ටික දාලා අනලා ඩෝ එක හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණයක් වෙනකල් තියන්න. 
  • වෙනම බෝල් එකක බටර්, සීනි හා බිත්තර හොඳට බීට් කරලා පිටි මෝලියට කලවම් කරන්න. මේකට පළතුරු සියල්ලම දාගන්න. බටර් ගාගත් මෝල්ඩ් එකකට දාල තවත් පැයක් පිපෙන්න තියලා සෙල්සියස් 180°ට විනාඩි 40ක් බේක් කරගන්න. 
  • අයිසින් ෂුගර් වලට වතුර ටිකක් හා දෙහි යුෂ දාලා තරමක් තික් අයිසින් එකක් හදාගන්න. බෲදර් එක නිවුණට පස්සෙ මේ ග්ලේස් අයිසින් එක වක්කරගන්න. 

 

3. Stollen – German Christmas Bread 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පළතුරු ටික පොඟවා ගැනීම

 

  1. කරන්ට්ස් ග්‍රෑම් 50
  2. සුල්තානා ග්‍රෑම් 75
  3. ඩාක් රම් මිලිලීටර් 50

 

(බ්‍රෙඩ් එක හදන්න සති දෙකකට කලින් පළතුරු ටික රම් වල පෙඟෙන්න දාන්න.)

 

බ්‍රෙඩ් එකට

 

  1. කිරි කෝප්ප 1/2
  2. ඊස්ට් තේ හැඳි 2
  3. පාන්පිටි ග්‍රෑම් 375
  4. සීනි ග්‍රෑම් 100
  5. ලුණු ස්වල්පයක් 
  6. චොප්කරගත් කරදමුංගු කුඩු ස්වල්පයක් 
  7. මෙල්ට් කරගත් බටර් ග්‍රෑම් 50
  8. බීට් කරගත් බිත්තර 2ක් වෙන වෙනම
  9. චොප්කරගත් කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 50
  10. චොප්කරගත් ආමන්ඩ් ග්‍රෑම් 50 
  11. කුඩුකරගත් ආමන්ඩ් ග්‍රෑම් 100
  12. අයිසින් ෂුගර් ග්‍රෑම් 50

 

  • කිරි වලට ඊස්ට් දාලා කළවම් කරගන්න. පාන් පිටිවලට ලුණු, කරදමුංගු කුඩු හා සීනි ග්‍රෑම් 50 දාලා කලවම් කරලා විනාඩි 30 වහලා තියන්න. 
  • කුඩුකරගත් ආමන්ඩ් වලට ඉතිරි සීනි හා අයිසින් ෂුගර් දාලා බීට් කරගත් බිත්තර එකක් ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. 
  • දැන් මේක රෝල් කරලා අඟල් 10ක් වගේ දිගට ඩෝ එක හදලා වහලා තියන්න. පාන්පිටි මිශ්‍රණයට මෙල්ට් කරගත් බටර් හා බීට් කරගත් ඉතිරි බිත්තරය දාලා ඩෝ එක අනල විනාඩි 10ක් නීඩ් කරගන්න. 
  • මේක වහලා පිපෙන්න තියන්න. මිශ්‍රණය දෙගුණයක් පිපුනම ඩෝ එක තුනී කරගන්න. මේක උඩට පෙඟෙන්න දාපු පළතුරු, චොප්කරගත් කැන්ඩීඩ් පීල් හා චොප්කරගත් ආමන්ඩ් දාලා නීඩ් කරගන්න. 
  • දැන් මේක තුනී කරලා කලින් ආමන්ඩ් වලින් හදලා රෝල් කරපු ඩෝ එක මැදින් තියලා කවර් කරගන්න. මේක පැයක් වගේ පිපෙන්න තියන්න. දැන් සෙල්සියස් 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 
  • උඩින් මෙල්ට් කරගත් බටර් දාලා අයිසින් ෂුගර් ඉසගන්න. 

 

4. Panettone – Italian Christmas Bread 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පළවෙනි වර ඩෝ එකට

 

  1. උණුවතුර කෝප්ප 1/2
  2. යීස්ට් මේස හැඳි 1/2
  3. පාන්පිටි ග්‍රෑම් 150
  4. වැනිලා ස්වල්පයක් 
  5. බිත්තර 4
  6. ග්‍රේට්කරගත් දොඩම් පොතු ස්වල්පයක් 

 

පළතුරු මිශ්‍රණයට

 

  1. සුල්තානා ග්‍රෑම් 100
  2. කැන්ඩීඩ් පීල් ග්‍රෑම් 100
  3. ලෙමන් ගෙඩියක යුෂ
  4. මික්ස්ඩ් පීල් ග්‍රෑම් 10
  5. රම් මේස හැඳි 2

 

දෙවෙනි වර ඩෝ එකට

 

  1. පාන්පිටි ග්‍රෑම් 200 
  2. සීනි ග්‍රෑම් 75
  3. ලුණු පින්ච් එකක්
  4. බටර් ග්‍රෑම් 100
  5. චොප්කරගත් ආමන්ඩ් ස්වල්පයක් 

 

  • මික්ස්ඩ් පීල්, කැන්ඩිඩ් පීල්, සුල්තානා වලට ලෙමන් යුෂ, රම් හා වැනිලා දාලා රැයක් පෙඟෙන්න තියන්න.
  • පළවෙනි වර ඩෝ එකට ලා රස්නෙ උණු වතුරට යීස්ට් දාලා කලවම් කරගන්න. ඊළඟට පාන්පිටි වලට මේ උණුවතුර ටික ටික දාලා දියාරු ඩෝ එකක් හදාගෙන පැය 3-4ක් වහලා තියන්න.
  • පිපෙන්න තියපු පළවෙනි වර ඩෝ එක අරන් බිත්තර එකින් එක දාලා දාලා දොඩම් පොතු ටිකත් දාගන්න. 
  • මේක හොඳට බීට් කරලා නැවත දෙවෙනි වර ඩෝ එකට අවශ්‍ය පාන්පිටි, සීනි හා ලුණු දාලා ඩෝ එක අනාගන්න. 
  • විනාඩි 20ක් පිපෙන්න තියලා තව ටිකක් නීඩ් කරගන්න. ඩෝ ර්ක ඉලාස්ටික් ගතියට ඇදෙන සොෆ්ට් ඩෝ එකක් වෙන්න ඕන. ඊළඟට බටර් ටික ටික දාලා තව නීඩ් කරගන්න. දිලිසෙන සොෆ්ට් ඩෝ එකක් ආවම පොලිතින් එකකින් කවර් කරලා පැය 8ක් ෆ්‍රිජ් එකේ තියන්න.
  • දැන් පිටි ඉහගත්ත ලෑල්ලක මේ ඩෝ එක සෘජුකෝණාස්‍රව තුනී කරගන්න. ඒකට උඩින් පෙරාගත්ත පළතුරු ටික දාගන්න. 
  • දැන් රෝලින් පින් එකකින් පළතුරු ටික ඩෝ එකට හොඳට තද වෙන්න රෝල් ප්‍රෙස් කරගන්න. 
  • දැන් ඩෝ එකේ දිග කෙළවර දෙක මැදට එන්න නවාගන්න. ඊට උඩින් කෙටි කෙළවර දෙක මැදට එන්න හතරැස්වට නවාගන්න. දැන් නැවුම් පාරවල් යටට හිටින්න අතින් රවුම් ඩෝ එකක් හදාගන්න.
  • බටර් ගාගත් බෝල් එකකට දාලා පැය 2ක් පිපෙන්න තියන්න. උඩින් කතිර හැඩයට කැපුම් දෙකක් දාලා උඩින් බටර් ටිකක් තියාගන්න. සෙල්සියස් 160°ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 45ක් බේක් කරගන්න. 
  • විනාඩි 30ක් බේක් උනාම ෆොයිල් කොළයක් ඩෝ එක උඩින් තියලා වහගන්න. නැත්නම් උඩ අවශ්‍ය ප්‍රමාණයට වඩා පිච්චෙන්න පුළුවන්. ෆොයිල් එකෙන් වහලා ඉතිරි විනාඩි 15 බේක් කරගන්න.

 

5.යූල් ලොග් (Yule Log)

ස්විස් රෝල් එකකට

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 100 
  2. කොකෝවා පව්ඩර් ග්‍රෑම් 25
  3. බිත්තර 4
  4. සීනි ග්‍රෑම් 100
  5. බේකින් පව්ඩර් තේ හැඳි 2

 

(කේක් එකට ස්විස් රෝල් දෙකක් අවශ්‍ය නිසා ප්‍රමාණ දෙගුණ කරගන්න)

 

චොක්ලට් අයිසින් එකට

 

  1. බටර් ග්‍රෑම් 200
  2. අයිසින් ෂුගර් ග්‍රෑම් 440
  3. කොකෝවා පව්ඩර් ග්‍රෑම් 6
  4. කිරි තේ හැඳි 4

 

  • පාන්පිටි වලට බේකින් පව්ඩර් හා කොකෝවා පව්ඩර් දාලා හලාගන්න. සීනි හා බිත්තර ටික හොඳට බීට් කරගන්න. 
  • දැන් මේකට පාන්පිටි ටික දාලා ටික ටික බීට් කරගන්න. දැන් ශීට් කේක් පෑන් එකකට බේකින් ශීට් එකක් දාලා මිශ්‍රණය දාගන්න. සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 
  • එළියට අරන් උණුවෙන්ම රෝල් කරලා සර්වියට් එකකින් වහලා නිවෙනකල් තියන්න. 
  • ඒ අතරෙ අයිසින් එක හදාගන්න බටර් හා කොකෝවා පව්ඩර් බීට් කරගන්න. මේකට අයිසින් ෂුගර් දාලා හොඳට බීට් කරගන්න. කිරි ටිකත් දාලා බීට් කරගන්න. 
  • දැන් නිවුණු ස්විස් රෝල් එක හෙමින් දිගෑරලා අයිසින් එකෙන් ටිකක් ගාලා නැවත නවාගන්න. මේ වගේ ස්විස් රෝල් 2ක් හදාගන්න. 
  • දැන් එක ස්විස් රෝල් එකක් කෙලින් තියලා අනික හැඩේට කපලා (කොටයක කරු වගේ) කැමති විදියට තියාගන්න. දැන් උඩින් අයිසින් ගාලා කොටයක් වගේ ඩිසයින් ඇඳගන්න. 
  • රාස්බෙරි ටිකක් උඩින් දාලා කැමති විදියට නත්තල් සැරසිලි අයිසින් වලින් හදලා දාගන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *