ලෝකයේ විවිධ අවස්ථාවල හමුදාමය මැදිහත් වීමෙන් රටක පාලනය වෙනස් වෙච්ච අවස්ථා ගණනාවක් පවතිනවා. දකුණු ආසියාවේ පාකිස්ථානය තමයි මේ සඳහා හොඳම උදාහරණය. ඒ අතින් බැලුවොත් එහෙම කොතරම් දූෂිත රාජ්‍ය තන්ත්රයක් ගැන චෝදනා එල්ල වුණත් ඉන්දියාව සෑම විටම තම ප්රජාතන්ත්රවාදී හරය ආරක්ෂා කර ගැනීමට සමත් වුණා. අපේ රටේ වුණත් එහෙමයි. අපේ රටෙත් එක්තරා අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට පසුබිම සකස් වී තිබුණත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් එය සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් වුණා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ලෝක ඉතිහාසයේ මුණගැහෙන සාර්ථක හමුදා කුමන්ත්‍රණ කීපයක් පිළිබඳව තොරතුරු.
1. නැපෝලියන් බොනපාට්
නැපෝලියන් බොනපාට් තමන් නායකත්වය ලබාදුන් සුප්‍රකට ඊජිප්තු මෙහෙයුම අවසාන කිරීමෙන් පස්සේ නැවත ප්‍රංශයට ආවේ එවකට ප්‍රංශය පාලනය කළ පස් දෙනෙකුගෙන් යුතු නිලධාරී මණ්ඩලයේ පාලනය පෙරළා දැමීමේ අධිෂ්ඨානයෙන්. විවිධ උපක්‍රම අනුගමනය කළ ඔහු තමන් ප්රමුඛ කොන්සල්වරුන් තිදෙනෙකුගේ පාලනයක් ප්‍රංශයේ ස්ථාපිත කිරීමට සමත් වුණා. ඉන් අනතුරුව ඔහු ප්‍රංශයේ අධිරාජයා බවට පත්වීමට මාර්ගය විවෘත කර ගත්තා.
2. ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ
1936 වසරේ දී ස්පාඤ්ඤයේ බලය වාමාංශික සන්ධානයකට හිමිවූ අතර ඒ වන විට ජනරාල් ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ සේවය කළේ කැනරි දූපත්වලයි. ඔහු විසින් ඒ මොහොතේම ස්පාඤ්ඤ බලය පැහැර ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. පසුව ඔහු කැනරි දූපත් වල තිබූ තම සේනාංක සමග ස්පාඤ්ඤය වෙත පැමිණි අතර එහි ප්‍රතිඵලය වූයේ වසර තුනක් දක්වා දිග්ගැසුණු සිවිල් යුද්ධයක්. කෙසේ නමුත් අවසානයේදී ඔහු ජයග්‍රාහකයා බවට පත්වී තම මරණය දක්වාම ස්පාඤ්ඤයේ ඒකාධිපති පාලනයක් ගෙන ගියා.
3. මුවම්මර් අල් ගඩාෆි
එවකට කනිෂ්ඨ හමුදා සෙබළෙකු වූ ගඩාෆි, ලිබියාවේ එවකට පාලකයාව සිටි ඉඩ්රිස් රජු සංචාරයක් සඳහා විදේශගතව සිටියදී එරට බලය අල්ලා ගැනීමට සමත් වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු විසි හතක් පමණයි. එතැන් පටන් බටහිරට හිසරදයක් වූ නමුත් ඔහු සිය රටේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. වසර 42ක ඔහුගේ පාලන කාලය 2011 වසරේදී නිමා වූයේ අරාබි වසන්ත සමයේදියි.
4. ඉඩී අමීන්
ඉතා පහළ තත්ත්වයක සිට කෙමෙන් කෙමෙන් උගන්ඩා හමුදාවේ ඉහළ තනතුරු වලට පත් වුණු ඉඩි අමීන්, මුල් කාලයේදී කටයුතු කළේ උගන්ඩා ජනාධිපති මිලිටන් ඔබුටුගේ සමීපතමයෙකු ලෙසයි. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා දැඩි ලෙස එකිනෙකාව අවිශ්වාස කළ බව කියැවෙනවා. ජනාධිපතිවරයා විදේශ සංචාරයක් සඳහා බැහැරව ගොස් සිටියදී රටේ පාලනය ඉඩි අමීන් ඇතුළු හමුදාව විසින් අත්පත් කරගත් අතර එතැන් පටන් ඔහු එරට පාලනය කළේ උමතු පුද්ගලයෙකු ලෙසටයි. වසර අටක පාලන කාලයකින් පසුව ඔහු සෞදි අරාබිය වෙත පලා ගිය නමුත් ඒ වන විට ඔහු විසින් උගන්ඩාවට දැඩි හානියක් සිදු කොට තිබුණා.
5. ඔගස්ටෝ පීනශේ
චිලී දේශයේ ප්‍රජාතාන්ත්‍රිකව බලයට පැමිණි සැල්වඩෝර් අයියන්ඩේගේ පාලනය පෙරළා දැමීමට ඇමරිකා එක්සත් ජනපදයට දැඩි උවමනාවක් පැවතියේ ඔහු මාක්ස්වාදී අදහස් දැරුවෙකු නිසයි. සී. අයි. ඒ සංවිධානය හරහා අයියන්ඩේට එරෙහිව විශාල කුමන්ත්‍රණයක් දියත් කෙරුණු අතර එහි ප්‍රමුඛතම කාර්යභාරයක් යුධ හමුදා නිලධාරියෙකු වූ ඔගස්ටෝ පීනශේ විසින් සිදු කරනු ලැබුවා. අවසානයේදී අයියන්ඩේ සියදිවි නසා ගත් අතර පීනශේ වසර 17 කට ආසන්න කාලයක් චිලීයේ ඒකාධිපතියා ලෙස එරට පාලනය කළා.
6. ග්‍රීක ජෙනරාල්වරුන්ගේ කුමන්ත්‍රණය
ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ සහාය ලැබූ ග්‍රීක හමුදා ජනරාල්වරු පිරිසක් විසින් එරට බලය 1967 වසරේදී අත්පත් කර ගැනීමට සමත් වුණා. එතැන් පටන් වසර 7 ක පමණ කාලයක් ග්‍රීක ව්‍යවස්ථාව අහෝසි කරමින් හමුදා බලය එරට තුළ ස්ථාපිත කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් ඔවුන් කෙරෙහි ග්‍රීසිය තුළ දැඩි විරෝධයක් මතු වූ අතර තුර්කිය විසින් සයිප්‍රසය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම විරෝධතාවය උච්චත්වයට පත්වුණා. ඉන්පසුව යළිත් ග්‍රීසිය ප්රජාතන්ත්රවාදී පාලන ප්රවාහයට එක් වුණා.
7. ෆර්වේස් මුෂාරෆ්
ශ්‍රී ලංකාවේ සිට තම මව් බිම බලා පැමිණෙද්දී තමන්ව බලයෙන් පහ කළ බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව ෆර්වේස් මුෂාරෆ්, පාකිස්ථාන හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ සහාය ඇතිව පාකිස්ථානයේ බලය අත්පත් කර ගැනීමට තීරණය කළා. පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් හට බලය අහිමි වූ අතර එතැන් පටන් වසර අටක පමණ කාලයක් එරට ජනාධිපතිවරයා ලෙස මුෂාරෆ් කටයුතු කළා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply