අපි ලාංකිකයෝ නිසා අපේ රටේ ගොඩක් පොත් ලියන කතුවරුන් භාවිතා කරන භාෂාව වෙන්නෙ සිංහල. නමුත් ඉංග්‍රීසියෙන් පොත් ලියන කතුවරුන් ගොන්නකුත් අපේ රටේ ඉන්නවා. ඒ වගේම භාෂා දෙකම භාවිතයෙන් පොත් ලියන කතුවරුනුත් ඉන්නවා. ඉතින් අද අපි හිතුවා අපේ ලාංකීය කතුවරුන් ලියපු ඉංග්‍රීසි පොත් හතක් ගැන ඔබට තොරතුරු ගෙන එන්න.
1. Chinaman
චයිනමන් කියන්නේ ලංකාවේ අතිශයින් ජනප්‍රිය වුණු නවකතාවක් කියලා ආයේ අමුතුවෙන් කියන්න නම් අවශ්‍ය නැහැ. ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ අභිරහස් ක්‍රීඩකයෙක්ව පාදක කරගෙන ලියවුණු මේ කතාව කියවගෙන යද්දී තවත් රසවත් අතුරු කතා ගොඩක් අපට හමුවනවා. පටන් ගැන්මේ ඉඳන්ම කුතුහලයෙන්, මේ කියන්නේ ඇත්තක්ද බොරුවක් ද කියලා තෝරාගන්න බැරුව පිස්සුවෙන් වගේ කියවපු පොතක්. ඒ තරම් සිත්ගන්නාසුළු විදියට ලියැවුණු පොතක්. මේ පොතේ කතුවරයා වන්නේ ශෙහාන් කරුණාතිලක. දිලීප අබේසේකර විසින් සිදුකරන ලද මෙහි සිංහල පරිවර්තනයත් මුල් කෘතියේ රසයට හානියක් නොවන පරිද්දෙන් සිදුකරන ලද උසස් පරිවර්තනයක් බව නොකියාම බැහැ.
2. Sambol +
සුනේත්‍රා රාජකරුණානායක කියන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය වුණු ලේඛිකාවක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒත් ඇය ලියපු ඉංග්‍රීසි නවකතා නම් වැඩිය ලාංකික පොත් කියවන්නන් අතර ජනප්‍රිය වුණේ නැහැ කිව්වොත් වැරදි නැහැ. ඉතින් මේ ඇගේ Sambol+ ,කෘතියට පාදක වෙන්නේ විදේශ රටක හිටියත් සම්බෝලය අමතක නොකළ ගැහැනියකගේ කතාවක්. ඇගේ සිංහල පොත් වල වගේම මේ පොතෙත් සිත්ගන්නාසුළු ලිවීම් රටාවක් අන්තර්ගතයි.
3. Bringing Tony Home
තිස්ස අබේසේකර කියන්නේ කව්ද කියලනම් ඉතින් ආයේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැනේ. තිරපිටපත් රචකයෙක්, ලේඛකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් ආදී නොයෙක් භූමිකා තුළින් සාර්ථක වුණු තිස්ස අබේසේකර සිංහල පොත් කියවන්නන් අතර වඩාත්ම ජනප්‍රිය වුණේ එතුමාගේ “මංමුලා වූ සිතක සටහන්” කෘතිය හරහායි. ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද රසවත් කෘතියක් තමයි “Bringing Tony Home” කියන්නේ. ටෝනි නම් තමන්ගේ සුරතල් බල්ලාව කැටුව දුරක පිහිටි තම නව නිවසට යන කුඩා දරුවෙක්ගේ ගමනකින් ඇරඹෙන මේ කෘතිය ඉතාම රසවත්. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය සඳහාත් නිර්දේශිත කෘතියක් වන මෙය 1996 වසරේදී ඉංග්‍රීසි සාහිත්‍ය කෘති සඳහා පිරිනැමෙන ග්‍රේෂන් සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
4. The Road from Elephant Pass
2003 වසරේදී හොඳම ඉංග්‍රීසි නවකතාව සඳහා ග්‍රේෂන් සම්මානය පවා දිනපු මේ පොතත් අපේ රටේ අතිශය ජනප්‍රිය වුණු පොතක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ කෘතිය වගේම මේ ඇසුරින් නිපදවපු “අලිමංකඩ” සිනමාපටයත් අතිශයින් ජනාදරයට පත් වන්න සමත් වුණා. මේ කෘතියේ අප විදි අවුරුදු තිහක යුද්ධය පසුබිම් කරගෙන තියෙනවා. නිහාල් ද සිල්වා තමයි මේ කෘතිය රචනා කරන්නේ.
5. Wave
සුනාමි ඛේදවාචකය කියන්නේ අපි කවුරු වුණත් මතක් කරන්න අකමැති, අමිහිරි සිදුවීමක්. “Wave” කියන්නේ මේ අත්දැකීමට සැබවින්ම මුහුණ දුන් තැනැත්තියක් විසින් ලියන ලද නවකතාවක්. ඇය තමයි සොනාලි දැරණියගල. සුනාමි ව්‍යසනයෙන් ඇයට තමන්ගේ දරුවන්, සැමියා සහ දෙමාපියන් අහිමිවන්නේ ඇගේ ලෝකයම විනාශ කරමින්. ඉන්පසුව මානසික අවපීඩනයෙන් යුතුව අති දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කරන්න ඇයට සිදු වනවා. මේ අත්දැකීම් ගැන ඇය විසින්ම ස්වයං චරිතාපදානයක් ලෙසට ලියූ අදහස් තමයි මේ කතාවෙන් අපට කියවන්න ලැබෙන්නේ. ඒ වගේම මෙහි කොටසක් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය සදහාත් ඇතුළත්ව තිබෙනවා.
.
6. Sam’s Story
එල්මෝ ජයවර්ධන නම් ආධුනික ලේඛකයකුගේ ප්‍රථම නිර්මාණය තමයි මේ කෘතිය. ඒ වගේම මේ පොතට 2001 වසරේ ග්‍රේෂන් සම්මානයත් හිමිවෙලා තිබෙනවා. මිනිස් හැඟීම් ගැන හරි අපූරුවට ලියවුණු කෘතියක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. මේ පොත ඇසුරින් නිපදවුණු “සැමීගේ කතාව” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් අපේ ජගත් චමිලට හොඳම නළුවාට හිමි අන්තර්ජාතික සම්මානයන් පවා ලැබුණා.
7. A Passage North
A Passage North කියන්නේ මෑතකදි අතිශය ජනාදරයට පත්වුණු කෘතියක් කිව්වොත් වැරදි නැහැ. ඒකට හේතුව මේ කෘතිය මේ වසරේ බුකර් සම්මාන නාම ලයිස්තුවටත් ඇතුළත් වන්න සමත් වීමයි. අනුක් අරුද්ප්‍රසාගම් (Anuk Arudpragasam) විසින් රචනා කළ මේ කෘතියට පාදක වෙන්නේ තිස් වසරක කුරිරු යුද්ධයේ අවසාන අදියරේදී යුද්ධයේ භීෂණයට මැදිවුණු තරුණ දමිළ යුවළකගේ කතාවක්.
මේ කෘති ගැන මතක් කළා වගේම අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසියෙන් ලියන කතුවරු වෙනුවෙන් දිරිය දෙන ග්‍රේෂන් සම්මානය ගැනත් අනිවාර්යයෙන්ම මතක් කිරීමක් කරන්න ඕනේ. 1992 වසරේ සම්මානනීය නවකතාකරු මයිකල් ඔන්ඩච්චි ආරම්භ කළ මේ සම්මානය නිසාත් ඉංග්‍රීසියෙන් පොත් ලියන්නට ලාංකීය කතුවරුන්ට හොඳ පෙළඹවීමක් ලැබී තියෙනවා…
ශශින් ප්‍රබෝද්
Leave a Reply