කොවිඩ් වලට එන්නත්කරණයට විරුද්ධ කණ්ඩායම් හැම රටකම වගේ හිටියා. ඒත් ලෝකයම බහුතරව පිළිගත් මතය වන්නේ එන්නත්කරණය තුළින් කොවිඩ් පාලනය වඩාත් සාර්ථක වන බවටයි. කොවිඩ් එන්නත් ගත්තත් අවදානම බින්දුවක් වෙන්නෙ නැහැ. ඒත් එමගින් සෑහෙන දුරකට රෝගීන් සහ මරණ අඩුකරගන්න පුළුවන් බව අපිට දත්ත ඇසුරෙන් පේනවා. ඉතින් මේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙක ගත්තට පස්සේ හැඳින්වූයේ ෆුලි වැක්සිනේටඩ් කියලා. ඒත් දැන් තුන්වෙනි මාත්‍රාවක් දුන්නට පස්සේ මොන නමින් එය හඳුන්වාවිද කියන ගැටළුවකුත් තියෙනවා. ඉතින් අපි බලමු ඒ ගැන විස්තර…
1. විදෙස් ගත වීමට තෙවන මාත්‍රාව
දැනටත් ලංකාවේ කුවේට් රටට විදෙස් ගත වෙන අයට තෙවන මාත්‍රාව දෙන්න කටයුතු කෙරෙනවා. ඉදිරියේදී තෙවන මාත්‍රාව දෙන රටවල් වැඩි වුණාම තෙවන මාත්‍රාවට තියෙන වැදගත්කමත් වැඩිවෙනවා. ඒ අනුව එන්නත් දුන්න බවට තියෙන සහතිකයේ ෆුලි වැක්සිනේටඩ් එහෙම නැතිනම් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් වීම එන්නත් මාත්‍රා දෙකකින් හමාර වෙන්නෙ නැහැ. තවත් එන්නතක් ගත යුතු වෙනවා. දියුණු රටවල් ගණනාවක් දැනටම දෙවන මාත්‍රාව හමාර කොට ඔවුන්ගේ තුන්වන මාත්‍රාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා.
2. තෙවන මාත්‍රාව වෙනත් එන්නතකින්
දෙවන මාත්‍රාව විදිහට කලින් ලබාගත් එන්නතම ලබාගන්න අපිව දිරිමත් කෙරුණා. ඒ අනුව මොඩර්නා ගත්ත අයට මෝඩර්නාත් ඇස්ට්‍රාසෙනකා ගත්ත අයට ඒකත් ගන්නම සිදුවුණා. ඒත් තුන්වෙනි මාත්‍රාව එද්දි ඒක වෙනස් වුණා. ලංකාවෙදි නම් තුන්වෙනි මාත්‍රාව විදිහට ෆයිසර් එන්නත ලබාදෙන්න සූදානමක් තිබෙන බව තමයි වාර්තා වුණේ. මෙය අපේ රටේ විතරක් සිදුවන දෙයක් නෙමෙයි. පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇති අයට තුන්වෙනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදීමෙන් නව වෛරස ප්‍රභේද වලට වඩාත් ආරක්ෂාවක් ලැබෙනවා.
3. ලංකාවෙ දෙන්න ඉන්න අනුපිළිවෙළ
කොවිඩ් එන්නත්කරණයේදී ලංකාවට මුලින්ම ආවේ ඇස්ට්‍රාසෙනකා එන්නත. ඒ ඇස්ට්‍රාසෙනකා එන්නතේ තිබුණු රුධිර කැටි ගැසීමේ අවදානමක් ගැන ඒ දිනවල ලෝක මාධ්‍යවල කතා වුණා. ඒ නිසාදෝ හෝ එන්නත සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට, 60ට වැඩි අයට සහ දුබලතා ඇති අයට දීලා ඉවර වෙන්න කලින් අවුරුදු තිහට වැඩි සීමාවේ අයටත් නිකුත් කෙරුණා. ඒ නිසා එන්නත්කරණය පිළිවෙලකට අනුපිළිවෙළින් සිදු වුණේ නැති බවට චෝදනාවකුත් එල්ල වුණා. ඊළඟට තුන්වෙනි එන්නතත් මුලින්ම සෞඛ්‍ය කාර්යමණ්ඩල, රෝගීන් සහ 60ට වැඩි ආදී අනුපිළිවෙළට ලබාදෙන්න ඉන්න බවක් තමයි වාර්තා වෙන්නේ.
4. එන්නත් ලබනොගත් රටවලින් එන බලපෑම
මේ වනවිටත් අප්‍රිකාවේ රටවල් බොහොමයක එක මාත්‍රාවක්වත් ගත්තේ නැති පිරිස වැඩියි. ඒ නිසාම දියුණු රටවල් තුන්වෙනි මාත්‍රාව ගන්න කලින් ඒ රටවල එන්නත්කරණය ගැන අවධානය යොමු කරන්න ඕනි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරලා තිබුණා. කොහොම වුණත් ඒ අප්‍රිකානු රටවලට එන්නත් නොයන්න හේතුව ගතහොත් මුල් වටවලදී එන්නත්කරණයට නොමිලේ ලැබුණ එන්නත් ටිකවත් හරිහැටි විදගන්න ඒ ඇතැම් අප්‍රිකානු රටවලට නොහැකි වුණා. ඒ නිසාම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ වලදී ඒ රටවලට අඩු ප්‍රමුඛතාවක් ලැබුණා.
5. අනෙක් රටවල තුන්වෙනි මාත්‍රාව
තුන්වෙනි මාත්‍රාව මේ වනතුරුත් මහා පරිමාණයෙන් විදින්න අරගෙන නැහැ . තවමත් දියුණු රටවල පවා තුන්වෙනි මාත්‍රාව අසාධ්‍ය රෝගීන්, වැඩිහිටියන් සහ සෞඛ්‍ය අංශ වලට තමයි සපයමින් යන්නේ. අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත ලබාදෙන්න ඒ රටවලුත් දැන් ක්‍රියාකරගෙන යනවා. ලංකාවෙත් තුන්වෙනි මාත්‍රාව වගේම ලොකු මහත් වූ දරුවන් සඳහා එන්නත් ලබාදෙන්නට නියමිතව තියෙනවා.
6. වසරින් වසර එන්නත් කරන්න වෙයිද?
සීසනල් ෆ්ලූ ඒ කියන්නේ වසරකට වරක් ශීත කාලයට හැදෙන වෛරස් එකක් හැදෙනවා යුරෝපා රටවල ජනතාවට. ඒකෙන් වැළකෙන්න වසරක් පාසා එන්නත් කරනවා. ඒ විදිහට කොවිඩ් සඳහාත් වසරින් වසර එන්නත්කරණය කරන්න වෙයිද කියන ගැටළුව මතු වෙලා තිබුණා ඒ රටවල ජනතාවට. ඒත් සෞඛ්‍ය විශේෂඥයින් කියන ආකාරයට වෛරස රෝග වුණත් සීසන් එකට හැදෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය සහ කොරෝනා වෛරසය කියන්නේ වෛරස ආකාර දෙකක් බවයි. ඒ නිසා වසරකට වරක් ඒ ඉන්ෆ්ලුවන්සා වෛරසයට තියෙන එන්නත් ආකාරය කොරෝනාවට නොගැළපෙන බව තමයි ඔවුන් කියන්නේ.
7. කාලසීමාව සහ කරුණු
තුන්වන මාත්‍රාව එන්නත් කරනවා නම් දෙවන මාත්‍රාව අරගෙන මාස 2ත් 6ත් අතර කාලයකින් එය ලබාගැනීම සුදුසුයි. එසේම එම් ආර් එන් ඒ කාණ්ඩයේ ෆයිසර් හෝ මොඩර්නා ලබා නොගත් අයට එම් ආර් එන් ඒ කාණ්ඩයේ එන්නතක් තුන්වෙන මාත්‍රාව ලෙසට ගැනීම සුදුසු බවට වාර්තා වෙනවා. ඒ අනුව ලංකාවේ වැඩිදෙනකුට ලැබුණේ සිනොෆාම් එන්නත නිසා තෙවන මාත්‍රාව ලෙස මොඩර්නා හෝ ෆයිසර් ලබාදීමට මේ දිනවල සාකච්ඡා සිදු වෙනවා.
රටේ යම් යම් ආර්ථික ගැටළු කරවටා තිබුණත් ලංකා රජය එන්නත්කරණය ඉතා වේගයෙන් කරලා රටේ වැඩි පිරිසකට එන්නත් ලබාදෙන්න කටයුතු කළා. එය අගය කරන්නට ඕනා දෙයක්. ඉතින් තුන්වෙනි එන්නත් මාත්‍රාවත් ලබාදුන්නොත් ලංකාවේ පුරවැසියන් පෝලිම් ආදි අමිහිරි අත්දැකීම් පසෙකලා එය ගිහින් ලබාගනීවි.
Leave a Reply