දැන් ඔය සමහර ෆිල්ම්ස් තියෙනවා ආයෙ එනවුන්ස් කරපු දවසේ ඉඳලා අපි බලාගෙන ඉන්නේ රිලීස් වෙනකල්. ඒවා කෙලින්ම බ්ලොක්බස්ටර් වෙයි කියලා සමහරු බලාපොරොත්තු වෙනවා. ඒවා අපි මීට පෙර බලපු නැති විදියේ සුපිරි අත්දැකීමක් දෙයි කියලා තවත් අය බලාපොරොත්තු වෙනවා. ආයෙ ඉතින් ෆිල්ම් එක එනකල් අවුරුද්දක් දෙකක් තිස්සේ මහත් අපේක්ෂා තියාගෙන සෝෂල් මීඩියා වල අපි ඒවලට කවි ගී හෑලිත් ලියනවා. අන්තිමට ඔන්න ෆිල්ම් එක එනවා. අපිත් හරිම අපේක්ෂාවෙන් ගිහින් ඒක බලනවා. ෆිල්ම් එක යනකොට හයියෝ කියවෙනවා. අන්තිමට අපි ෆිල්ම් එක ඉවර වුණහම නැගිටින්නේ අධ්‍යක්ෂකගේ අම්මමෝ නැතිවෙන්න බැණ බැණ. සමහර ෆිල්ම්ස් අන්තිම වෙනකල් බලන්නෙත් නෑ!
ඉතින් 2021 අවුරුද්දෙත් සමහර ෆිල්ම්ස් එනකල් පාර බලාගෙන හිටපු අපිට ඔය සන්තෑසිය තැන් කීපෙකම වුණා. මේ කියන්න යන්නේ ඒ විදියට “අපේ” බලාපොරොත්තු නැතිභංගස්තාන කරපු 2021 ෆිල්ම්ස් කීපයක් ගැන!
1. Mortal Kombat
දැන් ඔය Mortal Kombat කියන නමම 90 දශකේ වීඩියෝ ගේම් ගහපු, Mortal Kombat පළවෙනි ෆිල්ම්ස් බලපු අපිට බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ මෑතකදී ආපු Mortal Kombat මිනි සීරීස් එකත් පට්ටම පට්ට. ඉතින් එහෙම තියෙනකොට අලුත් Mortal Kombat රීබූට් එකක් එනවා කිව්වහම අපි ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්න එක අහන්නත් දෙයක් නෙවෙයිනේ. හැබැයි ඉතින් ෆිල්ම් එක පටන් ගත්තහම මුලින්ම අපි ඩිසපොයින්ට් වෙන්නේ ඒකේ රඟපාන සෙට් එක දැකලා. කවුද බං අර රේඩන්? එතකොට සබ්සීරෝ? ස්කෝර්පියන් නං ෂේප්. ඒත් උන්ගෙ ඇඳුම් වල කැත? අනික ස්ටෝරි ලයින් එක මොකද්ද බං? මෙලෝ රහක් නෑනේ. කිසිම එක්සයිට්මන්ට් එකකුත් නෑ! ඔහොම තමයි අපි කතා වුණේ. හැබැයි සමහර විට අපි පරණ Mortal Kombat ෆිල්ම්ස් වලින්, මිනි සීරීස් වලින් ගත්තු ආතල් එක මේකෙන් බලාපොරොත්තු වෙන එක හරි නැතුවත් ඇති. ඒත් ඉතින් මෙහෙම තමයි අපිට දැනුණේ!
2. Thunder Force
සාමාන්‍යයෙන් අපිට කොහොමත් සුපර් හීරෝ ෆිල්ම්ස් වලට පොඩි ඇම්මක් තියෙනවනේ. ඒ නිසා ආයෙ සුපර් හීරෝ ෆිල්ම්ස් මාසෙකට පයින් ගැහුවහම දෙක තුනක් විසික් වෙන ප්‍රමාණෙට හැදුනත්, තාමත් සුපර් හීරෝ ෆිල්ම් එකක් කිව්වහම වැඩ පැත්තක දාලා බලන්න හිතෙන සීන් එකක් තියෙනවා. ඉතින් Thunder Force ෆිල්ම් එක බලන්නෙත් අන්න ඒ ෆීලින් එකෙන් තමයි. පටන් ගත්තු වෙලේ ඉඳන් හිනා යන්නෙ නැති කොමඩි ලයින් එකකින් වැඩේ යන්නේ. කමක් නෑ, සුපර් හීරෝ කියලා වයි සෝ සීරියස්? එහෙම හිතාගෙන බලන්න පටන් ගන්නවා. හයියෝ. මුලින්ම කාන්තා සවිබලගැන්වීම ඔබන්න ගිහින් වැඩේ අනාත කරගන්නවා, ඊට පස්සේ හැමතැනටම ගොන් ජෝක් ඔබන්න ගිහින් තව ටිකක් නානවා. අන්තිමට රඟපෑම් චොර නිසා වැඩේ ඉවරයක්ම වෙලා යනවා. ඇත්තටම ස්ටෝරියත් මෝඩ වුණාට, උඩින් කියපු නෑම් ටිකෙන් ස්ටෝරියේ ගොන් ගතිය අමතකම වෙලා යනවා!
3. The Hitman’s Wife’s Bodyguard
කලින් අපි බලපු The Hitman’s Bodyguard ෆිල්ම් එක සුපර් හිට් එකක් කියන්න බෑ. හැබැයි ඒක ආයෙ ආයෙමත් බලන්න හිතෙන, හරිම ඉවසිල්ලකින් එක්තැන් කරපු පට්ට ෆිල්ම් එකක්. බලාගෙන යනකොට ඒ ෆිල්ම් එකේ එහෙම මරාගෙන කොටාගෙන යන ඇක්ෂන් ඇත්තෙත් නෑ. හැබැයි කොමඩි ගතියයි, ඇක්ෂන් සීක්වන්සුයි, ඉමෝෂනල් ගතියයි ගාණට පදමට එක්තැන් කරලා තිබුණා කියන්න පුළුවන්. හැබැයි ඉතින් අවාසනාවට The Hitman’s Wife’s Bodyguard එක මෙලෝ රහක් නැති ගාණට ගෙනැල්ලා තියෙනවා. ඒකේ හිට්මෑන්ගේ වයිෆ් තනිකරම මෙලෝ රහක් නැති ජෝක් එකක් කරලා, අනික් කැරැක්ටර්ස් වලත් කලින් ෆිල්ම් එකේ තිබුණු ගතිය නැති කරලා, ෆිල්ම් එකේ ඇක්ෂන් පිරිලා තිබුණට ඇත්තටම කම්මැලි ෆිල්ම් එකක් බවට පත් කරලා කියලා හිතුණේ අපිට විතරද?
4. Suicide Squad 2021
දැන් අපි මුලින්ම බලපු Suicide Squad ෆිල්ම් එක තියෙනවනේ. ඒකේ තනිකරම මැජිකල් දුෂ්ටයො දෙන්නෙක් එක්ක යන වෙනමම සීන් එකක් තියෙන්නේ. ඇත්තටම ඒකේ ජෝකර් හෙනම ජෝක් එකක් වගේ අපිට පෙනුනට, ඇත්තටම ෆිල්ම් එක හොඳයි. ඇක්ෂන් හොඳයි, ස්ටෝරිලයින් නරකම නෑ, ඇක්ටිනුත් හොඳයි. සමස්තයක් විදියට ආයෙ පාරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. හැබැයි මොකද්දෝයි මේ Suicide Squad 2021 කියලා අරගෙන ආපු වඩිග පටුන? කමක් නෑ. ඇක්ෂන් ටික හරි ලොකු අවුලක් නෑ කියලා හිත හදාගන්න පුළුවනිනේ. ඒත් මේකේ අර ඔරිජිනල් කොමික් වල ඉන්න පොල්කා ඩොට් මෑන්ව තේරුමක් නැති සුපර් පවර් තියෙන ඩයල් එකක් කරපු එක හරිම වැරදියි. ඔක්කොමත් හරි, මොකාදෝයි අර අල්ටිමේට් දුෂ්ටයා? හරි, කොමික් වල එහෙම අමුතු විදියේ ගැලැක්ටික් දුෂ්ටයො ඉඳලා තියෙනවා තමයි. හැබැයි මේකේ ඉන්න ඒලියන් ස්ටාර්ෆිෂ් හෙනම භයානක වෙන්න ඕන තැන් වලත් කාටුන් එකක් වගේනේ! තුහ්!
5. Fast and Furious 9
ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් සීරීස් එක පටන් ගන්නකොට තිබුණු ගැම්ම මතකද? ආයෙ ඒකේ තිබුණු ස්ටන්ට් එහෙම අපිව තනිකරම කොර කරලා තිබුණේ මීට දශක කීපෙකට කලින්. කොහොම හරි බ්‍රසීල් ගිහින් දුෂ්ටයාගේ සේප්පු උස්සලා බැස්ටිය දෙනකලුත් වැඩේ නැගලම ගියා. හැබැයි ඊට පස්සේ ටික ටික කතාව කිසිම නවතාවයක් නැතුව යන්න පටන් ගත්තා. අන්තිමට F9 එකට එනකොට කුජීතයි. මෙච්චර කාලයක් අපිට පෙන්නලා වත් නැති ඩොමිනික්ගේ මල්ලි කෙනෙක් පෙන්නනවා. පොර ඩොමිනික්ටත් වඩා වයස පාටයි (ඔව් ඔව් ජෝන් සීනා තමයි)! ඊට පස්සේ ඉතින් අධ්‍යක්ෂකට මීට කලින් ෆිල්ම්ස් වල තිබුණු වාහන ස්ටන්ට්ස් මදි වෙනවා. ඒ හින්දා රොකට් බූස්ටර් හයි කරලා කාර් එකක් අභ්‍යවකාශෙට යවනවා සැටලයිට් එකක හප්පන්න. මොනාද අයිසේ මේ ස්ටෝරිලයින්? කොහොම හරි මැරිච්ච හැමෝම වලෙන් ගොඩට අරගෙන එන එව්වයි, ආයෙ “ඇක්ෂන් ෆිල්ම් වල මොන තාත්වික ඇක්ෂන්ද අයිසේ” කියලා හිතාගෙනවත් බලන් ඉන්න බැරි තේරුමක්ම නැති ඇක්ෂන් සීනුයි එක්ක ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපට මාලාව දැන් විකාරයක් වෙලා කියලා තමයි කියන්න වෙන්නේ. කිසිම ක්‍රෙඩිබිලිටියක් නෑ!
6. The Tomorrow War
සුපර් හීරෝ ෆිල්ම්ස් වගේම අපිට නැගලා යන තව ෆිල්ම්ස් වර්ගයක් තමයි ඒලියන් පිචර්. The Tomorrow War කියන්නෙත් ආන්න එහෙම එකක්. ඇත්තම කිවුවොත් පටන් ගන්නකොට වැඩේ නැගලා යනවා. අනාගතේ යුද්ධෙකට අතීතෙන් සොල්දාදුවෝ ගෙනියන ස්ටෝරිලයින් එක පට්ට. ඇත්තටම The Tomorrow War ස්ටෝරි එක වැරැද්දක් කියන්න බෑ. ඒක කොලිටි. ෆිල්ම් එකේ මුල භාගයත් ඇත්තටම සිරා. පිටසක්වල යුද්ධේ එහෙමත් සීයෙන් අනූවක් ලකුණු දෙන්න බැරි වුණාට කොලිටියට අරගෙන යනවා. හැබැයි එතනින් පස්සේ මොකක්ද ඕයි ඒ වුණේ? එතනින් එහාට හරි නම් තව පැය දෙකක් වත් වෙලාව අරගෙන ඇදලා කරලා සුපිරියට එන්ඩ් කරන්න ඕන දෙවෙනි භාගය විනාඩි විස්සෙන් ඇදලා දානවනේ. ඇයි අධ්‍යක්ෂක ලිපේ කරදහියක් දාලද ඇවිල්ල හිටියේ? ඒ තරම් හදිසියකින් අන්තිම ටික ඔහේ ගසලා දාලා තිබ්බේ. අර පළවෙනි ටිකේ තිබුණු සංයමයෙන් ෆිල්ම් එකේ අන්තිම ටික පොඩ්ඩක් වෙලාව අරගෙන සුපිරියට කරලා තිබ්බා නං මේ ෆිල්ම් එක මාරම හිට් එකක් වෙනවා. හැබැයි එහෙම වුණේ නෑ!
7. The Forever Purge
The Forever Purge කියන්නේ ඇත්තටම අපි බලන්න අරගෙන අන්තිම හරියට යන්නෙත් නැතුව නවත්තපු ෆිල්ම් එකක්. ඇයි එහෙම කියන්නේ? දැන් අනික් පර්ජ් ෆිල්ම්ස් ඔක්කොම එකිනෙකට එකක් හරිම ලස්සනට සම්බන්ධ වෙනවා. දැනෙන විදියේ ගැඹුරකින් යන කතාවක් තියෙනවා. කොටින්ම කිවුවොත් ආයෙ ආයෙ බලන්න හිතෙන වයිබ් එකක් තියෙනවා. හැබැයි The Forever Purge ෆිල්ම් එක ගහලා තියෙන්නේ අනික් පර්ජ් ෆිල්ම් සීරීස් එකේ තරහකාරයෙක්ද කොහෙද. ඇයි බං, මේ ෆිල්ම් එකේ අර අවස්ථා සම්බන්ධය මෙලෝ රහක් නැති විදියට කාලා දානවා විතරක් නෙවෙයි, සමහර තැන් වල යන්නෙ කොහෙද මල්ලෙ පොල් විදියට ස්ටෝරිය අරගෙන යන්නේ. අර අනික් පර්ජ් ෆිල්ම් වල තිබුණු අපි පුටුවේ අග්ග්ගිස්සේ ඉඳන් බලන ලෙවල් එකේ කොලිටිය මේකේ බිංදුවයි. අන්තිම වෙනකොට ඔන්න ෆිල්ම් එක කම්මැලි වෙනවා. ඔය සංක්‍රමණික ප්‍රශ්නේ වගේ එව්වා ෆිල්ම් එකක ඔහේ පාප්ප ගාලා අලවන්නෙ නැතුව, ෆිල්ම් එකේ කොලිටියත් තියාගෙන ගැඹුරින් සාකච්ඡා කරන්න දන්නෙ නැති නං ඔය ෆිල්ම් කෙරුවාව දෙනව හොඳයි ළමයෙක්ට!
හැබැයි ඉතින් මෙහෙමත් දෙයක් තියෙනවා. මේ ෆිල්ම්ස් සමහරුන්ට අයියෝ බලපු කාලේ කියලා හිතෙන විදියේ වුණාට, අපි පොඩ්ඩක් හිතේ ආවේගෙට අරව මේවා කිව්වට, සමහරු මේ ෆිල්ම්ස් සමහරක් ආදරෙන් වැළඳගෙන තිබුණා. ඒවා ඉතින් එහෙම තමයි. ලෝකේ ගෝලාකාරයි, සිනමා රසිකයෝ විවිධාකාරයි. එක් එක්කෙනාගේ සිනමා ටේස්ට් එක කුතුහලාකාරයි! ඒ නිසා අපි කියනවට මේ ෆිල්ම්ස් වලට බණින්න ඉක්මන් වෙන්න එපා. තමනුත් බලලා තීරණය කරන්න තමන්ට සෙට් වෙනවද නැද්ද කියලා!
Leave a Reply