පාඩම් කරද්දී ගොඩ දෙනෙක් කරන වැරදි හතක් හඳුනා ගනිමු

පාසල් වයසේ ඉගෙනුම ලබන ඔබ වෙනුවෙන් උපකාරී වෙන උපදෙස් සහිත ලිපි එකතුවක් අපි ගෙන එන බව අපේ පාඨකයින් මේ වනකොටත් දන්නවා ඇති. මේ ලිපියත් එවැන්නක්. අද අපි කියලා දෙන්නේ පාඩම් කරද්දී ගොඩක් දෙනෙක් අතින් සිද්ද වෙන වැරදි කීපයක් නිවැරදි කරගන්න හැටි ගැනයි…

 

1. කටපාඩම් කිරීම

ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ කටපාඩම් කරන්න. කටපාඩම් කරද්දි  ඒක සාර්ථකයි කියලා සමහරු හිතුවට ඇත්තටම මේක සාර්ථක දෙයක් නම් නෙමෙයි. ගොඩක් දේවල් පැටලෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි වෙනවා මේ වැරැද්ද නිසා. මේ වැරදි වැඩෙන් මිදෙන්න ඕන තරම් ටිප්ස් අපි මීට කලින් කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් කටපාඩමින් මිදිලා, අවබෝධයෙන් කරුණු වටහාගන්න. 

 

2. පොතේ තියෙන එකම පාඩම් කරන්න යෑම 

ගොඩක් අය සාමාන්‍යයෙන් පාඩම් කරද්දි ගොඩක් වෙලාවට ෂෝට් නෝට් එකක් ගහන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවට ගොඩ දෙනෙක් පොතේ තියෙන එකම එහෙම්මම කොපි කරගෙන ලියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා අන්තිමේදී ඒ අය පාඩම් කරන්නෙත් පොතේ තියෙන සංකීර්ණ සංකල්පයමයි. ඒ වෙනුවට ඔයාට පුළුවන් මේ වගේ දෙයක් ෂෝට් නෝට් එකට දාද්දි සරලව ඔයාගේ භාෂාවෙන්, නැත්නම් රූප සටහන් වලින් එකතු කරගෙන මතක තියාගන්න. 

 

3. අමාරු දේවල් මග ඇරීම

සාමාන්‍යයෙන් ගොඩක් අමාරු දේවල් පාඩම් කරද්දි අපි පුරුදු වෙලා තියෙනවා අමාරු දේවල් මතකෙ හිටින්නෙ නැත්නම් ඒ දේ අතහැර දාන්න. ඉතින් සාමාන්‍යයෙන් අපිට අමාරු දේවල් තමයි ගොඩක් දුරට විභාගෙට එන්නේත්. ඒ නිසා ඒවා අතඇරලා ගියොත් ලොකු පාඩුවක් වේවි ඔයාගේ විභාගේ දවසට.

 

4. ලේසි දේට අවධානය වැඩියෙන් ලබාදීම 

අපි කලින් කතාකරපු දේ අනිත් පැත්ත තමයි මේ. අපි ගොඩක් වෙලාවට අමාරු දේවල් මග අරින්න පුරුදු වෙලා තියෙනවා වගේම ලේසි සහ වැදගත්ම නොවන දේවල් වලට අවධානය වැඩියෙන් දෙන්නත් පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒ දේත් වැරදියි. එහෙම කියලා ඒ දේවල් පාඩම් නොකර ඉන්න නම් එපා. නමුත් ඒ දේවල් වලට වගේම අමාරු කරුණු වලටත් සමව අවධානය දෙන්න.

 

5. උවමනාවක් නැතුව පාඩම් කිරීම 

කිසිම ඕනකමක් නැතුව කම්මැලිකමේ ඔහේ පාඩම් කරන එක ඇත්තටම නිෂ්ඵල දෙයක් කියලා ඔයා දැනටමත් දන්නවානේ. ඉතින් පුළුවන් තරම් ඒ දෙයින් මිදෙන්න. ඔයා මොන විදියට පාඩම් කළත් එතන උවමනාවක් නැත්නම් ඒ දේවල් ඔයාට පොඩ්ඩක්වත් මතක හිටින එකක් නෑ. ඒ හින්දා පුළුවන් තරම් ඉලක්ක, අරමුණු තියාගන්න. මේ දේවල් වලට යන පාර තියෙන්නේ ඉගෙනීම මතයි කියන විශ්වාසයෙන් කටයුතු කරන්න.

 

6. පාඩම් කරන තැන අපිළිවෙල වීම

සාමාන්‍යයෙන් පාඩම් කරන තැන මොකක් වුණත්, කොටින්ම කියනවනම් බිම ඉඳගෙන පාඩම් කරනවා වුණත් ඔයාට පුළුවන් එතන පිළිවෙලට, පිරිසිදුව, වැඩිය බඩු නැති තැනක් කරගන්න. සාමාන්‍යයෙන් අපිළිවෙල තැනක පාඩම් කළොත් ඒක මොළේට ගොඩක් දුරට යන්නේ නැහැ. ඒ වගේම පාඩම් කරන තැන ඕනවට වඩා ලස්සන කරගන්න සෙල්ලම් බඩු වලින් වගේ පිරෙව්වත් ඒකත් ඔයාගේ මොළේට කරදරයක් වෙනවා. 

 

7. විභාගය අත ළඟ තියෙද්දි පාඩම් කරන්න පටන් ගැනීම 

සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අයට පාඩම් කරන්න එන ආශාව එන්නේ ඉතින් විභාගෙට සතියක් වගේ තියෙද්දිනේ. ඒක ඇත්තටම වැරදි වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද? ඉතින් ඔයාට පුළුවන් විභාගයට තව මාස ගාණක් තිබෙන නිසා අද ඉඳලම පාඩම් කරන්න. පාඩම් කරන දේ ආසාවෙන් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් විභාගය කිසිම අමාරුවක් නැතුව පාස් වෙන්න ලේසියෙන්ම. 

 

 

එහෙනම් මේ වැරදි ඔයත් කරනවනම් අද ඉඳන්ම ඒ වැරදි හදාගන්න. ඒ වගේම ඔයා මේ දේවල් ඔයාගේ යාළුවන් එක්කත් බෙදාගන්න අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්