ලංකාවේ වර්තමානයේ පවතින අමරපුර, රාමඤ්ඤ සහ සියම් කියන නිකායන් අතරින් පැරණිතම නිකාය වෙන්නේ සියම් නිකායයි. සාමාන්‍ය ව්‍යවහාරයේ සියම් නිකාය කියා හැඳින්වූවාට මෙම නිකායේ නිවැරදි නාමය වන්නේ ශ්‍යාමෝපාලි නිකාය යන්නයි. එය ශ්‍යාම සහ උපාලි යන වචන දෙක එක් වී සෑදුනු වචනයක්. සියම් නිකාය ආරම්භ කිරීමට භික්ෂූන්වහන්සේ වැඩම කළ සියම් දේශය හෙවත් වර්තමාන තායිලන්තය හැඳින්වීමට භාවිතා කරන ශ්‍යාම යන වචනය සහ ඒ සඳහා ලංකාවට පැමිණි භික්ෂු පිරිසගේ පිරිසගේ ප්‍රධානත්වය දැරූ උපාලි හිමිපාණන්ගේ නම එක්වීමෙන් තමයි මේ වචනය හැදෙන්නේ. වර්තමාන සියම් නිකාය ආරම්භ කිරීමට මුල් වෙන්නේ බෝධිසත්වගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ ස්වාමීන්වහන්සේයි. අද අපි කතා කරන්න යන්නේ සියම් නිකාය බෙදිලා තිබෙන පාර්ශව පිළිබඳවයි.
1. අස්ගිරි පාර්ශවය
සියම් නිකායේ පමණක් නොව වර්තමාන ලංකාවේත් පැරණිතම සංඝ සංස්ථාව විදිහට අස්ගිරි පාර්ශවය හඳුන්වන්න පුළුවන්. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව අස්ගිරි පාර්ශවය ප්‍රභවය වෙන්නේ පොළොන්නරු යුගයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය තුළින්. මේ නිසා මහා විහාරය දක්වාම දිවෙන ඉතිහාසයකට අස්ගිරි පාර්ශවය උරුමකම් කියනවා. මහනුවර රාජධානිය ආශ්‍රිතව බිහි වුණු පළවෙනි භික්ෂු මූලස්ථානය විදිහටත් අස්ගිරි පාර්ශවය හඳුන්වන්න පුළුවන්.
2. මල්වතු පාර්ශ්වය
මහනුවර රාජධානි සමයේදී අස්ගිරි විහාර පාර්ශවයෙන් වෙන් වුණු භික්ෂුන්වහන්සේ පිරිසක් මල්වතු විහාර පාර්ශ්වය ආරම්භ කරනු ලබනවා. රජතුමාගේ රාජකීය මල්වත්තේ ඉදිකරන ලද විහාරාරාමවලින් සමන්විත වීම නිසා මෙම පාර්ශවයට එම නම ලැබුණ බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. මුල් කාලයේදී අස්ගිරි පාර්ශවය බලවත්ව තිබුණත් වැලිවිට සංඝරාජ හිමිපාණන්වහන්සේ මල්වතු විහාරයේ වැඩ වාසය කිරීම නිසා පසුව එම පාර්ශ්වයට වැඩි බලයක් ලැබෙනවා. උපාලි හිමියන් උපසම්පදාව ලංකාවට ගෙන ඒමෙන් පසුව වුවත් අස්ගිරි–මල්වතු පාර්ශව දෙක එක් නොවී ස්වාධීනව පැවතෙනවා.
3. කල්‍යාණී සාමග්‍රී සභාව
මල්වතු පාර්ශ්වයට අයත් පහත රට භික්ෂූන්වහන්සේ පිරිසක් සහ මල්වතු විහාරය අතර ඇතිවන මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පාර්ශවය ඇතිවෙනවා. ඒ සඳහා බෙන්තර අත්ථදස්සී, මලිගස්පේ මංගල වැනි භික්ෂූන්වහන්සේලා ගණනාවක් සිය දායකත්වය ලබා දෙනවා. උන්වහන්සේලා කැළණි නදියේ උපසම්පදා උත්සවයක් පවත්වා ක්‍රමානුකූලව පහත රට සියම් නිකායේ උපසම්පදාව ආරම්භ කරනවා.
4. කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී සභාව
ගංවතුර තත්ත්ව නිසා කැළණි නදියේ උපසම්පදා උත්සව පැවැත්වීම අපහසු වීම නිසා කල්‍යාණී සාමග්‍රී සභාවේ භික්ෂූන්වහන්සේ පිරිසක් එම උපසම්පදා උත්සවය කෝට්ටේ රජමහා විහාරයේ උපෝස්ථාගාරය වෙත ගෙන ආ යුතු බවට යෝජනාවක් කරනවා. නමුත් තවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් ඊට විරුද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී සභාව ඇතිවෙනවා. මුල් පිරිස සාම්ප්‍රදායානුකූලව උපසම්පදා උත්සවය කැළණි නදියේම පවත්වනවා.
5. වනවාස පාර්ශවය
මල්වතු විහාර පාර්ශ්වයට අයත් ආරඤ්ඤවල වාසය කරන භික්ෂූන්වහන්සේ පිරිසක් තමන්වහන්සේට වඩාත්ම බලපාන ගැටළුවලට පිළිතුරක් සෙවීම උදෙසා මෙම පාර්ශවය ආරම්භ කරනු ලබනවා. මේ සඳහා මූලිකත්වය ලබා දෙන්නේ මදුනාගල රහතන් වහන්සේ ලෙස සාමාන්‍ය ජනතාවගේ ගෞරවාදරයට පත්වූ වතුරවිල ශ්‍රී ඤාණානන්ද මහනායක හිමිපාණන් වහන්සේයි.
6. ඌව පාර්ශවය
ඌව ප්‍රදේශයේ වාසය කරන භික්ෂූන් වහන්සේට උපසම්පදාව ආදී ශාසනික කටයුතු සඳහා මල්වතු විහාරයට යාමේදී තිබෙන ගමනාගමන දුෂ්කරතාවය ආදී කරුණු පිළිබඳව සැලකිල්ලක් දැක්වූ ගිහි පැවිදි පිරිසකගේ එකමුතුවෙන් මෙම පාර්ශවය ආරම්භ වුණා. ඒ සඳහා බොරගල්ලේ සෝමානන්ද හිමි මූලිකත්වය ගත් අතර උන්වහන්සේ එම පාර්ශ්වයේ ප්‍රථම මහා නායක පදවියට පත්වුණා.
7. රෝහණ පාර්ශ්වය
මල්වතු විහාරයේ කාරක සංඝ සභාවට පහත රට භික්ෂූන් වහන්සේගේ නියෝජනයක් ලබා දීම, පහත රට උපසම්පදා විනය කර්ම සිදු කිරීම ආදී කාරණා කීපයක් මුල් කරගෙන මල්වතු විහාරය සමඟ සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුකොටගෙන පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ භික්ෂූන් වහන්සේලා විසින් මෙම පාර්ශවය පිහිටුවා ගනු ලැබුවා.
8. රන්ගිරි දඹුලු පාර්ශවය
ඉහත සඳහන් කළ ආකාරයට විවිධ හේතු මත මල්වතු විහාර පාර්ශ්වයෙන් කොටස් ගණනාවක් වෙන්ව ගියත් අස්ගිරි පාර්ශ්වයෙන් වෙන් වූ එකම භික්ෂු පාර්ශවය විදිහට රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වය හඳුන්වන්න පුළුවන්. රන්ගිරි දඹුල්ල විහාරය කේන්ද්‍ර කරගෙන ඒ අවට ඇති අස්ගිරි පාර්ශවයේ විහාරස්ථාන මෙම සංඝ සභාවට ගොනුව පවතිනවා. වර්තමානයේ මෙම විහාර පාර්ශ්වයේ මහා නායක පදවිය දරන්නේ ඉනාමලුවේ සුමංගල හිමියන් විසින්.
මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ එක් එක් විහාර පාර්ශ්ව පිළිබඳව සවිස්තරාත්මක ලිපි පෙළක් ඉදිරියේදී අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply