ගින්දර පාවිච්චි කර ආහාර පිළියෙල කරගැනීමේ ඉතිහාසය කෙටියෙන්

සීතල දවසක පාන්දරින් නැගිටලා උයන්න කියලා කුස්සියට යද්දි හිතෙනවා උයනවා කියන්නේ මොන තරම් බෝරින් වැඩක්ද කියලා. ඒත් උයනවා කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ මිනිසා නූතන තත්ත්වයට එන්න හේතු වුණු එක මූලික දෙයක්. ඉතින් ඒ උයන එකේ ඉතිහාසය ගැන අපි කරුණු ටිකක් සොයා බලමු. 

 

1. ආහාර පිළියෙල කිරීම කියන්නේ මොකක්ද? 

ඉංගිරිසියෙන් කුකින් කියලා කියන වචනයට තියෙන තේරුම තමයි ආහාර රත්කිරීම, කැපීම, කෙටීම, තැලීම හරහා කෑමට වඩාත් රුචි විදිහට සකස් කරගැනීම. මේ විදිහට කෑම සංකීර්ණ විදිහට හදාගන්න වෙනත් සතෙක් නැතිම තරම්. කිඹුලා මස් එහෙම පසුව ගන්න පුළුවන් වෙන්න මඩ අස්සේ ගහලා තියාගත්තට ඒවා ක්‍රමවේද විදිහට ගත්තාම අපේ ඉවුම් පිහුම් වලින් සෑහෙන දුරස් ප්‍රාථමික දේවල්. අපි අතර දැනට ඉතුරු වෙලා ඉන්න වනචාරී ගෝත්‍රිකයින් පවා ආහාර සකසාගැනීමට හුරු පුරුදු වෙලා ඉන්නවා. 

 

2. ආහාර සැකසීම ආරම්භ වුණු හැටි 

මුලින්ම ආහාර පිළියෙල කිරීමට ගින්දර සම්බන්ධ වුණේ ගිනිකඳු සහ ලැව් ගිනි ඇසුරින් කියලා මතයක් තියෙනවා. පුරාණ මානවයින්ට ආයුධ උවමනා වුණා. ආයුධ මුවහත් කරද්දි ඔවුන් ගින්නෙන් ප්‍රයෝජන ගත්තා. ඒ වගේම ශීතල පළාත් වල වගේම නිවර්තන කලාප වලත් නිදාගන්න කලින් ගිනිමැලයක් ගැහීම සිරිතක් වුණා. ඒ මගින් මැසි මදුරු උවදුරු අඩුවෙනවා වගේම වෙනත් සතුන්ගේ හානි අඩු වෙනවා. ඒ අවස්ථාවෙදි කෙලින්ම ගින්නට දැමීම මගින් කෙමෙන් කෙමෙන් ආහාර සැකසීමට ගින්න සම්බන්ධ වූ බව විශ්වාස කරනවා. 

 

3. උයාගෙන කෑමේ වාසි 

අර්තාපල්, පරිප්පු වගේ දේවල් කෙලින්ම ආහාරයට ගත්තොත් ඒ හරහා ලැබෙන පෝෂණයට වඩා සරු පෝෂණයක් අපිට ඒවා උයාගෙන කෑවම ලැබෙනවා. මේ උයා සකස් කරගැනීම හරහා ආහාර මෘදු වෙනවා. එක පසෙකින් අපිට ඒවා කන්න ලේසියි අනෙක් පැත්තෙන් පෝෂ්‍ය පදාර්ථ සිරුරට ඇතුළත් කරගන්න ලේසියි. මිනිසාගේ මොළය අනෙක් සතුන්ට වඩා ලොකු වෙන්න මේ ආහාර සකසාගෙන පෝෂණය වැඩි ආහාර වැඩිපුර ගිලදැමීමත් හේතු වෙලා තියෙනවා. 

 

4. උයාගෙන කෑවේ මොනවද? 

මුල් කාලයේදී උයන්න පාවිච්චි කළේ මස්. මිනිස්සු සතුන් දඩයම් කරගෙන ඒ ආශ්‍රිත දේවල් උයාගෙන සකස් කරගත්තා. ඒත් පසුකාලීනව මිනිස්සු එඬේර යුගයට එක් වීමත් එක්ක කෑම වලට කිරි එකතු වුණා. මිනිස්සු මුල් කාලයේ තිරිඟු හොයාගත්තේ තණකොළ ඇසුරෙන්. තණ ගස් වල තිබුණු වල් තිරිඟු වල ලොකු ඇට හොයලා කාලාන්තරයක් තිස්සේ වවලා වවලාම ලොකු ඇට තියෙන වර්තමාන තිරිඟු සොයාගත්තා. ඒ විදිහට වවා ගත් හාල්, ධාන්‍ය වර්ග වුණත් කෙලින්ම කනවාට වඩා වතුරෙන් තම්බලා, පිටි කරලා, සකසලා ආහාරයට ගැනීම නිසා ආහාර වසරේ සෑම කාලයකම ලබාගන්න වාසියත් මිනිසාට ලැබුණා. 

 

5. එක් එක් කලාපවල ඉවුම් පිහුම් ක්‍රමවල වෙනස 

අපේ දකුණු ආසියානු කලාපයේ මස් පරිභෝජනය අඩුයි. අපි ධාන්‍ය වර්ග තමයි වැඩිපුර ආහාරයට ගන්නේ. ඒවත් කෙලින්ම වතුරෙන් තම්බලා ඉන් පසු එළවළු, මාළු, මස් ආදියත් තම්බලා ආහාරයට ගැනීම තමයි වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ. මොකද අපේ කලාපයේ ජනගහණය වැඩි නිසා, ධාන්‍ය සතුන්ට දීලා ඒ සතුන්ව මරාගෙන ආහාරයට ගන්න ගියානම් ඒක අසාර්ථක වැඩක් වෙනවා. ධාන්‍ය මදි වෙනවා. ඒත් උත්තරාර්ධගෝලයේ එස්කිමෝවරු සහ ජපානයේ පුරාණ වාසීන් වැඩිපුර මාළු ආහාරයට ගන්නවා. මොකද ඔවුන්ට වඩාත් සුලභව සපයාගන්න පුළුවන් ආහාර වෙන්නේ මාළු. ඒ විදිහට අප්‍රිකානුවන් අල වර්ග මූලික ආහාර වේල කරගන්නවා. උතුරු ඇමරිකානුවන් තවමත් වැඩිපුර මස් සිය ආහාර වලට එකතු කරගන්නවා. 

 

6. උයාගෙන කෑමෙන් ඇතිවුන අවුල් 

ආහාර පිළියෙල කරලා ගැනීමට ආහාර ගින්න හෝ තාපය යොදාගෙන රත් කරගැනීම විතරක්ම නෙමෙයි, ආහාර කැපීම, පොඩි කරගැනීමද ඇතුළත් වෙනවා. මේ විදිහට ආහාර අපිට ගිලින්නට පහසු, දිරවන්නට පහසු ආකාරයෙන් ගැනීම නිසාම මිනිස්සු කොටසකට ආහාර වැඩිවෙලා රෝගාබාධ හැදෙනවා. උදාහරණ විදිහට අපිට සතුන් අතර හෘද රෝග, දියවැඩියා රෝග ආදී බෝනොවන රෝග තිබෙන බවට වාර්තා වෙන්නේ අඩුවෙන්. ඒත් මිනිස්සුන්ට සැරට මේ රෝග හැදෙනවා. ආහාර සකසා කෑම නිසා ඒ ලෙඩවල් හැදෙන්න තිබෙන ඉඩ වැඩිවුණා. මේ නිසා බටහිර රටවල මේ වෙද්දි සලාද විදිහට එළවළු කෑම, බාගෙට යන්තම් තම්බා ආහාර සැකසීම, තෙල්, බටර්, මිරිස් ආදිය භාවිතය අඩු කිරීම ආදී දේවල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. 

 

7. පිළියෙල කරගැනීම නිසා ගත හැකි ආහාර ප්‍රමාණය වැඩි වීම 

අපිට මීයන්, කැරපොත්තන් ආදී සතුන් ආහාරයට ගැනීම පේන්න බැහැ. ඒත් තායි සහ චීන වැසියන් ඒවා ආහාරයට ගන්නවා. අපි හොඳට හොයලා බැලුවොත් ඔවුන් කෘමි සතුන්, සර්පයින් ආදිය කෙලින්ම ආහාරයට එකතු කරගන්නේ නැහැ. අමුවෙන් කෑවත් අඩු වශයෙන් සෝස් එකක හෝ ගිල්වලා තමයි ආහාරයට ගන්නේ. තායි රටේ ගෝනුසු ආදී සතුන් ආහරයට ගන්නේ ඩීප් ෆ්රයි කරලා. මේ ආහාර සැකසීම නිසා අපිට සයනයිඩ් තිබුණත් මඤ්ඤොක්කාවල සයනයිඩ් තියෙන පොත්ත අයින් කරලා කන්න පුළුවන් වුණා. ඒ විදිහට සතුන්ට සාපේක්ෂව ගත්තාම අපිට ආහාරයට ගන්න පුළුවන් පරාසය වැඩිකරගන්න මිනිසාගේ ඉවීමේ, උයාකෑමේ පුරුද්ද හේතු වුණා. 

 

උයනවා වගේම උයන ආකාරයත් ලෝකයේ මිනිස්සු අතර විවිධාකාරයි. “ඕක මොකද්ද අපිට ඉතින් හොද්දක් බතක් හදාගන්න නේ තියෙන්නේ.” කියලා ඒක එහෙම සරලව කිව්වට මස් සකසා ආහාරයට ගන්න අයට මේ හොද්ද, බත හදාගැනීම කියන්නේ ටිකක් සංකීර්ණ වැඩක්. ඒ විදිහට ලොව පුරා සකසා ආහාර බුදීමට පාවිච්චි කරන ක්‍රමවේද වල යම් යම් ලොකු වෙනස්කම් තිබුණත් ආහාර උයනවා පිහනවා කියන එක වෙනසක් නැතුව හැම සංස්කෘතියකම තියෙන දෙයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *