සමාජ මාධ්‍ය කළඹා අමතකව ගිය සිදුවීම්

කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය වල එක එක මාතෘකා මතු වෙනවා. ඉතින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල ඉන්න පිරිස් එම මාතෘකා සම්බන්ධයෙන් උදේ ඉඳන් රෑ වෙනකල් එක එක අදහස් පළ කරනවා. ඊට පස්සේ ටික දවසකින් තවත් මාතෘකාවක් කරළියට එනවා. අන්තිමට කලින් මාතෘකාව ගැන වගේ වගක් නැතුව අනිත් මාතෘකාවට අපේ අය මාරු වෙනවා. අපි අද කතා කරන්න හිතුවේ මේ විදිහට සමාජ මාධ්‍ය ජාලාවල දැඩිව කතා බහට ලක්වෙලා, අන්තිමට හැමෝටම අමතක වෙලා ගිය සිදුවීම් කීපයක් පිළිබඳව.

 

 

1. මීතොටමුල්ලේ කුණු කන්ද 

ඔබට මතක ඇති මීට වසර කීපයකට පෙර සිංහල අලුත් අවුරුදු සමයේ මීතොටමුල්ල ප්‍රදේශය එකම මළගෙයක් බවට පත්වුණා. ඇත්ත වශයෙන්ම රටක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන කාරණයක් ඒක. කුණු කන්දක් නාය ගිහිල්ලා අහිංසක ජීවිත ගණනාවක් විනාශයට පත් වුණා. අද වෙද්දි මීතොටමුල්ල කුණු කන්ද නෑ. ඒ වගේම ඒ පිළිබඳව කතා කරපු කෙනෙක්වත් හොයාගන්න නැහැ. ඒත් ඒ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ වුණාද කියන එක සමාජයක් විදිහට අපි අපෙන්ම අහන්න ඕන.

 

 

2. එක්ස්ප්‍රස් පර්ල් 

මේ වසර තුළදී අපේ පමණක් නොව සමස්ත ඉන්දීය සාගර කලාපයටම සිදුවූ විශාලතම විනාශය මෙයයි. ඇතැම් මාධ්‍ය දිනපතා මේ නෞකා අනතුරෙන් පස්සේ මුහුදට ගොඩගහපු මුහුදු ජීවීන් පිළිබඳව වාර්තා ගෙන ආවා. ඒ වගේම රටේම මාළු අලෙවිය වාර්තාගත ලෙස පහළටම ගියා. නමුත් අද වෙද්දී අපේ මිනිස්සු මාළු සාමාන්‍ය පරිදි පරිභෝජනය කරනවා. ඒත් රටේ සාගරයට වෙච්ච හානිය ගැන පසු විපරමක් කරන්න කවුරුහරි ඉන්නවද කියන එක ගැන කවුරුවත් දන්නෙ නෑ.

 

 

3. විස පොල්තෙල් 

පිළිකාකාරක පොල්තෙල් තොගයක් ලංකාවට ආනයනය කිරීම පිළිබඳව විශාල ආන්දෝලනයක් ලංකාව තුළ මීට මාස කීපයකට පෙර ඇති වූ බව ඔබට මේ වන විට මතකද දන්නෙ නැහැ. අවසානයේදී ප්‍රමිති ආයතනයේ නිලධාරිනියක් පමණක් සමාජ මාධ්‍ය ජාලවල දැඩි ලෙස විවේචනයට ලක්වුණා. නමුත් එතනින් එහාට ඒ පොල් තෙල් තොගයට වුණේ මොකක්ද කියන එක ගැන වාර්තා නම් ඊට පස්සේ පළවුණේ නැහැ. මේ ලිපිය කියවන එක් අයෙක් හෝ ඒ පිළිබඳව දන්නවානම් කමෙන්‍ට් එකකින් ඒ ගැන අපිව දැනුවත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

 

4. කුරුණෑගල රාජ සභා මණ්ඩපය

කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත්වීම මත කුරුණෑගල පිහිටි කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම පිළිබඳව විශාල විරෝධයක් සමාජ මාධ්‍ය හරහා ගොඩනැගුණා. රජයේ  පාර්ශ්වවලින් ඊට ප්‍රතිචාර විදිහට ලැබුණේ මේ රාජ සභා මණ්ඩපයක් නොව හෝටලයක්ය යන පිළිතුරයි. ඒ පිළිබඳව රජයේ පාර්ශවයේ ප්‍රතිචාර පිළිබඳවත් විශාල විවේචන තිබුණා. නමුත් අද වන විට මෙම සිද්ධියත් හැමෝටම අමතක වෙලා. 

 

 

5. පිදුරංගල ඡායාරූපය 

පිදුරංගල පර්වතය මුදුනට නැගලා තරුණයන් තිදෙනෙකු ගත්ත ඡායාරූපයක් මීට කාලෙකට කලින් සෑම සමාජ මාධ්‍යයකම පාහේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට එම තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කරනු ලැබුවා. අවසානයේදී අධිකරණය මගින් ඔවුන් තිදෙනා නිදහස් කරනු ලැබුවා. 

 

 

6. මහනුවර ඛේදවාචකය 

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් නිවසක් ගිලා බැසීම නිසා අලුත විවාපත් යුවළක් සහ බිළිඳු දියණියක් මියයෑම සෑම දෙනාගේම සිත් කම්පාවට ලක් කළ ප්‍රවෘත්තියක් වුණා. නියමිත ප්‍රමිතියට අනුකූල වන පරිදි මෙම නිවස ඉදි නොකිරීම පිළිබඳව සහ මෙම සිදුවීම වන අවස්ථාවේදී අසල්වැසියන්ට අනතුරු නොහගවා පලා යාම පිළිබඳව එම නිවසේ හිමිකරුවන්ට සමාජ මාධ්‍ය මගින් ඒ දිනවල දිගින් දිගටම චෝදනා එල්ල වුණා. අද වන විට මෙම සිදුවීමෙන් වසරක පමණ කාලයක් ගෙවී ගොසින් තිබෙනවා. ඒත් මේ අයට සාධාරණයක් ඉෂ්ඨ වුණාද?

 

 

7. උමා ඔය 

උමා ඔය ව්‍යාපෘතිය නිසා සමස්ත බදුල්ල දිස්ත්‍රික්කයම නාය යන බවට විශාල කලබැගෑනියක් සමාජ මාධ්‍යවල ඇති වුණා. විශේෂයෙන්ම ඒ ආශ්‍රිත ජනතාවගේ නිවාසවල ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඒ වගේම මේ ව්‍යාපෘතිය පිළිබඳව නිසි පාරිසරික වාර්තා නිකුත්ව නොමැති බවට ද චෝදනා එල්ල වුණා. නමුත් අද වන විට කිසිවෙක් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ කතාබහත් අතීතයට එක් වී හමාරයි.

 

එහෙමනම් ඉතින් මේ වගේම ඔබත් අදහස් පළ කරලා ඔබටත් අමතක වෙලා ගිය සිදුවීම් පිළිබඳව මතකය කමෙන්ට් එකක් මගින් අවදි කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *