කරවල වර්ග 7ක් රසට හදන්න මෙන්න අපෙන් රෙසිපි

කරවල කියන්නෙ මස් මාළුම කාලා එපා වෙනකොට වෙනසකටත් එක්ක කෑමට එකතු කරගන්න දෙයක්නෙ. දැන් කාලෙ එහෙම වුණාට අතීතෙ නම් ගොඩක්ම කාපු කෑමක්. මාළු කල් තියාගන්න ක්‍රමයක් විදියට තමා කරවල හඳුන්වන්න පුළුවන්. කරවල කඩයකට ගියාම නානාප්‍රකාර කරවල වර්ග තියෙනවා. හැම මාළු වර්ගයකම කරවල මේවයෙ තියෙනවා. සමහර මාළු කරවල කරලම මිසක් අමු මාළු විදියට රස නැහැ. කට්ට කරවල කියන්නෙ එහෙම කරවල වර්ගයක්. කරවල ගැන කතා ඇති. එහෙනම් බලමු කරවල වර්ග 7ක් රසට හදාගන්න හැටි.

 

1. මෝර කරවල මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් කරවල ග්‍රෑම් 200
  2. අමුමිරිස් කරල් 7-8
  3. විනාකිරි කෝප්ප 1/2
  4. සීනි මේස හැඳි 2
  5. රට ඉඳි 5-6
  6. චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
  7. ලුණු හා ගම්මිරිස් කුඩු 
  8. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  9. බැදීමට තෙල්

 

  • කරවල පොඩි කෑලි වලට කපාගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. අමුමිරිස් දෙකට පළලා තෙලට දාලා ගන්න. 
  • මැටි වළඳකට විනාකිරි ටික දාලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සීනි, චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා ලිපේ තියන්න. 
  • මේකට ඇට අයින් කරලා චොප්කරගත් රට ඉඳි හා අනික් බැදගත් සියල්ලම දාලා හොඳට කලවම් කරගෙන විනාකිරි ටික හිඳීගෙන එනකොට ලිපෙන් බාගන්න. 

 

2. හාල්මැස්සො රටකජු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. නූඩ්ල්ස් කෝප්ප 1
  2. රටකජු ග්‍රෑම් 150
  3. හාල් මැස්සන් ග්‍රෑම් 150
  4. ලුණු ස්වල්පයක් 
  5. ලියාගත් සුදුළූණු බික් 4-5
  6. ලියාගත් ළූණු ගෙඩියක්
  7. කරපිංචා කොළ කෝප්ප 1
  8. කෑලිමිරිස් තේ හැඳි 1
  9. මිරිස් කුඩු තේ හැඳි 1
  10. බැදීමට තෙල්

 

  • මුලින්ම රත්වුණු තෙලට නූඩ්ල්ස් ටික දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.
  • ඒ වගේම රටකජු, කරපිංචා, ළූණු, සුදුළූණු හා හාල්මැස්සො ටිකත් වෙන වෙනම හොඳට බැදගන්න.
  • දැන් මේ ටික එක බෝල් එකකට දාලා රස අනුව ලුණු, කෑලිමිරිස්, මිරිස් කුඩු දාලා කලවම් කරන්න. කෑමට පෙර දෙහි යුෂ ටිකක් දාගන්න. 

3. කීරමින් කරවල හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කීරමින් කරවල ග්‍රෑම් 100
  2. ලියාගත් රතුළූණු
  3. ලියාගත් අමුමිරිස් කරල් 2
  4. තුනපහ කුඩු තේ හැඳි 1
  5. කහ කුඩු තේ හැඳි 1/4
  6. රම්පේ හා කරපිංචා 
  7. උළුහාල් තේ හැඳි 1/2
  8. දියකිරි කෝප්ප 1/2
  9. මිටිකිරි කෝප්ප 1

 

  • කරවල සෝදලා උණුවතුර ටිකක් දාලා තියලා ගන්න. 
  • මැටි වළඳක් අරගෙන මිටිකිරි හැර අනික් සියල්ලම දාලා හොඳින් පිසගන්න. 
  • ඊළඟට මිටිකිරි ටික දාලා උතුරවගන්න. රස බලලා ලුණු එකතු කරන්න. 

 

4. තලපත් කරවල වම්බටු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් කරවල ග්‍රෑම් 100
  2. කපාගත් වම්බටු කරල් 3
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. ලියාගත් අමුමිරිස් කරල් 2
  5. කපාගත් තක්කාලි ගෙඩි 1
  6. කපාගත් මාළුමිරිස් කරල් 2
  7. රම්පේ හා කරපිංචා 
  8. කෑලිමිරිස් තේ හැඳි 1
  9. කහ කුඩු තේ හැඳි 1/4
  10. මිරිස් කුඩු තේ හැඳි ½
  11. ඔයිස්ටර් සෝස් මේස හැන්දක්
  12. සෝයා සෝස් මේස හැන්දක්
  13. සීනි මේස හැඳි 1/4
  14. තෙල් ස්වල්පයක් 

 

  • වම්බටු ටික ලුණු ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. කරවල වලට මිරිස් කුඩු, කහ කුඩු හා කෑලිමිරිස් අතගාලා පැත්තකින් තියන්න. 
  • ඇතිලියට තෙල් ටිකක් දාලා කරවල ටික දාලා බැදෙන්න අරින්න. කරවල සාමාන්‍ය ගාණට බැදුනම කෑලි මිරිස්, ළූණු, රම්පේ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. 
  • හොඳට තෙම්පරාදු වුණාම ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එක්ක සීනි ටික දාගන්න. ඒකටම අමුමිරිස්, මාළුමිරිස් හා තක්කාලි ටික දාගන්න.  
  • හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර වහලා පිසගන්න. 

 

 

5. අංගුළු කරවල හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් කරවල ග්‍රෑම් 200
  2. ලියාගත් රතුළූණු ගෙඩි 2
  3. රම්පේ හා කරපිංචා 
  4. ලියාගත් අමුමිරිස් කරල් 2
  5. තුනපහ කුඩු තේ හැඳි 1
  6. මිරිස් කුඩු තේ හැඳි 1/2
  7. කහ කුඩු තේ හැඳි 1/4
  8. ගොරකා කෑලි 2-3
  9. දියකිරි කෝප්ප 1/2
  10. මිටිකිරි කෝප්ප 1/2

 

  • කරවල සෝදල ඇතිලියකට දාලා අනෙක් සියල්ලම දාගන්න. 
  • දියකිරි හා මිටිකිරිත් දාලා ලිපේ තියන්න. තෙල් පෑදෙනකල් අඩු ගින්දරේ උයලා ලිපෙන් බාගන්න. 

 

6. කට්ටා කරවල ලීක්ස් ව්‍යංජනය 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලීක්ස් අල 2
  2. කරවල ග්‍රෑම් 100
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. මිරිස් කුඩු තේ හැඳි 2
  5. අමු තුනපහ කුඩු තේ හැඳි ½
  6. කහ කුඩු තේ හැඳි 1/4
  7. ලියාගත් අමුමිරිස් කරල් 2
  8. රම්පේ හා කරපිංචා 
  9. මිටිකිරි කෝප්ප 1
  10. දෙහිබෑයක යුෂ

 

  • ලීක්ස් සෝදලා හීනියට ලියාගන්න. කරවල ටිකත් පොඩියට කපාගන්න. මේ දෙකම ඇතිලියට දාලා කුළුබඩු සියල්ලම දාලා වතුර ටිකක් එක්ක ලිපේ තියන්න. 
  • වතුර හිඳෙනකොට කිරි ටික දාලා හින්දගන්න. අන්තිමට දෙහි යුෂ එකතු කරන්න. 

 

7. බොම්බිලි තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බොම්බිලි කරවල ග්‍රෑම් 200
  2. ලියාගත් ළූණු ගෙඩි 2
  3. ලියාගත් අමුමිරිස් කරල් 2
  4. රම්පේ හා කරපිංචා 
  5. කුරුඳු පොතු කෑල්ලක්
  6. ලියාගත් සුදුළූණු බික් 3
  7. නයි මිරිස් කරල් 3
  8. කෑලිමිරිස් තේ හැඳි 2
  9. දෙහි බෑයක යුෂ

 

  • කරවල ටික කෑලි කපලා උණු වතුරෙන් සෝදලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලියාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු දාලා බැදෙන්න අරින්න. 
  • නයි මිරිස් හා කෑලිමිරිස් ටිකත් දාගන්න. හොඳට තෙම්පරාදු වුණාම කරවල දාලා කලවම් කරගන්න. අන්තිමට දෙහි යුෂ එකතු කරගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *