ලෝකයේ කුඩාම ස්වෛරී රාජ්‍යය වන වතිකනය ගැන දැනගනිමු

ලෝකයේ කුඩාම ස්වෛරී රාජ්‍යය වුණු වතිකනය ඇතැම් අය කියන විදිහට ලෝකයේ බලගතුම රාජ්‍යයද වනවා. ඒකට හේතුව වෙන්නේ වතිකනයේ පාලනය සිදු වන්නේ කතෝලික සභාවේ ප්‍රධානියා වන පාප්තුමා විසින් වීමයි. මේ නිසා වතිකනයේ පාලකයා ලෝකයේ වැඩිම පිරිසක් අදහන බැතිමතුන්ගේ ප්‍රධානියා බවටද පත් වනවා. ඇතැම් සිංහල ලේඛකයන් වතිකනය සඳහා වතිකානුව යැයි භාවිතා කළත් මෙය නිවැරදි වහරක් වන්නේ නැහැ. නිවැරදි වහර වන්නේ වතිකනය යන්නයි. අපි දැන් වතිකනය ගැන තොරතුරු ටිකක් හොයලා බලමු.

 

1. ලෝකයේ කුඩාම රාජ්‍යය

අක්කර සීයකට වඩා මදක් වැඩි භූමි භාගයකට උරුමකම් කියන වතිකනය ඉතාලිය සමඟ සැතපුම් දෙකක පමණ දේශසීමාවක් පවත්වාගෙන යනවා. මේ නිසා ඉතාලියේ රෝම අගනුවර තුළ තමයි මෙම ස්වෛරී රාජ්‍යයත් පිහිටලා තියෙන්නේ. මෙහි පාලන ක්‍රමය රාජාණ්ඩුවක් වන අතර ඉහත සඳහන් කළ ආකාරයට පාප්තුමා එහි ප්‍රධානියා වනවා. මුදල් මුද්‍රණය කිරීම, මුද්දර නිකුත් කිරීම, ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආදී රාජ්‍යයක් විසින් සිදු කරනු ලබන සෑම දෙයක්ම වතිකනය සිද්ධ කරන නමුත් අනෙකුත් රාජ්‍යයන් මෙන් බදු අයකිරීමක් මෙහි සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට කෞතුකාගාරවලට ඇතුළුවීමේ ගාස්තු, පරිත්‍යාග ආදිය මගින් තමයි වතිකනයට ආදායම නිර්මාණය වෙන්නේ.

 

 

2. ශාන්ත පීතර බැසිලිකාව

වතිකනයේ ප්‍රධාන පූජා ස්ථානය වන ශාන්ත පීතර බැසිලිකාව ගොඩ නැඟී තිබෙන්නේ සාන්ත පීතර පියතුමන්ගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් පසුව එතුමාගේ දේහය මිහිදන් කළ ස්ථානයේ බව විශ්වාස කෙරෙනවා. කෙසේ නමුත් ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි එම යුගයේදී සාමාන්‍ය සොහොන් බිමක් ලෙස මෙම ප්‍රදේශය පැවතී තිබෙනවා.

 

3. ඊජිප්තුවෙන් ගෙන ආ ග්‍රැනයිට් කුළුණ

වර්තමානයේදී ශාන්ත පීතර චතුරශ්‍රයේ දකින්නට ලැබෙන ග්‍රැනයිට් කුළුණ සූර්යාලෝකය භාවිතා වන පෑ තැටියක් ලෙස පවතිනවා. මෙහි ඉතිහාසය සොයා යාමේදී ටොන් 350 ක් බරැති මේ කුළුණ ඊජිප්තු පාරාවෝ රජවරු විසින් හෙලියෝපොලිස් නගරයේ ඉදිකර තිබූ කුළුණක් බවට සාක්ෂි හමුවනවා. පසුව රෝමයේ පාලකයාව සිටි කලිගියුලා නම් අධිරාජ්‍යයා ූවිසින් මෙම කුළුණ සිය නෘත්‍යාගාරයක් සඳහා භාවිතා කිරීමට ඊජිප්තුවෙන් ගෙන්වාගෙන තිබෙනවා.

 

4. වතිකනයේ සිරකරුවා

අතීතයේදී ඉතාලියේ භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් පාප්තුමාගේ භාරයේ පැවති අතර ඉතාලිය එක්සත් කිරීමේ සටනේ දී ඉතාලි හමුදා විසින් එම ප්‍රදේශ අත්පත් කර ගැනීමට කටයුතු කළා. පාප්තුමා මෙම ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පළ කළ අතර උන්වහන්සේ වතිකනය හැර යාමෙන් වැළකුණේ යම් හෙයකින් තමන් වහන්සේ ඉතාලි ප්‍රදේශයට ගමන් කළොත් එය ඔවුන්ගේ පාලනය පිළිගැනීමක් වන නිසයි. පාප්වහන්සේ සහ ඉතාලි රජය අතර මෙම ගැටළුව වසර හැටක් පමණ මතභේදයට තුඩු දුන්නා.

 

5. මුසොලීනිගේ මැදිහත්වීම

ඉතාලියේ ආඥාදායකයා ලෙස කටයුතු කළ බෙනිටෝ මුසොලීනි සහ කතෝලික පල්ලිය අතර 1929 දී ලැටරන් ගිවිසුම අත්සන් තැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස වතිකනය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක් වුණා. එසේම ඉතාලි හමුදාව විසින් අත්පත් කරගත් වතිකනයට අයත්ව තිබූ ප්‍රදේශ වෙනුවෙන් ඩොලර් මිලියන අනූ දෙකක වන්දියක් ගෙවීමට කටයුතු කළා.

 

 

6. පාප්වහන්සේ විසින් වතිකනය හැරයාම

මුල් කාලයේදී පාප් වහන්සේ සිය වාසස්ථානය ලෙස භාවිතා කළේ ලැටරන් මාළිගයයි. ප්‍රංශ ජාතික කාඩිනල්වරයෙකු පාප් ධූරයට පත්වීමත් සමඟම පාප්තුමා ඇතුළු මුළු රාජ සභාවම ප්‍රංශයේ ඇවිනොන් නගරය වෙත පදිංචියට ගියා. මෙසේ වසර 70ක පමණ කාලයක් පාප්වරු ප්‍රංශයේ වාසය කළ අතර යළිත් වතාවක් නව පාප්වරයෙකු රෝමය වෙත පැමිණෙන විට ලැටරන් මාළිගය ගිනිබත් වී තිබීම නිසා එතැන පටන් වතිකනය පාප්තුමන්ගේ ප්‍රධාන වාසස්ථානය බවට පත්වුණා.

 

7. ස්විස් බලකාය

වර්තමානයේ වතිකනයේ ආරක්ෂාව භාරව කටයුතු කරන ස්විස් බලකාය මුල් කාලයේදී ක්‍රියාත්මකව තිබී ඇත්තේ කුලී හේවා බලකායක් ලෙසටයි. විවිධ සතුරු ආක්‍රමණ වලදී පාප්තුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මෙම බලකාය කටයුතු කිරීම නිසා අද වන විට ඔවුන් වතිකනයේම කොටසක් බවට පත්ව තිබෙනවා. පිටතින් බැලූ බැල්මට එම බලකාය සම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටියත්, නවීන ආරක්ෂක උපකරණවලින් සන්නද්ධව සිටින ඔවුන් නවීන ආරක්ෂක උපක්‍රම පිළිබඳවත් ඉහළ දැනුමකින් යුක්ත පිරිසක්.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *