ඔන්ලයින් බිස්නස් එකක් ගෙදර ඉඳන් පටන් ගනිමුද? එහෙනම් මේ විදියට පටන් ගමු

මේ දවස් වල තියෙන ලෝක ව්‍යාප්ත කොවිඩ්-19 වසංගතයත් එක්ක ලෝකෙට සෑහෙන්න අහිතකර දේවල් වගේම, හිතකර දේවලුත් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, කොවිඩ්-19 සහ ලොක්ඩවුන් එක්ක මිනිස්සු සෑහෙන්න සුරක්ෂිතයි කියලා හිතාගෙන හිටපු රැකියා වලට නරක කලදසාවන් ලබලා තියෙනවා. එතකොට මිනිස්සු රස්සා කළත් පඩි අඩු වීම්, පඩි කැපීම් සිද්ධ වෙලා තියෙනවා. පොදුවේ මිනිස්සුන්ගේ ආර්ථිකයට හෙනහුරු දසාව ලබලා තියෙනවා. දැන් එතකොට රස්සා නැති වුණු මිනිස්සුන්ට තමන්ගේ දෙයක් කරන එකේ අගේ තේරෙනවා. රස්සා කරන මිනිස්සුන්ට වුණත් සයිඩ් එකෙන් තමන්ගේ දෙයක් තියෙන එක වටිනවා කියලා දැනෙනවා. අන්න එතකොට මේ හැමෝම, ගෙදර ඉඳන්, ගොඩක් දුරට ඔන්ලයින් කරන්න පුළුවන්, ලොකුවට සල්ලි දාලා පටන් ගන්න අවශ්‍ය නැති පොඩි පොඩි බිස්නස් කරන්න හිතනවා. අන්න ඒක ඉතාම හොඳ වැඩක්!

හැබැයි ඉතින් හොඳ වැඩක් වුනාට ඒක වුණත් කරන පිළිවෙලක් තියෙන්ඩ ඕනෑ. ආයෙ බිස්නස් කියන්නේ “මං පොල් විකුණනවා” කියලා හිතලා, ඊලඟ පැයට පොල් ගෙඩි ටිකක් අරන් ගිහින් පාර අයිනෙ තියාගෙන විකුණන එක නෙවෙයි. ඊට වඩා ක්‍රමයෙන් දියුණු වෙන්න, සාර්ථක වෙන්න අවශ්‍ය විදියේ බිස්නස් එකක් කරන්න නම් පොඩ්ඩක් හිතලා බලලා ප්ලෑනක් ඇතුව කරන්න ඕනෑ. ආන්න ඒ ප්ලෑනේ පියවර කීපයක් තමයි අපි මේ කියන්නේ! 

 

1. මොකක්ද ප්‍රඩක්ට් එක?

ඔන්ලයින් දෙයක් විකුණන්න හිතනකොට තියෙන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ගොඩක් වෙලාවට අපි විකුණන්න හිතන ප්‍රඩක්ට් එක තව කවුරුහරි විකුණන්න අරගෙන තිබීම. හැබැයි ඒකෙන් අපි සැලෙනවද? නෑ. ඇත්තටම මෙන්න මේක නිසා තමයි කියන්නේ, ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කලින් හොඳ රිසර්ච් එකක් කරන්න කියලා. මේක නිකම් පේන තරමට අමාරු වැඩක් නෙවෙයි. අපි කරන්න ඕන හරියටම මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවයක් බලලා, ඒ අවශ්‍යතාවය කොහොමද කවර් කරන්නේ කියලා හිතන එක. උදාහරණයක් විදියට ගත්තොත්, විවිධ වර්ග වලට හදපු බැදපු කජු. සමහර විට තව කෙනෙක් මේ වෙනකොටත් ඔන්ලයින් කජු විකුණන බිස්නස් එක පටන් අරගෙන තියෙන්න පුළුවන්. ඒත් ගැටළුවක් නෑ. මොකද කජු කියන්නේ කොහොමත් ඩිමාන්ඩ් එකක් තියෙන දෙයක් හින්දා. සමහර විට අපිට මාකට් එකේ ගාණට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් නම්, ආන්න ඒක අපිට අමතර වාසියක්.

කොහොම හරි අපි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න නම්, මුලින්ම හොඳ රිසර්ච් එකක් කරලා, විකුණන්න හරියන ප්‍රඩක්ට් එක හොයාගන්න ඕන කියන එක තමයි කියන්න ගියේ.

 

2. එක්ස්පර්ට්ලා අපි!

උඩ කියපු විදියට ඔන්ලයින් බිස්නස් එකට රිසර්ච් එකක් කරලා හොඳ ප්‍රඩක්ට් එකක් හොයාගත්තා කියමුකෝ. ඊට පස්සේ අපිට ඔය බිස්නස් එකේ එක්ස්පර්ට්ලා වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට අපි උඩ කියපු බැදපු කජු වෙළඳාම ගමු. අපි කෙලින්ම බැදපු කජු කොහෙන් හරි අරගෙන විකුණනවා නම්, අපිට කජු වල කොලිටිය ගැන හොඳ දැනුමක් ඇතිකරගන්න වෙනවා. හැබැයි ඉතින් මෙහෙම සම්පූර්ණ ප්‍රඩක්ට් එක අරගෙන ආයෙමත් විකුණන එක පාඩුයි. එතනදී අපි අතරමැදියා විතරයිනේ. හැබැයි අපිට අමු කජු අරගෙන, ඒකෙන් විවිධ ආකාරයේ බැදපු කජු නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අන්න බිස්නස් එක. අවන් එකේ රෝස්ට් කරපු කජු, බැදලා සීනි දාපු කජු, බැදලා මිරිස් දාපු කජු, චොකලට් තැවරූ කජු වගේ එක එක ප්‍රඩක්ට්ස් අපිට ලයින් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම දේකට හොඳ එක්ස්පර්ට් ඥාණයක් අවශ්‍යයි. ඒ ප්‍රවීණත්වය ලැබෙන්න ඉතින් බිස්නස් එකේ නියැලෙන්න තමයි ඕන. හැබැයි ඒ ඇරෙන්න කලින් මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ මූලික දැනුම, පොඩ්ඩක් එළියට බැහැලා, කජු ගැන දන්න කියන අයගෙන්, වෙළඳුන්ගෙන් අහගෙන කරගෙන අරගන්නත් පුළුවන්!

 

3. ටූල්ස් පාවිච්චි කරන්න වෙනවා

ටූල්ස් කිව්වහම ඉතින් නොමිලේ ලබාගන්න පුළුවන් ඔන්ලයින් ටූල්ස් වලින්ම සෑහෙන්න වැඩ ගන්න පුළුවන්. මේවා ගැන නම් අපි කලිනුත් කියලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, නිකම්ම තමන්ගේ නම දාගෙන බිස්නස් එක පටන් ගන්නවට වඩා හොඳ ආකර්ෂණීය නමක් බිස්නස් එකට දාගන්න එක, ඒකට හොඳ ලෝගෝ එකක් එහෙම හදාගන්න එක වටිනවා. ඊට පස්සේ තමන්ගේ බිස්නස් එකට වෙබ්සයිට් එකක් නැතත් ලෑන්ඩින් පේජ් එකක් හරි හදාගන්න එක වටිනවා. ඔය වගේ ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරලා, බිස්නස් එකට අවශ්‍ය මැටීරියල් හැමදෙයක්ම හදාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. ඒක කරන්න ගොඩක් දෙනෙක් නොහිතන එක තමයි කාරණය. 

 

4. කොහෙන්ද පබ්ලිසිටි?

ගෙදර ඉඳන් ඔන්ලයින් කරන බිස්නස් එකකට ප්‍රධාන පබ්ලිසිටිය ලැබෙන්නේ ඔන්ලයින්මනේ. ආන්න ඒ නිසා ෆේස්බුක් එකේ, ඉන්ස්ටග්‍රෑම් එකේ විතරක් නෙවෙයි, ටික්ටොක් එකේ පවා බිස්නස් පේජ් නිර්මාණය කරලා, තමන්ගේ ප්‍රඩක්ට්ස් ඒවල ෆීචර් කරලා වැඩේ පටන් ගන්න පුළුවන්. මතක තියාගන්න, මේ කොහේ වුනත් තමන්ගේ ප්‍රඩක්ට්ස් වල මිල ගණන් වල ඉඳන් හැම විස්තරයක්ම ඇතුලත් කරන තරමට කස්ටමර්ලා එන්න ඉඩ වැඩියි. ඒ වගේම, නිකම්ම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් පේජ් හදලා, බඩු වල විස්තරයක් දාලා කස්ටමර්ස්ලා එනකල් බලාගෙන හිටියට මදි. ඒ සෝෂල් මීඩීයා වල අපේ ප්‍රඩක්ට්ස් ගැන, අපේ බිස්නස් එක ගැන අහන දේවල් වලට උත්තර දෙන්න ඕන. සෝෂල් මීඩියා වල එන්ගේජ් වෙන්න ඕන. ඒ වගේම, පේජ් අප් ටු ඩේට් තියාගන්න ඕන. උදාහරණයක් විදියට, අපේ කජු බිස්නස් එක ගැන, අපි විකුණන කජු ප්‍රඩක්ට් ගැන ඒවා මේවා හදලා දානවා වගේම, කජු වල ගුණ ගැන එහෙමත් පොඩි පොඩි එව්වා ලියලා දාන්න පුළුවන්.

 

ඒ වගේම, ඕෆ්ලයින් පබ්ලිසිටියත් පොඩ්ඩක් ගන්න බලන්න. උදාහරණයක් විදියට කිවුවොත්, ෆ්ලයර්ස් ටිකක් ප්‍රින්ට් කරලා ඔය ෆුඩ් සිටි වලට වගේ තැන් වලට, දන්න අඳුනන අයට එහෙම බෙදාහැරියට කමක් නෑ!

 

5. නීතිමය පැත්ත එහෙමත්?

ඔව්. ඕනම බිස්නස් එකක් පටන් ගන්න කලින්, ඒකේ තියෙන නීතිමය පැත්ත ගැන එහෙම හොඳ අවබෝධයක් තියෙන තරමට වැඩේ ආරක්ෂිතයි. එතනදී පටන් ගන්න ඕන බිස්නස් එක රෙජිස්ටර් කරනවද කියන තැන ඉඳලා. සාමාන්‍යයෙන් අපි ගෙදර ඉඳන් කරන ඔන්ලයින් බිස්නස් එකක් රෙජිස්ටර් කරන්නෙ නැහැනේ. හැබැයි අඩු තරමින් බිස්නස් එකේ නමවත් රෙජිස්ටර් කරලා තියන එක හොඳයි හැබැයි. මොකද, එතකොට වෙන කෙනෙක්ටත් ඒ නමෙන්ම බිස්නස් එකක් පටන් ගන්න තියෙන ඉඩ ඇහිරෙනවා. ඊට පස්සේ තමන් විකුණන්න හිතන ප්‍රඩක්ට්ස් වල නීතිමය තත්ත්වය එහෙමත් දැනගන්න ඕන. ඊටපස්සේ පාරිභෝගිකයින් සම්බන්ධයෙන් තියෙන නීති රීති එහෙමත් දැනගෙන ඉන්න එක වටිනවා.

 

6. ඉල්ලුම සහ සැපයුම

ඔන්ලයින් බිස්නස් එක දැන් ඔන්න පටන් ගත්තනේ. හැබැයි අපිට ඉල්ලුම සහ සැපයුම ගැන හිතන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි මුලින්ම කජු කොච්චර ප්‍රමාණයක් හදලා ස්ටොක් කරලා තියාගන්නවද? කොයි තරම් කාලයක් අපිට එහෙම කජු ස්ටොක් කරලා තියාගන්න පුළුවන්ද? එහෙම ස්ටොක් කරලා තියාගන්න අවශ්‍ය ගබඩා පහසුකම් අපිට තියෙනවද? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර සපයා ගන්න වෙනවා. අපි කියමු ඔය අත්කම් නිර්මාණ වගේ කරන ඔන්ලයින් බිස්නස් එකක් කියලා. ඒකේ නම් ගැටළුවක් නෑ. අවශ්‍ය තරම් කලින් නිර්මාණය කරලා තියාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ලොකු ඉල්ලුමක් ආවොත් එහෙම ඒකට මුහුණ දෙන්නත් සූදානම් වෙලා ඉන්න ඕන. විශේෂයෙන්ම කජු බිස්නස් එක ගත්තොත්, කජු හිඟ කාලෙක වුනත් කජු ගන්න තැන් එහෙම ලැහැස්ති කරගෙන ඉන්න එක වටිනවා. ඉල්ලුම වැඩියෙන් එනවා කියන්නේ බිස්නස් එක තව ලොකුවට කරන්න වෙනවා කියන එක තමයි.

 

7. අල්ලගෙන තියාගමු

බිස්නස් ගැන කිසිම විධිමත් අධ්‍යාපනයක් නැතුව ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තත්, අපි ඕනම කෙනෙක්ට තේරෙන එක කාරණාවක් තියෙනවා. ඒ තමයි බිස්නස් එක අල්ලගෙන යන්න නම්, අලුතෙන් කස්ටමර්ස්ලා හෝයාගන්න එක වගේම, රිපීට් කස්ටමර්ස්ලව අල්ලගෙන තියාගන්න එකත් වැදගත් කියන එක. අඩු ගානේ අපෙන් බඩු ගන්න කස්ටමර්ස්ලගෙන් 36% ක් වත් ආයෙ ආයෙත් අපෙන් බඩු ගන්න එනවා. ආන්න ඒ නිසා, බඩු ගන්න අය එක්ක ටච් එකේ ඉන්න, ඒ අයට ආයෙමත් මැසේජ් එකක් එහෙම දාලා අලුත් ප්‍රඩක්ට්ස් ගැන දැනුවත් කරන්න එහෙම පොඩි සිස්ටම් එකක් හදාගන්න එක ඉතාම හොඳයි. එතකොට, එක පාරක් බඩු ගත්ත කස්ටමර්ස්ලට ආයෙත් බඩු ගන්න එනවා නම් ඩිස්කවුන්ට් සිස්ටම් එකක් වගේ, ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් හදන්න එහෙමත් දෙපාරක් හිතන්න එපා. ඒ ඇරෙන්න, බඩු ගන්න කස්ටමර්ස්ලා ගත්ත බඩු ගැන සතුටු වුනොත්, ඒ අය ලව්වා අපේ බිස්නස් එකට තියෙන සෝෂල් මීඩියා වල හොඳ රිවීව් එකක් දාගන්න එහෙමත් පුළුවන් චුට්ටක් ටෝක් කරලා. අන්න එතකොට ඒ කස්ටමර්ගේ හොඳත් රිප්ලයි එකකින් කියන්න අමතක කරන්න එපා!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *