හැරී පොටර් කතා මාලාව කියන්නේ ලෝකයේ මෑත කාලයේ එක් පරම්පරාවක් සම්පූර්ණයෙන්ම විස්මයෙන් විස්මයට පුරවන්න සමත් වෙච්ච කතා මාලාවක්. ඒ නිසා එදා පොඩිහිටියෝ වෙලා හිටපු අද වැඩිහිටියෝ තවමත් හැරී පොටර් රසිකයෝ බවට පත් වෙලා ඉන්නවා. මේ නිසාම අපි කලින් පළ කරපු ලිපි ගණනාවකටම ඔබෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් අපි අද හිතුවා හැරී පොටර් කතා මාලාව තුළදී අපිට මුණගැහෙන සත්තු පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න.
1. කෘක්ෂෑන්ක්ස් (Crookshanks)
ඔබට මතක ඇති හර්මයිනිගේ හුරතල් පූසා ගැන. නමුත් ඔබ දන්නවද පූසෙකුගේ පෙනුම තිබ්බට ඒ සතා පූසෙක්ම නෙමෙයි කියලා? ඔහු අර්ධ නීසල් (Kneazle) වර්ගයට අයත් සතෙක්. පෙනුමෙන් පර්සියානු පූසෙකුගේ හැඩය ගත්තත් සාමාන්‍ය පූසෙකුට වඩා බුද්ධි මට්ටමෙන් ඉහළ සතෙක්. මේ සත්වයාට වංචාකාරී ස්වභාවයෙන් යුතු පුද්ගලයන් ස්වකීය ස්වරූපය වෙනස් කරගෙන තිබුණු අවස්ථාවකදී පවා හඳුනා ගැනීමට පුළුවන්.
2. ඩොබී (Dobby)
අපිට මුලින්ම ඩොබීව මුණගැහෙන්නේ හැරී පොටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්‍රට්ස් කතා මාලාවේදී. මුල් වතාවේදී අපිට ඔහු ගැන දැඩි කේන්තියක් ඇති වුණත් පසුව ඔහු පිළිබඳව අපිට ඇති වෙන්නෙ ආදරයක් සහ දුකක්. අතිශය කළගුණ සැලකීමේ ගුණයෙන් යුක්ත වූ ඩොබී අවසානයේදී හැරී ඇතුළු යහළුවන් වෙනුවෙන් සිය ජීවිතය පවා පරිත්‍යාග කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් කඳුළින් පුරවාලමින්.
3. ෆෝක්ස් (Fawkes)
මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ සුරතලා වන ෆෝක්ස් ෆීනික්ස් වර්ගයේ කුරුල්ලෙක් වනවා. ස්වකීය මරණයේදී ගිනි ජාලාවක් මැද මිය යන මොවුන් ඒ අළු වලින් නැවත නැගී සිටිනවා. හැරීගේ සහ වොල්ඩමෝට්ගේ මායා යෂ්ටි සඳහා ද භාවිතා වී තිබුණේ ෆීනික්ස් කුරුල්ලන්ගේ වලිගයේ පිහාටුයි. එසේම මෙම කුරුල්ලන්ගේ කඳුළුවල තුවාල සුව කිරීමේ බලය තිබෙනවා. එමෙන්ම ගිනිදැල් මැදින් ඕනෑම පිරිසක් ආරක්ෂාකාරීව වෙනත් තැනකට ගෙන යාමේ හැකියාවද මොවුන් සතු වනවා.
4. ෆිරෙන්ස් (Firenze)
සෙන්ටෝර් වර්ගයේ සත්වයෙකු වන ෆිරෙන්ස් අර්ධ අශ්ව හා අර්ධ මනුෂ්‍ය ස්වභාවයක් ගන්නවා. හැරී පොටර් පොත් පෙළ තුළ හොග්වර්ට්ස් මායා පාසලේ ගුරුවරයෙකු ලෙස ද ඔහු කටයුතු කරනු ලබනවා. මේ නිසා ඔහුගේ ඥාතීන් සහ හිත මිත්‍රයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නේ ඉන්ද්‍රජාලික ප්‍රජාව ඔවුන්ට දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සළකන බව ප්‍රකාශ කරමින්. අවසාන සටනේදී හැරී සමඟ සටනට එක්වන ෆිරෙන්ස් තුවාල ලැබුවත් ජීවත්වීමට වාසනාව ලබනවා.
5. ග්රිප්හුක් (Griphook)
ගොබ්ලින් නම් වාමන කුලයට අයත් වන මොහු මුලින්ම අපට හමුවන්නේ හැරී පොටර් පළමු කෘතිය තුළදීයි. හැරී හට ඔහුගේ සේප්පුවේ යතුර ලබාදීම ග්රිප්හුක් සිදුකරන අතර නැවතත් එම චරිතය අපිට මුණගැහෙන්නේ අවසාන කතාමාලාව තුළයි. එහිදී ග්රිෆින්ඩෝර්ගේ කඩුව සොරකම් කිරීමට ග්රිප්හුක් විසින් උත්සාහ කරන අතර එහිදී හැරී ඇතුළු පිරිසගේ ජීවිතය අනතුරේ හෙළීමට කටයුතු කරනු ලබනවා. පොත් පෙළ තුළ ග්රිප්හුක්ගේ අවසානය පිළිබඳව විස්තර කිරීමක් සිදුනොවන අතර චිත්‍රපටය තුළ ඔහු මිය ගිය බව පෙන්වනු ලබනවා.
6. හෙඩ්විග් (Hedwig)
හිම බකුසු කුලයට අයත් වන මෙම පක්ෂියා හැරී පොටර් හට සිය එකොළොස් වැනි උපන්දිනය වෙනුවෙන් හැග්රිඩ් විසින් සේවාවක් ලෙස පිරිනමනු ලබනවා. මෙම මුළු කතා මාලාව තුළ හැරීව හැර නොයන එකම හිත මිතුරා බවට හෙඩ්විග් පත්වනවා. අවසාන කතා මාලාවේදී ඩෙත් ඊටර්ස්වරු සමග ඇතිවන සටනකදී හෙඩ්විග් මිය යන්නේ හැරීව දැඩි ශෝකයකට සහ කෝපයකට පත් කරමින්.
7. නාගිනි (Nagini)
වොල්ඩමෝට් අසලින්ම සිටි නාගිනි සැළකෙන්නේ ඇතැම් අවස්ථාවල මිනිසෙකුගේ ස්වභාවය ගත හැකි නාගයෙකු ලෙසටයි. වොල්ඩමෝට් විසින් හෝර්ක්රස් එකක් බවට නාගිනිව පත්කරන අතර අවසානයේ දී නෙවිල් ලෝන්ග්බොටම් විසින් නාගිනිව මරා දමනු ලබනවා. කෙසේ නමුත් නාගිනිගෙ ඉතිහාසය පිළිබඳව වෙනත් කතා පුවතක් ෆැන්ටෑස්ටික් බීස්ට්ස් කතා මාලාව තුළත් අන්තර්ගත වෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply