අපි ජීවත්වෙන කාලය තුළ ලෝකය මුහුණදෙන දරුණුතම ඛේදවාචකය බොහෝවිට කොවිඩ් වෙන්නට පුළුවන්. තවමත් කොවිඩ් ඉවර නැහැ. මේ වෙනවිට කොවිඩ් මරණ මිලියන 5.5ක් දක්වා ළඟා වෙලා තියෙනවා. තවත් වැඩිවෙයි කියලා තමයි මත පළ වෙලා තියෙන්නේ. අපිට දීර්ඝ ලොක්ඩවුන් වල ඉඳලා දැන් ටිකෙන් ටික රැකියා අරඹන්න, වැඩ කරන්න යන්න වෙලා තියෙනවා. ඉතින් කොවිඩ් වලින් පස්සේ නැවත වැඩට යාම ගැන කරුණු ටිකක් අපි බලමු.
1. කොවිඩ් වලින් පරෙස්සම් වීම
කොවිඩ් චීනේ තියෙන කාලේ දුම්රියේ ගිය ඇතැමුන් ඒ කාලේදිත් පී පී ඇඳලා ඩබල් මාස්ක් දාලා ගියා. ඒත් කාලෙත් එක්ක වැක්සීන් මාත්‍රා දෙකම ගත්තට පස්සේ කට්ටියට කොවිඩ් අමතක වෙලාද කියලත් හිතෙනවා. සැනිටයිසර් පාවිච්චිය එහෙම දැන් පොදු ප්‍රවාහන වල දකින්නට තියෙනවා අඩුයි. ඒ වගේම කර්යාල වල ඉදිරිපස සවිකළ ටැප් වල දැන් අත හෝදනවා දකින්න ලැබෙනවත් අඩුයි. තවම අපි එන්නත් අරගෙන තිබුණාට අවදානම අඩුම වෙලා නැහැ. ඒ නිසා හැකි පමණ අපේ ආරක්ෂාව සහතික කරගන්න එක වටිනවා.
2. පහසු ස්ථාන මාරු ගැන සැළකිලිමත් වීම
සමහර කාර්යාල සහ වැඩ රාජකාරි තියෙන්නේ එකම තැනක. ඒ වගේ අයට නම් රැකියා මාරු ගැන හිතන්න බැහැ. ඒත් රැකියා ස්ථාන වලින් මාරු වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒ වගේ අය රැකියාවට ගෙදර ඉඳලා යන්න පහසු තැනක් තොරාගත්තොත් එතනදී කොවිඩ් වලින් පස්සේ තියෙන බඩුමිල, වියහියදම් වැඩිවීම් එක්ක පර්ස් එකටත් වාසියි. ඒ වගේම ගැටීම් අඩු නිසා කොවිඩ් අවදානමත් අඩුයි. කාලයක් පොදු ප්‍රවාහනය නැවතීමත් එක්ක ඒ පොදු ප්‍රවාහන සේවාවල වැඩකළ රියදුරු කොන්දොස්තරවරු වෙනත් රැකියා හොයාගෙන කියලත් ආරංචියක් ආවා. ඒ වගේ තියෙන රස්සාව අනතුරේ නිසා අලුත් රැකියාවක් හොයද්දි වුණත් තංගල්ලේ මනුස්සයා තිරිකුණාමලේ රස්සා හෙව්වොත් එතනදී යාම් ඊම් ඉතින් කොහොමත් අමාරුයි. අලුත් රැකියාවක් හොයද්දි වුණත් ළඟ පාත තැනක් බැලුවොත් හැමෝටම ලේසියි.
3. නිවසේ සිට වැඩිකිරීමේ අවස්ථා වැඩිකරගැනීමට උත්සාහ කිරීම
අපිට බැහැනේ ඔය කොම්පියුටර් වැඩ කියලා පැත්තකට වෙලා ඉන්න දැන් අමාරුයි. අපි බැරි දේවල් ඉගෙනගන්නට ඕනි. ඒ වගේම අපි කර්මාන්තශාලා වල කරපු වැඩ රාජකාරි පවා සුළුවෙන් හරි ගෙදර ඉඳන් කරන්න පුළුවන් විදිහට වෙනස් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනි. ඒ විදිහට පුරුදු වෙන එකෙන් ගෙදර තියෙන සැනසීම ටිකක් අඩුවෙන්න ඉඩ තියනවා තමයි. ඒත් නිතර නිතර එළියට යනවාට වඩා ගෙදර ඉඳන් වැඩ කරන එකෙන් අවදානම සෑහෙන අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා.
4. වෛද්‍ය පරීක්ෂණ වලට නිසි කල පෙනී සිටීම සහ සෞඛ්‍ය සම්පන්නව කටයුතු කිරීම
කොවිඩ් හොයාගන්න නම් ඒ සඳහා පරීක්ෂණ කරන්නම වෙනවා. ඒ වගේම අපි දන්නවා නිධන්ගත රෝග තියෙන අයට කොවිඩ් අමාරු වෙන්න තියෙන අවදානමත් වැඩියි කියලා. එ් නිසා කොවිඩ් ගැන සැකයක් ඇති වුණොත් ඒ සඳහා පී සී ආර්, ඇන්ටිජන් පරීක්ෂා කරගැනීම වගේම වෙනත් රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි තත්ත්ව ගැනත් ටිකක් වැඩියෙන් බයවෙලා වසරකට වතාවක්වත් ඒ අදාළ පරීක්ෂණ ටික කරගෙන තියාගෙන ඉන්න එක කොවිඩ් කාලේ බොහොම වටිනවා.
5. කොවිඩ් ආසාදනය වුවහොත් කළ යුතු සහ නොකළ යුතු දේ ගැන සොයාබැලීම
කොවිඩ් ගැන නිතරම නිවුස් බලන එක මනසට හොඳ නැහැ. ඒත් වැරදිලාවත් හැදුනොත් ආයේ ඒ ගැන වාද කරලා වැඩක් නැහැ. ඉන් පස්සේ බලන්න ඕනි අපේ ඉන්ෂුවරන්ස් එකෙන් හරි වැඩකරන තැන තියෙන ඉන්ෂුවරන්ස් එකෙන් හරි කොවිඩ් කවර් වෙනවාද කියලා. ඒ වගේම රාජකාරි කරන තැන කොවිඩ් වැළඳුනාට පස්සේ විශේෂ වැඩපිළිවෙළක් තියෙනවාද කියලා මානව සම්පත් අංශය හරහා දැනගන්න පුළුවන්. එහෙම විශේෂයෙන් සමාගම මගින් දියත් කරන වැඩපිළිවෙළවල් තියෙනවා නම් කොවිඩ් ගැන සැකයක් ඇති වූ වහාම ඒ අදාළ අංශ දැනුවත් කරන්නට ඕනි.
6. කාර්යාලය තුළදී හැසිරීම් සහ වැඩපිළිවෙළ කොවිඩ් අනුව වෙනස් කරගැනීම
කොවිඩ් නිසා අලුතින් එකතු වුණේ ගෙදර සිට වැඩකිරීම පමණක් නෙමෙයි. පාරිභෝගිකයින්ට නිවසේ සිටම බඩු බාහිරාදිය ඇණවුම් කරන්න පුළුවන් වුණා. ගනුදෙනු අන්තර්ජාලයෙන් කරන අවස්ථා වැඩි වුණා. ඩොකියුමන්ට් අඩු වෙලා ජාලගතව වැඩකරන අවස්ථා දියුණු වුණා. ඉතින් ඒ එක්ක අපේ කාර්යාල වැඩපිළිවෙළ ආදියත් නවීන තාක්ෂණය එක්ක මුහු වුණොත් අපිට වඩාත් ලේසියි. කොවිඩ් වලින් ආරක්ෂා වනවා වගේම අපිට තියෙන වැඩ ලෝඩ් එකත් ඒ නිසා අඩු වෙන්නට පුළුවන්.
7. වැඩකරන තැන සමාජ වටපිටාවට කොවිඩ් වලට අනුව අනුගත වීම
කොවිඩ් වලට කලින් අපි හැමදේටම ඔෆිස් වල පාටි ගත්තා. උපන්දින පාටිද, රිටයර් වීමේ පාටිද, ගෙට් ටුගෙදර්ද ආදී වශයෙන් එකතු වීම් රැසක් සිදු වුණා. කැන්ටිමට කන්න ගියත් කෑමට අමතරව කට්ටිය එක්ක කයියක් දාලා එන්න අපි අමතක කරනනේ නැහැ. අපිට කොවිඩ් කියලා තියෙන හැම සමාජ සම්බන්ධතාවයක්ම අත්හැර දමන්න බැහැ. ඒත් අපේ පරෙස්සමටත් අනෙක් අයගේ පරිස්සටමත් ආයතනය මගින් කියලා තියෙන විදිහට ගැටීම් අඩු වෙන විදිහට හැසිරීම වැදගත් වෙනවා. යාළුවෝ සහ කස්ටමර්ලා අතර ගනුදෙනු සහ කතාබහ සුහදකම් වුණත් ටිකක් අඩු කරලා ඒවා ඔන්ලයින් හාදකම් විදිහට හරවගන්න පුළුවන් නම් ඊළඟ රැල්ලක් ආවොත් අපිට ගැලවෙන්න අවකාශ වැඩි වෙනවා.
කොවිඩ් කලින් ආපු නැති ජාතියේ ව්‍යසනයක් නිසා අපි ගන්න පියවර හරිමය කියලා කියන්න බැහැ. සමහර විට සෞඛ්‍යමය අතින් පියවර සාර්ථක වුනත් ආර්ථිකමය අතින් අපි මුහුණපාල තියෙන තත්ත්වය සුබ නැහැ. ඒ නිසා අපිට කොවිඩ් කාලේ කියලා දැන් වැඩට පිටුපා ඉන්නට බැහැ. ඇතැම් විට අපිට කලින්ට වඩා වැඩියෙන් වැඩ කරන්නත් සිද්ද වේවි.
Leave a Reply