මෑත කාලයේ ආ, ඔබ කියවිය යුතුම යොවුන් නවකතා හතක්

අපි කලින් දවසක ලස්සනම ලස්සන යොවුන් නවකතා හතක් ගැන කතාකළා ඔයාට මතක ඇති. ඒක කියෙව්වේ නැත්නම් මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්. 

 

අද අපි කතාකරමු මෑත කාලයේ ආපු අපූරුම යොවුන් නවකතා හතක් ගැන… 

 

1. අලි ඩෝලේ

මහින්ද කුමාර දළුපොත ලේඛකයා විසින් ලියන ලද “අලි ඩෝලේ” කියන්නෙ ටිකක් විතර වෙනස් මාදිලියේ යොවුන් නවකතා පොතක් කිව්වොත් හරි. මොකද මේ පොතට පාදක වෙන්නේ වර්තමානයේ ප්‍රබල අර්බුදයක් වන අලි මිනිස් ගැටුම නිසා. අපි යොවුන් නවකතාවක් කියලා හිතන් ඉන්න ආකෘතියෙන් බැහැරව ලියවුණු කෘතියක් විදියටත් මේ පොත හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ජනශ්‍රැතිය තුළ අලි මෙල්ල කිරිමේ කෙම් ක්‍රම, මන්ත්‍ර ක්‍රම ගැනත් පොතේ අඩංගු නිසා පර්යේෂණාත්මක නවකතාවක් විදියටත් මෙය හඳුන්වන්න පුළුවන්…

 

2. අපොයියාව 

අපොයියාව ගැන අපි මීට කලිනුත් කතා කළා ඔයාට මතක ඇති. ඇත්තටම ඇවිත් වසරක් පමණ වුණත් මේ පොත පාඨකයන් රැසක් ආදරයෙන් වැළඳ ගත්තා. ඒකට හේතුව වෙන්න ඇත්තේ කෙටි පිටු ගණනාවක් තුළ විශාල පණිවිඩයක් දුන්නු නිසා වෙන්න ඇති. ස්වතන්ත්‍ර නවකතා කලාවෙත්, කවියෙත් ප්‍රසිද්ධ ලේඛකයෙක් වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා තමයි මේ කෘතිය රචනා කළේ. ඉතින් ලොකු පොඩි කාටත් එක සේ රසවිඳින්න පුළුවන් තරම් විශිෂ්ට කෘතියක්…

 

 

3. බහිරවගලේ නිධානය

මේ කෘතියත් ටිකක් වෙනස් මාදිලියේ යොවුන් නවකතාවක් කිව්වොත් හරි. 2017 වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයටත්, ගොඩගේ සාහිත්‍ය සම්මානයටත් මේ කෘතිය නිර්දේශ වෙලා තියෙනවා. මේ පොත රචනා කරන්නේ චතුරි දමයන්ති කියන කතුවරිය. මේ පොතට පාදක වෙන්නේ බහිරවගල නිධානයට අරක් ගත් දේවතාවියක් ගැන. ඒ නිසාම ඕන කෙනෙක්ට එක හුස්මට කුතුහලයෙන් කියවන්න පුළුවන් රසවත් කතාවක්.

 

4. එක ළඟට දෙක නෙවෙයි

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර කියන කතුවරයා තමයි මේ කෘතිය රචනා කරන්නේ. ගමක ජීවත් වෙන ශානි නම් දරුවා වටා දිග හැරෙන මේ කතාවෙන් ඇය ජීවිතේ විඳින දුක් කම්කටොළු සහ අභියෝග වලට මුහුණ දෙන ආකාරය පෙන්වා දෙන්නටත්, ඒ හරහා සමාජයේ තියෙන එක අඳුරු පැතිකඩක් ස්පර්ශ කරන්නටත් මේ කෘතිය සමත් වනවා. 

 

 

5. මඝ ගිය මඟ

“මඝ ගිය මඟ” කියන්නෙත් යොවුන් පාඨකයන්ට වගේම වැඩිහිටි පාඨකයන්ටත් එක සේ රසවිඳින්න පුළුවන් විදියේ කෘතියක්. මේ කෘතිය රචනා කරන්නේ අපේ රටේ ප්‍රවීණ කතුවරයෙක් වන දෙනගම සිරිවර්ධන මහත්මයා. ඒ වගේම මේ වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයටත් මෙය නිර්දේශ වී තිබෙනවා. 

 

 

6. දෙවැනියා

දෙවැනියා කියන්නේ ඕනම කෙනෙක්ට කියවා රසවිඳින්න පුළුවන් හරිම ආදර්ශමත් යොවුන් නවකතාවක් කිව්වොත් හරි. දෙවැනියෙකු ලෙස ජීවිතය පටන් ගත්තත් කවදම හරි පළවෙනියා වෙන්න පුළුවන් කියන ආදර්ශය හරිම අපූරුවට පෙන්වා දීලා තියෙනවා මේ කෘතියෙන්. මේ පොත රචනා කළේ බුවනෙක වන්නිආරච්චි කියන කතුවරයායි. සුමට, සරළ භාෂා රටාවකින් ලියා තිබෙන නිසා මේ පොත එක හුස්මට කියවන්න පුළුවන්…

 

 

7. අකලට ආ ඉස්කෝලේ

ගුණදාස ගුණසෝමයන් රචනා කළ “අකලට ආ ඉස්කෝලෙ” කියන්නෙත් හරිම අපූරු රසවත් යොවුන් නවකතාවක්. හැත්තෑව, අසූව දශකවල දිවයන මේ කතාවෙන් පිය සෙනෙහස අහිමි පවුලක ජීවිතය ජයගන්න වෙරදරන කුඩා ළමයෙක්ගේ කතාවක් තමයි දිගහැරෙන්නේ. හිතට කිසිම මහන්සියක් නොගෙන කියවන්න පුළුවන් හරිම අපූරු කෘතියක්..

 

පුංචි කාලේ මඩොල් දූව, අඹ යහළුවෝ වගේ යොවුන් නවකතා කියෙවුවට මෑතකදි ආපු මේ අපූරු යොවුන් නවකතා හත ඔයාට මඟහැරෙන්න ඇති සමහරවිට. එහෙනම් ඒ මඟ ඇරුණු යොවුන් නවකතාත් කියවන්න කියලා මතක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *