ඕනම දෙයක් අනිත්‍යයි කියලා අපි හැමෝම දන්නවනේ. එතකොට ඉතින් අවුරුදු ගණන් ලව් කරලා, රටටම කිරිබත් බෙදලා අවුරුදු ගාණක් පවුල් කාලා වුණත් කසාදේ හබක් වෙන්න පුළුවන්. ඇත්තටම කසාදේ හබක් වෙන්නෙ නැතුව ඒක මරණයෙන්ම කෙළවර වෙනවා නම් ඉතින් හොඳයි. ඒත් ඉතින් අපිට එහෙමම වෙනවා කියන්න බෑ. ඕන තරම් මගදී හැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්.
දැන් කසාදේ ඉවර වේගෙන එන්නේ කියලා දැනගත්තහම මොකද්ද තියෙන හොඳේ? පළවෙනිම දේ තමයි අපිට කසාදේ බේරගන්න පුළුවන් නම්, කල් තියාම දැනගත්තහම ඒකට මොනවා හරි කරන්න පුළුවන්. ලෙඩක් වුණත් කල් තියා දැනගන්න තරමට ලෙඩා බේරගන්න පුළුවනිනේ. දෙවෙනි එක, කසාදේ බේරන්න බැරි ලෙවල් එකේ නං තියෙන්නේ, තව දුරටත් දෙන්නට දෙන්නා එකට වාසය කරන්න බැරි ලයින් එකක් නම් යන්නේ, කසාදේ බේරන්න බැහැයි කියලා කලින් දැනගත්තොත් දෙන්නා මරාගන්න, බැණ අඬගහගන්න, එකිනෙකාගේ බොටුව මිරිකගන්න යන්න කලින්, අඩු තරමින් සුහද සිතින් හරි වෙන් වෙන්න පුළුවන්.
අන්න ඒ නිසා, අපි හිතුවා විවාහයක් අවසාන වේගෙන යන්නේ කියලා හිතාගන්න පුළුවන් සංඥා කීපයක් ගැන කතා කරන්න.
1. කතා කරන්න දෙයක් නෑ!
මතකද ලව් කරන කාලේ? ආයෙ ඉතින් හවසට මල් කැඩිල්ල පටන් ගත්තට පස්සේ රෑ එලිවෙනකලුත් මල් කැඩිල්ල යනවා. ආයෙ උදේට පටන් ගන්නවා. හැබැයි ඉතින් ඔය ලව් කරන කාලේ තිබ්බ කොච්චරවාත් කතා කිරිල්ල ටික කාලෙකින් අඩු වෙනවා. සෙට්ල් වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම අඩු වෙන්නෙ නෑ. තාමත් ඔෆිස් එකේ ඉන්නකොට කෝල් එකක් දීලා බලනවා. ගෙදර ආවහම ටික වෙලාවකට හරි කතා කරන්න සෙට් වෙනවා. වැදගත්ම දේ වෙන්නේ, දෙන්නට කතා කරන්න දේවල් තියෙනවා.
හැබැයි ලව් එක ඈලියාවට යනකොට වෙන ප්‍රධානතම දෙයක් වෙන්නේ, දෙන්නට කතා කරන්න දේවල් නැති වෙන එක. තවදුරටත් දෙන්නම එන්ජෝයි කරන පොදු මාතෘකා නෑ. ආන්න ඒ කියන්නේ කසාදෙට රතු එළි පත්තු වෙනවා කියන එක තමයි.
2. හොස්ස ලඟින් මැස්ස යන්න බෑ!
මේ කියන්නේ සාමාන්‍යයෙන් කොහොමත් හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ඩයල් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් එහෙමට තද වෙන්නෙ නැති මනුස්සයෙක්ට, ටික කාලෙක ඉඳන් ගෙදර උන්දෑ මොනවා කළත් තද වෙනවා නම්, කොයි වෙලෙත් රවා ගත්තු ගමන්, බුකවා ගත්තු ගමන් නම් ඉන්නේ, ගෙදර උන්දෑ මොන දේ කළත් ගේම ඉල්ලන ලයින් එකේ නම් ඉන්නේ, ඒ කියන්නේ විවාහ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි. ඉතින් අපි නම් ගෙදර උන්දෑ, අපිට තේරුම් ගන්න වෙනවා මෙතන නිකම්ම වර්ක් ස්ට්‍රෙස් එකට හරි වෙන මොකක් හරි ස්ට්‍රෙස් එකකට හරි තදවෙනවට වඩා වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා.
3. ඇඳේ ලයිෆ් එක නෑ!
සාමාන්‍යයෙන් ඔය කසාද බැඳලා අවුරුදු දහයක් පහළවක් ගෙවුණු කපල් එකකගෙන් සෙක්ස් ලයිෆ් එක ගැන ඇහුවොත් කියයි, නෝනගෙ අහවල් එක නැතිනම් මහත්තයාගේ අහවල් එක දැක්ක කාලයක් මතක නෑ කියලා. හරි, බැන්ද දවස් වල වගේ උදේට එකයි, හවසට එකයි, නින්දට පෙර එකයි විදියට සෙක්ස් කෙරෙන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් සතියකට දෙහෙකට එක පාරක් හරි සෙක්ස් කෙරෙන්න ඕන. එහෙම නැතිනම් ඉතින් විවාහ ජීවිතේකින් ඇති වැඩක් නෑනේ. එතනදී ඇත්තටම සෙක්ස් නැතත් අර ඉන්ටිමසි කියන සමීපත්වය හරි තියෙන්න ඕන. හැබැයි එහෙම නැතුව, හස්බන්ඩ් සහ වයිෆ්ට වෙන වෙනම ඇඳන් දෙකක නිදාගන්න හිතෙන මට්ටමට වැඩේ සීතල වෙලා නම්, දෙන්නට දෙන්නා අතර කිසිම උණුහුමක් නැති නම්, ඒ කියන්නේ මැරේජ් එක ඈලියාවට යමින් තියෙනවා කියන එක තමයි.
4. විවේචනමයි!
“මේ ගෑණිට කොච්චර කළත් හොඳක් නැති හැටි” කියලා සමහර මිනිස්සු කියනවා අහල තියෙනවද? එතකොට මිනිස්සුත් ආයෙ ගෑණි කොහොම ඉවුවත් හොද්ද රස නෑ කියලමයි කියන්නේ සමහර වෙලාවට. ආන්න එහෙම කොයි විදියට මොන දේ කළත්, දෙන්නාට දෙන්නා විවේචන කරගන්නවා විතරක් නම්, අන්න ඒ කියන්නේ කසාද ජීවිතේ වැඩි කාලයක් අල්ලගෙන යන්න බැහැ කියන එක තමයි. විශේෂයෙන්ම මේ කියන්නේ සීරියස් විදියට දෙන්නට දෙන්නා විවේචන කරගන්න එක ගැන. අර හුරතල් වලි ගැන නෙවෙයි. අන්න එහෙම ගෙදර උන්දෑ ගැන වරදක් මිසක් හොඳක් කියන්නම නැති තැනකට ඇවිල්ලා නම්, ආන්න ප්‍රශ්නයක්!
5. එකම වලිය නැවත නැවත!
වලි නැති, වාදවිවාද නැති කසාද ජීවිත තියෙනවද? තියෙනවා නං ඒ මේ ලෝකෙ වෙන්න බෑ. හරි නං දිව්‍ය ලෝකෙ කසාදෙක වුණත් වලි වාද විවාද නැතුව තියෙන්නෙත් නෑ. හැබැයි ඉතින් දෙන්නා දෙමහල්ලන්ගේ කසිලි බිසිලි බත් මුට්ටිය ඉදෙනකල් විතරයි කියනවනේ. එහෙම නැතුව එකම කාරණාව ගැන දෙන්නා නැවත නැවත වාද කරනවා නං, එකම කාරණයක් අල්ලගෙන දෙන්නට දෙන්නා දිගින් දිගටම වලි දාගන්නවා නං, දෙන්නාට ඒ වලි වලින් සම්පූර්ණයෙන්ම සමාදානයක් හොයාගන්නත් බැරි නං, ඒ කියන්නේ කසාදේ ප්‍රශ්න කියන එක තමයි.
6. එල්ලෙන්න යන්නෙම නෑ
දැන් අපි කලින් කිව්වනේ එකම කාරණාව අල්ලගෙන දිගින් දිගටම මරා ගන්නවා නම අන්න ඒක ප්‍රශ්නයක් කියලා. ඒකෙම අනික් පැත්තත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මාසෙකට දෙහෙකට මොකක් හරි දේකට වාදයක් විවාදයක් යන කපල් එකක්, දැන් වෙනකොට කිසිම විදියකට ආගියුමන්ට් එකක් යන්නෙ නැතිනම්, දෙන්නට දෙන්නා ඔහේ පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ජීවත් වෙනවා නම්, ආන්න ඒ කියන්නෙත් විවාහයට සොහොන් ලකුණු පේනවා වෙන්න පුළුවන් කියන්න අනිවාර්ය සාධකයක්. මොකද, ඇත්තටම අපි විවාහයක් ඇතුළේ අතිශයින් කලාතුරකින් හරි ආගියුමන්ට් එකක් යන්නේ, ඒ විවාහ ජීවිතේ ඇතුළේ හීට් එකක් තියෙන නිසා. එතකොට ඒ ආගියුමන්ට් සම්පූර්ණයෙන්ම නැවතිලා දෙන්නට දෙන්නා බෝඩින් කාරයෝ වගේ ජීවත් වෙනවා කියන්නේ අර විවාහයේ තිබුණු පොදු බැඳීම නැතිවේගෙන යනවා කියන එක තමයි.
7. රහස් තිබේ
සාමාන්‍යයෙන් දෙන්නෙක් කසාද බැන්දා කියලා එක්කෙනෙක් වෙන්නෙ නෑ. දෙන්නට දෙන්නාට තමන්ගෙම රහස් තියෙන්න පුළුවන් කසාද බැන්දත්. හැබැයි එහෙම ගොඩක් වෙලාවට තියෙන්නේ අතිශයින්ම තමන් ගාවම තියාගන්න ඕන කියලා හිතන රහස් විතරයි. ඒ ඇරෙන්න එදිනෙදා ජීවිතේදී ගියේ කොහෙද, කරන්නේ මොනවද වගේ දේවල් ගැන රහස් තියෙන්නෙ නෑ. හැබැයි ඔන්න ප්‍රයිවට් සෙක්‍රටරි එක්ක ලන්ච් එකට ගියා කියලා වයිෆ්ට හංගනවා නං, පරණ කොල්ලා අහම්බෙන් හම්බුවෙලා කෝපි එකක් බොන්න ගියා කියලා හස්බන්ඩ්ට හංගනවා නං, ආන්න ඒ කියන්නේ කසාද ජීවිතේ පොඩ්ඩක් එහෙ මෙහෙ වේගෙන එනවා කියන එක තමයි.
8. වෙන අය ඊට වඩා ආතල්
අර නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියනවනේ. ඒ වගේ, ගෙදර ඉන්න තමන්ගේ කසාද මිනිහා හෝ කසාද ගෑණි ගේ කිසිම හොඳක් දකින්නෙ නැති එක එකක්. ඒ එක්කම හැබැයි තමන්ගේ කසාද මිනිහා හෝ කසාද ගෑණිට වඩා රටේ ලෝකේ ඉන්න අනික් ගෑණු මිනිස්සුන්ගේ හොඳ පේනවා නං, ලස්සන පේනවා නං, කොටින්ම කිවුවොත් රටේ ලෝකේ ඉන්න වෙන කවුරුහරි එක්ක හාදකමක් පටන් ගන්න තිබ්බා නං හොඳයි කියලා පේනවා නං, ආන්න කසාදෙට කණ කොකා හඬන්න යනවා කියන්න ෂුවර් ඉඟියක්. මේ කියන්නේ අර කාත් එක්ක හරි කොටුවක් පැනලා එන එක නෙවෙයි. එහෙම කොටුවක් පැනලා ඇවිත් වෙනදටත් වඩා ආදරෙන් වයිෆ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි ඉන්න මිනිස්සු ඉන්නවනේ. එහෙම එකක් නෙවෙයි. තමන්ගේ ගෙදර උන්දෑ අමතක කරලා වෙන කෙනෙක් එක්ක ලව් එකක් පටන් ගන්න හිතනවා කියන්නේ කසාදේ කේස් වෙලා කියන එක තමයි.
දැන් මෙහෙම විවාහයේ කළු වලාකුළු පේනවා නං මොකද කරන්න ඕනෑ? එක්කෝ දෙන්නා එකට වාඩි වෙලා සීරියස් චැට් එකක් දාලා විවාහය ආයෙමත් ගොඩදාගන්නේ කොහොමද කියලා කතා බහ කරගන්න ඕනේ. එහෙම කරලා දෙන්නම කැපවීමෙන් තමන්ගේ විවාහයේ අතීතයේ තිබුණු ලස්සන ආයෙමත් හොයාගන්න ඕනේ. තමන්ට තනියෙන් බැරි නම් මැරේජ් කවුන්සිලර් කෙනෙක්ව හරි මුණගැහෙන්න ඕනේ.
එහෙම කොයි ක්රමෙන්වත් ගොඩදාගන්න බැරි නම්, දෙන්නට දෙන්නා සුහදව වෙන් වෙලා යන්න ඕනේ!
Leave a Reply