රුසියාව තුළ සැඟවුණු රටවල් (දෙවෙනි කොටස)

ඔන්න එහෙමනම් මාස කීපයකට කලින් අපි ඔබට පොරොන්දු වුණ විදිහටම  රුසියාව තුළ සැඟවුණු සමූහාණ්ඩු  පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන ලිපි පෙළේ දෙවැන්න අද අපි ඔබට ගෙන එනවා. එහෙමනම් වැඩි කතාබහක් නැතුව රුසියාවේ සමූහාණ්ඩු ගැන තවදුරටත් ගවේෂණය කරමු.

රුසියාව තුළ සැඟවුණු රටවල්

 

 

1. ඩගෙස්තාන් (Dagestan)

කැස්පියන් මුහුද ආශ්‍රිතව පවතින මෙම සමූහාණ්ඩුව රුසියාවේ දේශ සීමාවේ පවතින සමූහාණ්ඩුවක්. මේ නිසා ජෝජියා හා අසර්බයිජාන් යන රටවල් මෙම සමූහාණ්ඩුවේ අසල්වැසියන් වනවා. බිලියන 3.1ක පමණ ජනගහණයක් වෙසෙන මේ රට තුළ ජනවාර්ගික විවිධත්වය ඉතාමත් ඉහළයි. කඳුකර භූමි යන අර්ථය ලබා දෙන ඩගෙස්තාන් යන වචනයේ සම්භවය පර්සියානු සහ තුර්කි භාෂාවලට නෑකම් කියනවා. කලක් පර්සියානු අධිරාජ්‍යයේ කොටසක්ව පැවති මෙම ප්‍රදේශයේ පාලකයන් පසුව ස්වෙච්ඡාවෙන්ම රුසියානු අධිරාජ්‍යය සමඟ එක් වුණා. තෙල් නිධි සහ ස්වභාවික ගෑස් මෙම සමූහාණ්ඩුවේ ආර්ථිකයේ ප්‍රධාන ශක්තිය වනවා.

 

 

2. ඉන්ගුෂිටියා (Ingushetia)

රුසියානු සමූහාණ්ඩු අතරෙන් කුඩාතම සමූහාණ්ඩුව වන මෙය නිර්මාණය කෙරුණේ 1992 වර්ෂයේදීයි. ඒ චෙචන් – ඉන්ගුෂ් සමූහාණ්ඩුව බෙදීමට ලක් කිරීමෙන්. ප්‍රදේශවාසී ඉන්ගුෂ් ජනතාවට දේශපාලන වශයෙන් බලය ලබා දීම එහි බලාපොරොත්තුව වුණා. කෙසේ නමුත් සමස්ත රුසියාවෙන්ම දිළිඳු සහ අස්ථාවර ප්‍රදේශයක් ලෙස මෙම සමූහාණ්ඩුව හැඳින්වීමට පුළුවන්. පසුගිය වසරවල සිට නම් මෙහි අස්ථාවර බව කෙමෙන් කෙමෙන් මැකී යමින් පවතිනවා.

 

3. කබර්ඩිනෝ බල්කාරියා (Kabardino – Balkaria)

මෙම සමූහාණ්ඩුව තුළ ප්‍රධාන වශයෙන් ජනවර්ග දෙකක් ජීවත් වනවා. ඒ  කොකේසියානු සම්භවයක් සහිත  කබර්ඩින්ස්වරු සහ තුර්කි ජාතික සම්භවයක් සහිත බල්කාස්වරුයි. ස්වභාවික සම්පත්වලින් අනූන මෙම සමූහාණ්ඩුව තුළ යුරෝපයේ උසම කන්ද ලෙස සැළකෙන එල්බුරුස් කන්ද පිහිටා තිබෙනවා. හිමෙන් වැසුණු මෙම කන්ද ආශ්‍රිතව පවතින ග්ලැසියර් මගින් ගංගා රැසක් පෝෂණය වනවා.

 

 

4. කල්මීකියා (Kalmykia)

ඔබට මේ සමූහාණ්ඩුවේ නම නම් මදක් හුරු ඇති. ටික කාලෙකට කලින් අපි මෙම සමූහාණ්ඩුව ගැන ලිපියකුත් ඔබ වෙත ගෙන ආවා. රුසියාව තුළ පමණක් නොව යුරෝපයේත් බුද්ධාගම ප්‍රධාන ආගම වන එකම ප්‍රදේශය වන්නේ මෙයයි. ප්‍රදේශයේ ජීවත්වන කල්මීකියානුවන් මොංගෝලියානු සම්භවයක් සහිත පිරිසක් වන අතර කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වනවා. එසේම චෙස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කල්මීකියානුවන් ප්‍රබල තත්ත්වයක පසුවනවා.

 

යුරෝපයේ එකම බෞද්ධ රට වන කල්මීකියා​ව ගැන දැනගමු

 

 

5. කරචෙයි වර්චේකේසියා (Karachay -Cherkessia)

මෙම සමූහාණ්ඩුව තුළත් කරචෙයි සහ වර්චේකේසියන් යන ජනවර්ග දෙකක් ජීවත් වනවා. මෙහි වැඩි කොටසක් කොකේසියානු කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබෙන අතර කුඩා කොටසක් පමණක් සුප්‍රකට ඩොන් තණ බිම් හරහා විහිදී යනවා. ලක්ෂ පහක පමණ ජනගහණයක් වාසය කරන මෙම සමූහාණ්ඩුව තුළ විවිධ ජනවාර්ගික ගැටුම් පවතිනවා. මේ නිසා මෙම සමූහාණ්ඩුව බෙදා වෙන් කළ යුතු බවට වන යෝජනාවක්ද ඉදිරිපත්ව තිබෙනවා.

 

 

6. ක’රේලියා (Karelia)

උතුරුදිග යුරෝපයේ පිහිටා තිබෙන මෙම සමූහාණ්ඩුව බෝල්ටික් සහ සුදු මුහුද අතර විහිදී පවතිනවා. පින්ලන්ත දේශ සීමාවේ පිහිටා ඇති මෙම සමූහාණ්ඩුව භූගෝලීය වශයෙන් ස්කැන්ඩිනේවියානු රටවලට සමානකමක් දක්වනවා. නිදසුනක් ලෙස ගංගාවන් විසි හත්දහසක් පමණ මෙම සමූහාණ්ඩුව තුළ පවතින අතර විල් හැටදහසක් පමණ පවතිනවා. යුරෝපයේ විශාලතම විල වන ඕනේගා විලට හිමිකම් කියන්නේද මෙම සමූහාණ්ඩුවයි. මෙහි සම්පූර්ණ භූමියෙන් සියයට අසූපහක් පමණ වන වැස්මෙන් වැසී ඇති අතර යකඩ, දියමන්ති වැනි ලෝහ නිධි රැසක් මෙහි විහිදී තිබෙනවා.

 

 

7. ඛකාසියා (Khakassia)

මෙම සමූහාණ්ඩුවේ ජීවත් වන ජනවර්ගය මොංගෝලියානු ආක්‍රමණවලදී ආරක්ෂාව පතා සයිබීරියානු ප්‍රදේශවලට සංක්‍රමණය වූ කිර්ගිස්ථානුවන්ගෙන් පැවත එන බව විශ්වාස කෙරෙනවා. මහා පීටර් අධිරාජ්‍යයාගේ සමයේදී චීනය සමඟ ඇතිකරගත් එකඟතාවයක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශය රුසියානු අධිරාජ්‍යයට එක් වුණා. කෙසේ නමුත් රුසියානුවන් සංක්‍රමණය වීම සහ අපරාධකරුවන් මෙම ප්‍රදේශයට පිටුවහල් කිරීම නිසා වර්තමානයේ දී ඛකාසියා ජනගහණය අඩු අගයක් ගන්නවා. දැව කර්මාන්තය සහ ස්වභාවික සම්පත් නිධි මෙම සමූහාණ්ඩුවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සාධක වනවා.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *