බ්‍රිතාන්‍ය රජ පවුල කිව්වම ලෝකය පුරා ජනමාධ්‍ය වල වැඩිම ආකර්ෂණයක් ලබා ගන්නා පවුල විදිහට හඳුන්වන්න පුළුවන්. සියවස් කීපයක් තිස්සේ ඔවුන් තබා තිබෙන ඒ වාර්තාවට අභියෝග කිරීමට ධනයෙන් සහ බලයෙන් අනූන කිසිම පවුලකට හැකියාවක් ලැබිලා නැහැ. මේ නිසාම බ්‍රිතාන්‍ය රජ පවුලේ චරිත සහ හැලහැප්පීම් ආශ්‍රය කරගෙන විවිධ කලා නිර්මාණ බිහිවෙලා තියෙනවා. පහුගිය අවුරුදු 50 ඇතුළත මේ ස්වභාවය ඉතාමත් වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ නිදහස් මාධ්‍යවල නැගීම. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ මේ විදිහට බ්‍රිතාන්‍ය රජ පවුල පාදක කරගෙන බිහිවුණු සිනමා නිර්මාණ කීපයක් ගැන තොරතුරුයි.
1. The King’s Speech
දෙවැනි එළිසබත් රැජනගේ පියාණන් වන හතර වන ජෝර්ජ් රජුගේ ජීවිතය පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන හතරක් දිනා ගත් අතර සමස්ත සම්මාන උළෙලේ සම්මාන 12 ක් සඳහා නිර්දේශ වුණා. ගොත ගසන ස්වභාවයකින් යුක්ත ජෝර්ජ් රජු හදිසියේ රජ කිරුළ හිමි වීමත් සමග තමන්ගේ එම දුර්වලතාවය මඟ හරවා ගැනීමට ගත් උත්සාහය මෙම චිත්‍රපටය සඳහා පාදක වුණා. කොලින් ෆර්ත් ජෝර්ජ් රජුගේ චරිතය නිරූපණය කළ අතර හෙලේනා බොන්හැම් කාටර් එළිසබත් බිසවගේ චරිතය නිරූපණය කළා.
2. The Queen
ඩයනා කුමරියගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුල සහ දෙවැනි එළිසබත් රැජින මහජනතාවගේ විරෝධයට ලක්වීම වටා මෙම චිත්‍රපටය ගොඩනැගී තිබෙනවා. රැජිනගේ චරිතය දෙස මානුෂික මුහුණුවරකින් බැලීම මෙම චිත්‍රපටය හරහා සිදුවුණු අතර එම චරිතය රඟපෑ හෙලන් මිරෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය පවා දිනා ගනු ලැබුවා. ඉන් පසුව ඇයට භෝජන සංග්‍රහයක් සඳහා දෙවැනි එළිසබත් රැජින විසින් බකිංහැම් මාළිගයටද ආරාධනා කෙරුණා.
3. Mrs. Brown
සිය ස්වාමියා වූ ඇල්බර්ට් කුමරුගේ මරණයෙන් පසුව රජ පවුලේ සේවකයෙකු වූ ජෝන් බ්‍රවුන් සමග වික්ටෝරියා රැජින පවත්වාගෙන ගිය සමීප සබඳතාවය මෙම චිත්‍රපටයෙන් නිරූපණය වුණා. ඇල්බට්ගේ මරණයත් සමඟම කළු ඇඳුමකින් පමණක් සැරසී, ප්‍රබෝධමත් රාජකීය ජීවිතයට සමු දී ශෝකජනක ජීවිතයක් ගත කළ වික්ටෝරියාගේ ජීවිතයට ජෝන් බ්‍රවුන් දුන් අලෝකය සහ ඔවුන් දෙදෙනා අතර තිබූ මානුෂික සබඳතාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට වික්ටෝරියා රැජිනගේ චරිතය නිරූපණය කළ ජූඩි ඩෙන්ච් ආර්‍යාව සහ බ්‍රවුන්ගේ චරිතය නිරූපණය කළ බිලී කොනෝලි සාර්ථකව සමත් වී තිබුණා.
4. Victoria and Abdul
වික්ටෝරියා රැජනගේ ජීවිතයේ අවසාන භාගය වන විට ජෝන් බ්‍රවුන් මිය ගොස් තිබුණු අතර එම අඩුව පුරවන ලද්දේ ඒ වන විට ඇගේ සමීපයට ඉන්දියාවෙන් පැමිණි මුස්ලිම් ජාතික සේවකයෙකු වන අබ්දුල් කරීමුයි. වික්ටෝරියා සහ අබ්දුල් අතර පැවති මෙම සමීප සබඳතාවය බ්‍රිතාන්‍ය රජ පවුල පමණක් නොව වික්ටෝරියා හා ඥාතීත්වයෙන් බැඳුණු යුරෝපයේ සියළුම රජ පවුල් පාහේ කැළඹීමට පත් කිරීමට සමත් වුණා. මෙම සිදුවීම් මාලාව පදනම් කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ද ජූඩි ඩෙන්ච් ආර්‍යාව වික්ටෝරියා රැජනගේ චරිතය නිරූපණය කළ අතර ඉන්දීය නළු ෆයිසාල් ඛාන් විසින් අබ්දුල්ගේ චරිතය රඟ දක්වනු ලැබුවා.
5. The Young Victoria
වික්ටෝරියා රැජනගේ යොවුන්විය සහ ඇය සමග ඇල්බර්ට් කුමරුගේ පෙම් කතාව පාදක කොටගෙන මෙම චිත්‍රපටය විකාශය වෙනවා. සිය මවගේ දැඩි බලපෑමට යටත්ව සිටි වික්ටෝරියා කුමරිය ඒ නිසාම ඇයට වෛර කිරීමත්, ඇල්බට් වෙත දක්වන සෙනෙහසත්, විදේශිකයෙකු වූ ඇල්බට් බ්‍රිතාන්‍ය රජ පවුල සහ බ්‍රිතාන්‍ය සමාජයේ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම දක්වා වන ගමනත් මෙයින් නිරූපණය වුණා. එමිලි බ්ලන්‍ට් සහ රූපර්ට් ෆ්‍රෙන්ඩ් මෙම ප්‍රධාන චරිත සඳහා මනාව සාධාරණයක් ඉෂ්ට කොට තිබුණා.
6. The Madness of King George
තුන්වැනි ජෝර්ජ් රජු මානසික අසමතුලිතතාවයකින් පෙළුණු පුද්ගලයෙකු බවට පත්වීමත් සමඟම රාජ්‍යය සහ රජ පවුල තුළ ඇතිවුණු අර්බුදය මෙම චිත්‍රපටය තුළින් නිරූපණය වුණා. ප්‍රහසන වර්ගයට අයත් චිත්‍රපටියක් වුවත් මේ තුළින් ඉතිහාසයේ එක් ඛේදාන්තයක් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒමට සමත් වුණා. ශ්‍රීමත් නයිජෙල් හෝත්‍රෝන්ගේ විශිෂ්ට රංගනයක් ලෙස මෙම චිත්‍රපටියේ තුන්වැනි ජෝර්ජ් රජුගේ චරිත නිරූපණය සැළකෙනවා.
7. Elizabeth සහ Elizabeth : The Golden Age
පළමු එළිසබෙත් රැජනගේ ජීවිතය පාදක කරගෙන නිර්මාණය වුණු මෙම චිත්‍රපටි දෙකෙහිම ප්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ කේට් බ්ලැන්චට් විසින්. පළමු චිත්‍රපටයෙන් ඇය සිහසුනට පත්වීම තෙක් මරණය පෙනි පෙනී අභියෝගවලට මුහුණ දුන් ආකාරය නිරූපණය වූ අතර දෙවැනි චිත්‍රපටයෙන් රැජින බවට පත්වීමෙන් අනතුරුව ස්පාඤ්ඤයේ තර්ජනවලට නිර්භීතව මුහුණ දුන් ආකාරය නිරූපණය වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply