ඇඹරුම, තැලුම පහසු කරන කුස්සියේ තිබිය යුතු යන්ත්‍ර

ගවයා වගේ සතෙක් ගත්තොත් ඌට තියෙන එකම සතුට උලා කෑම. කටින් අඹරා ගන්නා තණකොළ ඔහේ බඩට ගිය පසු ගවයා ආයේම ටික වෙලාවකින් ඒවා අරගෙන වමාරා කනවා. එතකොට ගවයා කෑමෙන් ලබන සතුට ඉවර වෙනවා. ඒත් මිනිසාට එහෙම නෑ. මිනිසා ආහාර සකස් කරගන්න විවිධ ක්‍රම ගණනාවක් පාවිච්චි කරනවා. ඒ හරහා කටට රසය වගේම හැපෙන ආකාරයත් වෙනස් කරලා විවිධ ආශ්වාදයන් අපි අපේ කට වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මේ ආහාර පිළියෙල කරන්න ගන්න නූතන යන්ත්‍ර ගොඩක් තියෙනවා. එයින් කපන, කොටන, අඹරන වැඩට යොදාගන්න යන්ත්‍ර කිහිපයක් ගැන අපි බලමු.

 

1. හාල් කොටන මැෂිම

හාල් කොටන්න ගන්නේ සාමාන්‍ය වතුර මෝටරයකින් වගේ බලය ගන්න ටිකක් විශාල යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් හාල් කොටනකොට වෙනමම හලන්න ඕනා නැහැ. මේක ටිකක් විශාල යන්ත්‍රයක්. ඒත් මේකෙ තියෙන වාසිය තමයි මේ වගේ පොඩි යන්ත්‍රයක් ගන්න පුළුවන් නම් අපිට ගෙදරම ගම්මිරිස් ටික, මිරිස් තුනපහ ටික වගේම අවශ්‍ය හාල් පිටිත් කොටාගන්න පුළුවන්. ගෙදර කොටන තුනපහ රසයෙන් වැඩියි වගේම විශ්වාසනීයයි. අනෙක් අතට ගෙදර කොටපු හාල් පිටි වලින් හදන ඉඳිආප්ප, ආප්ප, පිට්ටු වගේ කෑම ප්‍රණීත රසයකිනුත් යුක්ත වෙනවා.

 

2. බ්ලෙන්ඩරය

අපේ ගෙදර තියෙන බහුකාර්ය යන්ත්‍රයක් තමයි බ්ලෙන්ඩරය කියන්නේ. මේ බ්ලෙන්ඩරයේ තියෙන බ්ලෙන්ඩ් කරන ජෝගුවෙන් අපිට ජූස් වර්ග හදාගන්න පුළුවන්. බීම වර්ග හදනකොට තියෙන වැඩි වතුර තත්ත්වය එක්ක බ්ලෙන්ඩර් එක වඩාත් සුදුසු වෙන්නෙ ජූස් හදන වැඩේට. ඒ වගේම බ්ලෙන්ඩරය එක්ක එන අනෙක් ග්‍රයින්ඩර් කොටස තදබල දේවල් කොටාගන්න, කෝපි කොටාගන්න, කහ කොටාගන්න වගේ වැඩට පාවිච්චි කරන්නට පුළුවන් වෙනවා. දැන් නම් තවත් විවිධ කොටස් ඇතුළත් බ්ලෙන්ඩර වර්ග වෙළඳපොලේ තියෙනවා.

 

 

3. මික්සර්

ස්ටෑන්ඩ් මික්සරය කේක් හදන අයට වඩාත් සුදුසුයි. අපේ ගෙවල් වල වැඩියෙන් දකින්නට ලැබෙන්නේ නම් හෑන්ඩ් මික්සර් එක. හෑන්ඩ් මික්සර් එකෙන් විනාඩි දහය පහළොවක් මික්ස් කරද්දී අතට ටිකක් අපහසුවක් දැනෙනවා. ඒත් ස්ටෑන්ඩ් මික්සර් එක එහෙම නැහැ. මේ මික්සර් මිලදී ගන්න කොට අපිට ඕනි වැඩේ මොකද්ද කියලා ටිකක් හොයලා බලන්නට ඕනි. අපිට ඇත්තටම ඕනි කරන්නේ කේක් හදන වගේ මෘදු වැඩට නම් වොට් 200 සිට තියෙන ඕනිම මික්සරයක් සුදුසුයි. ඒත් පාන්, බනිස්, රොටි හදන්න කරන තද පිටි ඇනිලි වලට ඊට වඩා වැඩි බලයක් සහිත ලොකු මික්සර් සුදුසු වෙනවා.

 

 

4. වයර් රහිත කුඩා මික්සරය

මේ මික්සරය කියන්නේ බොහොම කුඩා එකක්. කූරක් වගේ දිගට තියෙනවා. අග තියෙනවා තලයක්. මේක හැඳි ගාන වැඩට වඩාත් සුදුසුයි. සරලවම අපිට මේකෙන් තේ වතුර, කිරි කෝපි, කිරි තේ වඩාත් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම චීන කෑම ආදිය හදනකොට සෝස් වර්ග ආදී මිශ්‍රණ හදාගන්න මේ වයර්ලස් මිනි හෑන්ඩ් මික්සර් එකෙන් පුළුවන්. කෝඩ් එකක් නැති එකක් ගත්තොත් පහසුවෙන් පිරිසිදු කරන්න වගේම ඕනි තැනක පාවිච්චි කරන්නත් පුළුවන්.

 

 

5. ෆුඩ් ප්‍රොසෙසර් (Food Processor)

 

කට්ටලයක් විදිහට බොහෝවිට මිලදී ගන්න තියෙන මේ ෆුඩ් ප්‍රොසසර් වර්තමානයේ කුකින් ශෝ වල නිතර දකින්නට තියෙනවා. මේ ෆුඩ් ප්‍රොසසර් වලින් එළවළු ජාති, පළතුරු ජාති ඉක්මනින්ම කැබලි කරගන්නට පුළුවන්. මේ හරහා මස් වර්ග, මාළු වර්ග පොඩිකරලා මිශ්‍රණ හදාගන්නත් ලේසියි. මේ ෆුඩ් ප්‍රොසසර් ම නොවුණත් අතින් කරකවන එළවළු කපන මේ ආකාරයේ යන්ත්‍ර දැන් තියෙනවා. මේ යන්ත්‍ර සුලභ වුණත් ලංකාවේ කුස්සි වලින් නම් ඇහෙන්නේ මේ ජාතියේ උපකරණ භාවිතා කළාට පස්සේ පිරිසිදු කරගැනීම වධයක් බවක්.

 

 

6. කුඩා ගල් වංගෙඩිය

කුඩා ලී වංගෙඩි නම් නිතරම අපිට දකින්නට ලැබෙනවා. ඒත් ගල් වංගෙඩි අඩුයි. ගල් වංගෙඩිය කියන්නෙත් ඒ වගේම කුඩාවට හදපු එකක්. අපිට සුදුළූණු ගෙඩියක්, ඉඟුරු ටිකක් තලාගන්න, ගම්මිරිස් ඇට කීපයක්, මිරිස් කරලක් දෙකක් තලාගන්න බ්ලෙන්ඩර් එක ගන්න ටිකක් අමාරුයි. ඒක අරගත්තම ආයේ හෝදලා තියන එකත් කරදරයක්. ඒත් මේ කුඩා ගල් වංගෙඩියක් තියාගත්තොත් ඒකෙන් ආහාර හදනකොට තියෙන පොඩි පොඩි තැලීම් ආදිය කරගන්න පුළුවන්. ලී එකත් හොඳයි. ඒත් ගල් එකම ගන්න පුළුවන් නම් වැඩේ කොලිටියට ඉක්මනින් කරගන්න පුළුවන්. මේක කලින් යන්ත්‍ර වගේ යාන්ත්‍රික එකක් නෙමෙයි. ඒත් අපේ කුස්සි වල මේ වගේ තලලා දාන කුඩා කුඩා වැඩ වැඩි නිසා මේක වැදගත් උපකරණයක්.

 

 

7. ෆෘට් ජූසර් (Juicer)

 

මේකෙන් දෙහි දොඩම් වගේ දේවල් වලින් ඇඹුල් වෙන් කරගන්න ලේසියෙන් පුළුවන්. ඒ වගේම කොමඩු වගේම එළවළු ජාති වලිනුත් ජූස් නිපදවා ගන්නට පුළුවන්. අපි නම් තවමත් කඩෙන් ගන්න විවිධ කෝඩියල් ආදී දේවල් වලින් තමයි බීම හදාගන්න පෙළඹිලා තියෙන්නේ. ඒත් දියුණු රටවල දැන් දැන් කෙලින්ම එවෙලේම පළතුරු බීම, එළවළු ජාති වලින් බීම හදාගෙන බීම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේ දේකට හුරු වෙන්න ඉන්නවා නම් සහ දැනටම ජූස් ජාති බොන්න පුරුදු වෙලා ඉන්නවා නම් බ්ලෙන්ඩර් එකකට වඩා මේ ජූසර් එකක් ඔයාගේ කුස්සියට වැදගත් වේවි.

 

කුස්සියකට ගියාම “අයියෝ අදත් උයන්න තියෙනවාද? මේ වෙලාවෙත්” කියලා අපිට හිතෙනවා නම් කුස්සිය එක්ක අපිට තියෙන ඩීල් එක එච්චර හොඳ එකක් වෙන්නේ නැහැ. ඒක අපිට අමාරුවෙන් හරි වෙනස් කරගන්න වෙනවා අපේ සෞඛ්‍යය වෙනුවෙන්. ඉතින් මේ බඩු බාහිරාදිය ගෙදර තිබුණොත් අපිට කුස්සියට ගිහින් දෙයක් හදාගන්න එක තෘප්තිමත් වැඩක් වෙනවා. ඒ වගේම ඉක්මනින් කරන්න පුළුවන් එක අපිටත් ගෙදර අයටත් වාසියක් වෙනවා. ඉතින් මේ බඩු බාහිරාදිය මිලදී ගන්න පෙර සැබැවින්ම එහි උවමනාවක් තියෙනවාද? කුස්සියේ වැඩිපුර ඉන්නේ හස්බන්ඩ් නම් හෝ වයිෆ් නම් එයාලට මේවා ගැළපෙනවාද කියලා සාකච්ඡා කරලා මේවා මිලදී ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *