ලංකාවෙ අපිට ඉල්ල ඉල්ල කන්න ආස හිතෙන කිඩූ රයිස් මෙනූ රෙසිපියක්

කිඩූ රයිස් එහෙමත් නැතිනම් වට්ටි රයිස් මේ වෙනකොට ලංකාවෙ ගොඩක් ජනප්‍රියයි. කිඩූ කියන්නේ දුන්තෙල් බත් එක්ක තව ව්‍යංජන කෙසෙල් කොළ වල ඔතලා, පොල්කොළ වලින් හදපු වැස්මක දාලා පිළිගන්වන විදියක්. හෝම් ඩිලිවරි පහසුකමත් එක්ක ගෙදරටම ගෙන්නගෙන කන්න පුළුවන් රසම රසට කිඩූ රයිස් හදන රෙස්ටෝරන්ට් බොහොමයක් තියනවා. ඒත් ඉතින් මේ පැන්ඩමික් එකේදි ගෙදරදීම හදාගන්න කිඩූ රයිස් මෙනූ රෙසිපි ටික ගේන්න අපි හිතුවා. එක එක තැන් වල කිඩූ රයිස් එකට එන මෙනූ එක වෙනස්. අද ගෙනාපු රෙසිපි වලට අමතරව මේකට අන්නසි කරියක්, අල කරියක් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්.

 

1. ගී රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. කීරි සම්බා හාල් කිලෝ 1
  2. ගී තෙල් මේස හැඳි 3
  3. කරාබු නැටි 4-5
  4. ගම්මිරිස් ඇට කිහිපයක්
  5. ස්ටාර් අනීස් 2
  6. ලුණු
  7. කුරුඳු පොතු කෑල්ලක්
  8. රම්ප හා කරපිංචා
  9. එනසාල් ඇට 3
  10. වසාවාසි කෑල්ලක්
  11. බැදගත් කජු, ළූණු හා මුද්දරස්පලම් ටිකක්

 

  • හාල් ටික සෝදගන්න. රයිස්කුකර් බෝල් එක ලිපේ තියලා ඒකට ගී ටික දාලා රත්වෙනකොට හාල් සහ බැදගත් දේවල් ඇර අනික් සියල්ලම දාලා ටිකක් බැදෙන්න අරින්න.
  • ඊළඟට හාල් ටික දාලා තෙම්පරාදු කරගෙන වතුර අවශ්‍ය ප්‍රමාණයට දාලා ලුණු දාලා පිසගන්න.
  • බත උයාගත් පසු බැදගත් කජු, ළූණු හා මුද්දරස්පලම් එකතු කරගන්න.

 

 

 

2. කාලියා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. වම්බටු ගෙඩි 2
  2. අළුකෙසෙල් ගෙඩි 2
  3. ලියාගත් ළූණු ගෙඩි 1/2
  4. රම්පේ හා කරපිංචා
  5. මිරිස් කුඩු තේ හැඳි 1
  6. කහ කුඩු තේ හැඳි 1
  7. සීනි තේ හැඳි 1
  8. විනාකිරි ටිකක්
  9. උළුහාල් තේ හැඳි 1/2
  10. පොල්තෙල්
  11. මිටිකිරි කෝප්ප 1/2

 

 

  • අළුකෙසෙල් කොටුවට කපලා කහ අතගාන්න. වම්බටුත් කොටු කපා මේ දෙකම ගැඹුරු තෙලේ වෙන වෙනම බැදගන්න.
  • කරිය හදන භාජනයට මිටිකිරි ටික දාලා ළූණු, රම්පේ, කරපිංචා, කහ කුඩු, මිරිස් කුඩු, උළුහාල් දාලා ලිපේ තියලා උතුරනකොට අළුකෙසෙල් ටික දාගන්න. තවත් විනාඩි 2කින් පස්සෙ බැදගත් වම්බටු ටිකත් දාලා සීනි හා විනාකිරි දාලා හින්දවන්න.

 

 

3. චිකන් කරි

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. කෑලි කපාගත් කුකුල්මස් ග්‍රෑම් 500
  2. ලියාගත් ළූණු ගෙඩි 1
  3. ලියාගත් අමුමිරිස් කරල් 2
  4. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  5. චොප්කරගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  6. තෙල් ටිකක්
  7. කරදමුංගු ඇට 2
  8. කරාබු නැටි 3
  9. කුරුඳු පොතු කෑල්ලක්
  10. තක්කාලි පේස්ට් මේස හැඳි 2
  11. කළු කුඩු තේ හැඳි 1
  12. මිරිස් කුඩු තේ හැඳි 3
  13. ලුණු හා ගම්මිරිස් කුඩු
  14. රම්පෙ කෑල්ලක්

 

 

  • කුකුල් මස් වලට ලුණු, ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු දාලා අත ගාලා පැයක් මැරිනේට් කරගන්න. කරදමුංගු, කරාබු නැටි හා කුරුඳු පොතු කබලෙ බැදලා කුඩුකරගන්න.
  • තාච්චියක් ලිපේ තියලා රත්වෙනකොට ලියාගත් ළූණු, අමුමිරිස් හා කරපිංචා දාගන්න. මේ ටික බැදුනම රම්පේ හා චොප්කරගත් ඉඟුරු, සුදුළූණු ටික එක්කරගන්න.
  • කුඩුකරගත් කුළුබඩු දාලා මස් ටික දාලා කලවම් කරන්න. චොප්කරගත් තක්කාලි ටිකත් දාලා වහලා විනාඩි 5ක් වගේ තැම්බෙන්න තියන්න.
  • අඩිය අල්ලන්න නොදී මස් ටික ඒ මේ අත පෙරලගන්න. ඊළඟට මේකට වතුර දාලා ආයෙ වහලා හොඳට තැම්බෙන්න තියන්න.
  • විනාඩි 20ක් විතර තැම්බුනාම තක්කාලි පේස්ට් එක දාලා නැවත විනාඩි 15ක් තම්බගන්න. ලිපෙන් බාන්න කිට්ටුව කළු කුඩු උඩින් ඉසගන්න.

 

 

 

4. අල බැදුම්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අල ගෙඩි 4
  2. අබ තේ හැඳි 1
  3. ලියාගත් ළූණු ගෙඩි 1
  4. කරපිංචා ටිකක්
  5. ලියාගත් අමුමිරිස් කරල් 2
  6. උම්බලකඩ ටිකක්
  7. කෑලිමිරිස් තේ හැඳි 2
  8. ලුණු හා ගම්මිරිස් කුඩු

 

 

  • අල ටික තම්බලා පොතු ඇරලා තරමක කෑලි කපාගන්න. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට කරපිංචා ටික දාලා බැදගන්න.
  • ඊළඟට ළූණු ටික බැදගන්න. අමුමිරිස් හා උම්බලකඩ ටිකත් වෙන වෙනම බැදගන්න. අන්තිමට අල ටික බැදගන්න.
  • ළූණු, කරපිංචා, උම්බලකඩ, අමුමිරිස් එකට කලවම් කරලා රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා කෑලිමිරිස් දාලා පරිස්සමට කලවම් කරගන්න.
  • කැමති නම් දෙහි බින්දු කීපයක් අවසානයට එක්කරන්න.

 

 

 

5. අඹ මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අමු අඹ ගෙඩි 4
  2. ලියාගත් රතුළූණු ගෙඩි 3-4
  3. ලියාගත් සුදුළූණු බික් 2
  4. රම්පේ හා කරපිංචා
  5. ලියාගත් අමුමිරිස් කරල් 2
  6. කොච්චි කරල් කිහිපයක්
  7. තෙල් ටිකක්
  8. මිරිස් කුඩු තේ හැඳි 3
  9. තුනපහ කුඩු තේ හැඳි 1
  10. කහ කුඩු තේ හැඳි 1/2
  11. කුරුඳු පොතු කෑල්ලක්
  12. එනසාල් ඇට 2
  13. සීනි තේ හැඳි 2
  14. ලුණු හා ගම්මිරිස් කුඩු
  15. මිටිකිරි කෝප්ප 1/2

 

 

  • අඹ ටික දික් අතට කපාගන්න. ඇතිලියකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට මිරිස් කුඩු හා තුනපහ කුඩු ටික දාලා කළු වෙනකල් බැදගන්න.
  • ඊළඟට මේකට ළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ කුඩු, එනසාල්, කුරුඳු පොතු, අමුමිරිස් හා කොච්චි ටික දාලා අඹ කෑලි ටික දාගන්න.
  • රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා සීනි ටිකත් දාගන්න. මේකට වතුර චුට්ටක් දාලා වහලා තියන්න. අඹ ටික තැම්බුණාම කිරි ටික දාලා අඩු ගින්දරේ උතුරන්න දෙන්න.

 

 

 

6. පරිප්පු තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පරිප්පු ග්‍රෑම් 200
  2. අබ ටිකක්
  3. ලියාගත් රතුළූණු ගෙඩි 3-4
  4. ලියාගත් සුදුළූණු බික් 2
  5. රම්පේ හා කරපිංචා
  6. ලියාගත් අමුමිරිස් කරල් 2
  7. වියළි මිරිස් කරල් 2-3
  8. තෙල් ටිකක්
  9. කහ කුඩු තේ හැඳි ½
  10. මිටිකිරි කෝප්ප 1

 

 

 

  • පරිප්පු ටික කහ ටික දාල තම්බ ගන්න. තෙල් ටිකක් ලිපේ තියල ඒකට අබ, ළූණු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස් සහ වියළි මිරිස් කරල් ටික දාල, රස අනුව ලුණු දාල තෙම්පරාදු කරගන්න.
  • ඒකට පොල් කිරි දාගෙන තම්බ ගත්තු පරිප්පු දාල කලවම් කරලා හින්දගන්න.

 

 

7. තම්බා බැදගත් බිත්තර

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. බිත්තර
  2. කහ ටිකක්
  3. ගොරකා කෑලි කීපයක්

 

 

  • බිත්තර තම්බනකොට කටුව ගලවන්න ලේසි වෙන්න තම්බන වතුරට ගොරකා කෑලි 2-3ක් එක්කරන්න.
  • තම්බා කටු ඉවත් කළ බිත්තර වල පිටතින් පොඩි කැපුම් කිහිපයක් යොදන්න.
  • බිත්තර උඩින් කහ ටිකක් අතගාල ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *