කොසොල් රජුගේ අසදෘශ මහා දානය ගැන තතු

ශ්‍රී ලංකාව කියන්නෙ බෞද්ධ ආගමික අභාෂයෙන් පෝෂණය වුණු, දානමාන කටයුතු වලට ඉතාම ලැදියාවක් දක්වන රටක්. කොටින්ම කොවිඩ් වසංගතය මැද පවා දන්සැල් වගේ කටයුතු සංවිධානය කරපු රටක් තමයි ශ්‍රී ලංකාව. බොහෝ අය තමන්ගේ ජිවිතයේ වැදගත් සිදුවීම් සැමරීම වෙනුවෙනුත් දානමාන කටයුතු වල නිරත වෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලයේත් මේ වගේම තමයි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පටන් පහලම මට්ටමේ සිවිල් ජනතාව පවා තමන්ට හැකි තරමින් දානමාන කටයුතු වල යෙදුනා. ඉතිහාසයේ සඳහන් වෙන පිළිවෙලට සමහර දවස්වල දානය නොලැබුණු සිදුවීම් පවා ඇතිවෙලා තියෙනවා. ඒ කොහොම උනත් බෞද්ධ ඉතිහාසයේ ඉතා විශේෂ දානයක් ගැන සඳහන් වෙනවා. ඒ කොසොල් මහා රජ්ජුරුවෝ බුදුහාමුදුරුවන් ඇතුළු මහා ශ්‍රාවක පිරිසට ලබා දීපු මහා දානයක්. ඒ දානය කොසොල් රජුගේ අසදෘශ මහා දානය කියලා හඳුන්වනවා. ඒ ගැන තමයි අපි අද ඔයාලව දැනුවත් කරන්නෙ.

 

1. තරගයට දීපු දානය

දවසක් බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක පිරිස එක්ක චාරිකාවේ වඩින අතරතුරේ සැවත් නුවර ඉදි කරලා තිබුණු ජේතවනාරාමයටත් වැඩියා. ඒ බව ආරංචි වුණු කොසොල් මහා රජ්ජුරුවෝ, බුදුහාමුදුරුවන්ටත් අනෙකුත් ශ්‍රාවක සංඝයා වහන්සේලාටත් තමන්ගේ මාළිගාවේ දානයට වඩින්න කියලා ආරාධනාවක් කළා. ඉතින් එහෙම හිටි හැටියේ ඒ වගේ දානයක් සුදානම් වෙලා තිබුණ නිසා නුවර වැසියනුත් ඒ දානය දැක බලාගන්න ඇවිත් තිබුණා. ඒ දානය දැකල නුවර වැසියනුත් පහුවෙනිදා තවත් දානයක් බුදුහාමුදුරුවන් සහ සංඝ රත්නය වෙනුවෙන් සුදානම් කළා. ඒ දානය දැක බලාගන්න කොසොල් රජුටත් ආරාධනාවක් යැව්වා. ඉතින් ඒ නුවර වැසියන්ගේ දානය රජ්ජුරුවන්ගේ දානයට වඩා මහා ඉහළින් සුදානම් වෙලා තිබුණා. පහුවෙනිදා කොසොල් රජ්ජුරුවෝ ආයෙත් ඊට වඩා ඉහළින් දානයක් සූදානම් කළා. ඊට පස්සේ ආයේ නුවර වැසියෝ දානයක් සූදානම් කළා. ඔය විදිහට රජ්ජුරුවෝ සහ නුවර වැසියෝ තරගෙට බුදුහාමුදුරුවන්ට දානය සුදානම් කළා.

 

2. මල්ලිකා බිසවගේ නුවණ

ඔය විදිහට නුවර වැසියෝ සුදානම් කරපු හැම දානයක්ම රජ්ජුරුවන්ගේ දානයට වඩා මහා ඉහළින් පිළියෙළ වුණා. ඒ ගැන කොසොල් රජ්ජුරුවෝ ඉතාම ලැජ්ජාවටත් කණගාටුවටත් පත් වුණා. දවසක් ඔය ගැන හිත් තැවුලෙන් රජ්ජුරුවෝ ඉන්න අවස්ථාවක මල්ලිකා බිසව ඒ ගැන රජ්ජුරුවන්ගෙන් විමසීමක් කළා. ඉතින් එතකොට රජ්ජුරුවෝ පැහැදිලි කළා හේතුව. ඒ ගැන අහපු මල්ලිකා බිසව කොසොල් රජ්ජුරුවන්ට මහා දානයක් සංවිධානය කරන හැටි කියලා දුන්නා.

 

3. මහා දානය

මල්ලිකා බිසව රජ්ජුරුවන්ට යෝජනා කළා සල් ගස් පන්සියයක් වටරවුමක් ආකාරයට පිළියෙළ කරලා ඒ පාමුල භික්ෂූන් වහන්සේලාට අසුන් පනවන්න කියලා. ඒ වගේම ඒ අසුන් වලට ඉහළින් සුදු පැහැති කුඩ පන්සියයක් යොදවන්නත්, ඒ කුඩ ඔසවාගෙන ඉන්න ඇතුන් පන්සියයක් යොදවන හැටියටත් යෝජනා කළා. ඊට අමතරව හැම භික්ෂුන් වහන්සේ දෙනමක් අතරම එක රාජකුමරිකාවක් බැගින් රඳවන්නත්, ඔවුන්ට සඳුන් අඹරන්න සලස්වන්න කියලත් යෝජනා කළා. තවත් රාජකුමරිකාවන් පිරිසක් වටාපත්වලින් පවන් සලන්න යොදවන්නත් යෝජනා කළා. තව රජකුමරිකාවන් පිරිසක් අඹරන සඳුන් මණ්ඩපය මැද සකස් කළ රන් බඳුන් වල තවරන්නත් තවත් පිරිසක් ඒ සඳුන් නිල් මානෙල් මල්වලින් ගෙන ඉසින්නටත් යෝජනා කළා. ඔන්න ඔය විදිහට කළොත් නගරවාසීන් පරද්දන්න පුළුවන් කියලා රජ්ජුරුවන්ට අවබෝධ වුණා. ඉතින් ඒ යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න නියම කරගත්තා.

 

4. ඇතුන්ගේ අඩුවක්

ඉතින් සැලසුම ඒ විදිහටම ක්‍රියාත්මක වුණා. හැබැයි ඒක අඩුපාඩුවක් වුණා. එක මුතු කුඩයක් අල්ලන්න ඇතෙක් මදි වුණා. ඇතුන් කොච්චර හිටියත් හීලෑ ඇතුන් හිටියේ 499යි. අනිත් ඇතුන් සැඩපරුෂයි. ඒ බව මල්ලිකා බිසවට කිව්වම මල්ලිකා බිසවට උපායක් කල්පනා වුණා. මල්ලිකා බිසව සැඩපරුෂ ඇතකු කුඩයක් සහිතව අංගුලිමාල තෙරුන් අසල යොදවන ලෙස දැනුම් දුන්නා. ඒ විදිහට යොදවපු ඇතා කිසි හැලහොල්මනක් නැතුව නිසොල්මනේ හිටියාලු. එනිසා රජ්ජුරුවෝ ඉතාම සතුටින් දානයේ කටයුතු ඉෂ්ට කරගත්තා.

 

5. කොසොල් රජුගේ පසුතැවීම

ඉතින් මේ දානය වෙනුවෙන් කෝටි දාහතරක ධනයක් එක දවසට වියදම් වෙලා තිබුණා. ඉතින් දානය වෙලාවේ රජ්ජුරුවන්ට හිටපු ඇමතියෙක් දානයට වියදම් කළ ධනය ගැන කේන්තියෙන් පසු වුණා. තවත් ඇමතියෙක් ඒ සම්බන්ධව සතුටු සිත් ඇතිකරගෙන දානය තමනුත් අනුමෝදන් වුණා. අවසානයේ බුදුහාමුදුරුවෝ බණ දේශනා කිරීමට සූදානමින් එතන හිටපු පිරිසගේ සිතුවිලි ගැන හොයල බලද්දී මේ ඇමතිවරු දෙදෙනාගේ සිතුවිලි දැක්කා. ඉතින් තමන් වහන්සේ බණක් දේශනා කළොත් අයහපත් සිතුවිල්ලෙන් හිටපු ඇමති ඒ මොහොතේම මියයන බව දැක්කා. ඒ වගේම අනෙක් ඇමතියා සෝවාන් වන බවත් දැක්කා. නමුත්, පළවෙනි ඇමති ගැන අනුකම්පාවෙන් බණක් දේශනා නොකොට පද හතරක ගාථාවක් විතරක් දේශනා කරලා නැවත ජේතවනාරාම විහාරයට වැඩම කළා.

 

6. සිත පැහැදීම සහ සිත පැසවීම

කොසොල් රජ්ජුරුවෝ දානයෙන් පස්සේ බුදුන් වහන්සේ බණක් දේශනා නොකිරීම ගැන තැවුලෙන් පසුවුණා. නැවත බුදුන් හමුවීමට ගිහින් කොසොල් රජතුමා තමන්ගේ තැවුල ගැන බුදුහාමුදුරුවන්ට පැහැදිලි කළා. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා දානයේ අඩුපාඩුවක් නැති බවත් තමන් වහන්සේ බණක් දේශනා නොකිරීමට හේතුව ගැනත්. ඉතින් කොසොල් රජ්ජුරුවෝ අයහපත් සිතුවිල්ලෙන් හිටපු ඇමතියා රාජ්‍යයෙන් නෙරපන්නත්, අනෙක් ඇමතිට තවත් දාන දෙන ලෙසත් උපදෙස් දුන්නා.

 

7. ආදර්ශය

මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි කවුරු වුණත් කමක් නෑ හොඳ දෙයක් කරනවානම් ඒ ගැන යහපත් චේතනාවෙන් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව. ඒ වගේම කෙනෙක් තමන්ගේ ධනයෙන් කරන දේ ගැන අපි අයහපත් සිතුවිලි ඇති කරගන්න අවශ්‍ය නෑ කියන එකත් තේරුම් ගන්න ඕනේ.

 

 

 

Leave a Reply

Your email address will not be published.