ඔන්න අද අපි ලොකු ටෝක් එකක් දෙන්නයි යන්නෙ. බයවෙන්න එපා ලොකු ටෝක් කිව්වට අද කතා කරන්න යන්නේ ලෝකේ තියන ලොකු දේවල් ටිකක් ගැන. ගිනස් පොතට ඇතුළු වෙලා තියන ස්ථාන හා ශාකත් මේ ලිපියට ඇතුළත්. ලොකුකම ගැන ලොකු ටෝක් දෙන මේ ලොකු ලොකු දේවල් ගැන එහෙනම් කියවලම බලන්නකෝ.
1. ලෝකෙ ලොකුම බල්ලා – English Mastiff
මුලින්ම බලමු ලොකුම බල්ලා ගැන. ගිනස් පොතේ හැටියට ලෝකයේ විශාලතම බලු වර්ගය වෙන්නෙ English Mastiff කියන වර්ගයයි. මේ විශාලත්වය ගන්නෙ බරින්. නැත්නම් සයිස් එකෙන් මෙයාට වඩා උස මහත බල්ලො ඉන්නවා. මෙයාලගෙ සාමාන්‍ය පිරිමි සතෙක්ගෙ බර රාත්තල්160-280ත් අතර වෙනවා. එංගලන්තය නිජබිම් වන මේ විශේෂය සාමාන්‍ය ලෝම සහිත සමකින් යුක්තයි. උපරිම ආයු කාලය අවුරුදු 6ත් 10ත් අතර වෙනවා. ස්වභාවයෙන්ම ටිකක් විතර මුරණ්ඩු වුණත් ස්වාමියාට පක්ෂපාතීයි වගේම සන්සුන් ආරක්ෂක විශේෂයක්. මෙයාලා වසර ගණනාවක ඉඳලම යුධකාමී කටයුතු වලට ලොකු සේවයක් කරලා තියනවා. සෙල්ලම් කරන්නෙ නම් හිතුනොත් විතරයි. හැබැයි පොඩි ළමයි එක්ක හරිම එකතුයි. ලෝකෙ ලොකුම බල්ලා වුණාට ලොකුකම ඔළුවට අරන් නෑ කියල බය නැතුව කියන්න පුළුවන් මෙයා ගැන.
2. ලෝකෙ ලොකුම මගී නැව – Symphony of the Seas
ලෝකෙ ලොකුම මගී නෞකාව විදියට 2018 වෙනකොට Symphony of the Seas නැව ඒ තැන හිමි කරගන්නවා. මෙය දිගින් අඩි 1188ක් වන අතර උස අඩි 238ක්. උපරිම මගී ධාරිතාව 6680ක් දක්වා වෙනවා. මගීන්ට අමතරව 2200ක සේවක පිරිසක් ඉන්නවා. මේ නැවේ හිමිකාර සමාගම වෙන්නෙ Royal Caribbean Cruises Ltd. ඒ වගේම මේ නැවේ පිහිනුම් තටාක 4ක්, කෑම කාමර 22ක් හා කැබින් 2759ක්ද ආසන 1400කින් යුක්ත රංග ශාලාවක්ද තියනවා. මේ නැව මේ වර්ගයේ අනික් නැව් වලට වඩා 20%ක කාර්යෂමතාවයකින් ඉහළයි. දැන් ලෝකේ තියන තත්ත්වෙත් එක්ක වැක්සීන් නොකරපු අය නැවට ගන්නෙ නෑ කියලයි ආරංචි උනේ.
3. ලෝකෙ ලොකුම මාළුවා – Whale Shark
දැනට ලෝකයේ ලොකුම මාළුවා විදියට සැලකෙන්නෙ Whale Shark. මෙයාගෙ බර ටොන් 21කට වඩා වැඩි අතර අඩි 41.5ක් දක්වා වැඩෙනවා. අලුත ඉපදුණු මෝරුන් අඟල් 21-25ක වගේ දිගින් යුක්තයි. මේ මෝරුන් උණුසුම් නිවර්තන කලාප වල වගේම අත්ලාන්තික්, පැසිෆික් හා ඉන්දියානු සාගරයේ ගොඩක් දකින්න පුළුවන්. මේ මාළුවා වසර 70ක් විතර ජීවත් වෙනවා කියලයි කියන්නේ. ඒ උනත් දැනට වඳවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්න ජාතියක්. මෙයාලා පිටින් තද අළු පාටක් හා බඩ ප්‍රදේශයෙන් සුදුපාටක් ගන්නවා. මිනිස් ඇඟිලි සළකුණු වගේම එකිනෙකාට වෙනස් වර්ණ රටාවන් දකින්න පුළුවන්. කුඩා මාළු, ඉස්සන් හා මාළු බිත්තර මෙයාලගෙ ආහාරයි.
4. ලෝකෙ ලොකුම ප්‍රතිමාව – Statue of Unity
උසින් මීටර් 182ක් වෙන මෙය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ තමයි නිර්මාණය කරල තියෙන්නෙ. 2018 ඔක්තෝබර් වල විවෘත කරපු මේ ප්‍රතිමාව බලන්න දිනකට 10,000කට වැඩි සංචාරකයින් පිරිසක් එනවා. මේක ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ප්රමුඛ නායකයෙකු වූ වල්ලබ්බායි පටෙල් මහතා සිහිකිරීම පිණිස නරේන්ද්‍ර මෝදි විසින් මූලිකත්වය ගෙන සිදුකරන ලද ව්‍යාපෘතියක්. ප්‍රතිමාවට අවශ්‍ය යකඩ සපයා ගන්න ගොවීන්ගේ කෘෂිකාර්මික උපකරණත් පරිත්‍යාග කරලා තියනවා. ඒ වගේම ගුජරාට් ප්‍රාන්ත රජයෙනුත් ඩොලර් මිලියන 500ක් මෙන්ම රාජ්‍ය, පෞද්ගලික ආයතන වලින් ලැබුණු පරිත්‍යාග සියල්ලගෙන්ම මේක නිම වුණා. මේ ප්‍රතිමාවට අයත් අවට වපසරිය අක්කර 4.9ක් විතර වෙනවා. කිලෝමීටර් 12ක දිගින් යුත් අලුතෙන් නිමවූ වැවකුත් මේ වටා තියෙනවා.
5. ලෝකෙ ලොකුම පොත
ගිනස් වාර්තාවලට අනුව ලෝකයේ ලොකුම පොත වාර්තා වෙන්නෙ ඩුබායි වලින්. මෙය දිග අඩි 26.44 හා පළල අඩි 16.40ක් වෙන අතර බර කිලෝග්‍රෑම් 1500ක් වෙනවා. පිටු 429කින් සමන්විත මේ පොත නම් කරලා තියෙන්නෙ ” This is the Prophet Muhammad” නමින්. මොහොමඩ් නබි තුමාගේ ජීවිත කාලය තුළ ලැබූ අත්දැකීම්, ජයග්‍රහණ මෙන්ම ඉස්ලාම් දර්ශනය මඟින් මිනිසාට ඇති ධනාත්මක බලපෑමත් මේකෙ විස්තර කරනවා. මේ පොත හදන්න පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙලා තියනවා.
6. ලෝකෙ ලොකුම කූඹියා – Dinoponera
Dinoponera නමින් හැඳින්වෙන මේ කුහුඹුවා යෝධ ඇමසෝනියානු කුහුඹුවන් ලෙසත් හඳුන්වනවා. ගැහැණු සතෙක් දිගින් අඟල් 1.2 – 1.6ත් අතර වෙනවා. දකුණු ඇමරිකාව, ඉක්වදෝරය, කොලොම්බියාව, බ්‍රසීලය, ආජන්ටිනාව හා පහතරට වැසි වනාන්තරවලින් මේ ප්‍රභේදය සොයාගෙන තියනවා. දැනට ජීවත් වෙන කුහුඹු විශේෂ අතරින් විශාලතම කුහුඹුවන් විදියට මේ කුහුඹුවන් හඳුන්වන්න පුළුවන්. Dinoponera australis, hispida, gigantea, longipes, lucida, mutica හා quadriceps යනුවෙන් විවිධත්වයෙන් විශේෂ 10ක් වගේ ඉන්නවා. කොළණි වශයෙන් ජීවත් වෙන මේ කුහුඹු කොළණියක සේවකයන් 50ත් 80ත් අතර ඉන්නවා.
7. ලෝකෙ ලොකුම ගස – General Sherman
මේ වෙනකොට ලෝකයේ පණ ඇති ලොකුම ගස විදියට හඳුනගෙන තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සීකොයියා වනෝද්‍යානයේ තියන General Sherman Tree කියන ගසයි. මේක වසර 2300-2700ක් වගේ පරණයි කියලයි කියන්නෙ. ඉතිහාසයට එක්වෙලා තියන ලොව විශාලතම ගස වන ලින්ඩ්සෙ ක්‍රීක් ගස 1905දි විනාශ වෙලා තියනවා. ශර්මන් ගසේ උස මීටර් 83. 8ක් වගේ වෙනවා. ඒ වගේම වට ප්‍රමාණය අඩි 36ක්. මේකට මේ නම තියලා තියෙන්නෙ නම් ඇමරිකානු සිවිල් යුද්ධයේ විධායක ජෙනරාල් විලියම් තෙකම්සේ ශර්මන් විසින්. අඩි හයහමාරක වට ප්‍රමාණයකින් යුත් අඩි 98ක් දිග අතු කෑල්ලක් මේ ගහෙන් 2006 දී කඩන් වැටිලා තියෙනවා. ඒක වෙන වෙලාවෙ කවුරුවත් දැකල නම් නෑ. ස්වභාවිකව කඩන් වැටිල තියෙනව කියලයි සඳහන් වෙන්නෙ. බලන්නකො දකිනකොටත් පිස්සු හැදෙනවා නේද?
Leave a Reply