දේව වන්දනාව කියන දේ ලංකාවේ ඈත අතීතයේ ඉඳන්ම අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. බුද්ධාගම ලංකාවට හඳුන්වා දීමට පෙර බොහෝ රටවල වගේම දේව වන්දනාව තමයි ලංකාවේත් ප්‍රධාන ආගමික ඇදහීම වුණේ. බුද්ධාගම ලංකාවේ ප්‍රධාන ආගම බවට පත් වුණත් දේව වන්දනාව අපේ රටේ මිනිස්සුන්ගෙන් ඈතට ගියේ නැහැ. ලංකාවේ ජීවත් වෙලා හිටපු ප්‍රාදේශීය පාලකයෝ මරණයෙන් පස්සේ දේවත්වයට පත් වුණා වගේම ඇතැම් අවස්ථාවල විදේශික දෙවිවරුන් සමග ඒ චරිත මුසුවීමත් සිද්ධ වුණා.
1. දෙවුන්දර උපුල්වන් දේවාලය
මහාවංශයේ සඳහන් වන ආකාරයට බුදුරජාණන්වහන්සේ පරිනිර්වාණ මඤ්චකයේදි ශක්‍ර දේවේන්ද්‍රයා හරහා උපුල්වන් දෙවියන්ට ලංකාව සහ බුද්ධ ශාසනය ආරක්ෂා කරන එක බාර දීලා තියෙනවා. උපුල්වන් දෙවියන් දේශීය දෙවි කෙනෙක් විදිහට හැඳින්වූවත් අද වෙනකොට විෂ්ණු දෙවියන් සමඟ උපුල්වන් වන්දනාව මිශ්‍ර වෙලා තියෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ගොඩ නගා තිබෙන ප්‍රධානම දේවාලය වන්නේ දෙවිනුවර උපුල්වන් දේවාලය. මේ දේවාලයේ ඉතිහාසය දාඨෝපතිස්ස රජු දවස දක්වා දිව යනවා. සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී විභූතියෙන් බැබළුණු මේ දේවාලය පෘතුගීසීන් විසින් විනාශ කර දමනු ලැබුවා. වර්තමාන දේවාලය ඉන් පසුව ගොඩ නැගුණක්.
2. සීනිගම දේවාලය
මුල් කාලයේදී පත්තිනි දේවාලයක් විදිහට පැවතුණු සීනිගම දේවාලය, දෙවොල් දෙවියන්ගේ ලංකාගමනයත් සමග උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට වෙන් වූ බව කියවනවා. මේ දේවාලය වඩාත් ප්‍රකටව පවතින්නේ තමන්ට සිදුවුණු අසාධාරණ සඳහා පලි ගසනා ස්ථානයක් ලෙසටයි. මේ නිසාම වර්තමානයේ දී සීනිගම දේවාලය වෙත ඒ සඳහා පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් පවතින බවද කියවෙනවා. කෙසේ නමුත් මේ දේවාලය මුහුද මැද ස්ථානගතව පවතින නිසා වන්දනාමාන කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව ද සඳහන් කළ යුතුයි.
3. කතරගම දේවාලය
වාර්ෂිකව කතරගම බලා චාරිකාවක යෙදෙන එක අපේ රටේ බෞද්ධයෝ බොහෝ දෙනෙක්ගේ සිරිතක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම දුර බැහැර යාපනයේ ඉඳන් හින්දු බැතිමතුන් පාද යාත්‍රාවකින් කතරගම බලා එන්නේ කඳ සුරිඳු වන්දනාමාන කරන්න. ඇතැම් වාර්තාවලට අනුව කතරගම දෙවියන් විදිහට වන්දනාමානයට පාත්‍ර වෙන්නේ අතීතයේ ඒ පළාතේ ප්‍රාදේශීය පාලකයෙක් වෙලා හිටිය මහසෙන් රජුවයි.
4. කැබිලිත්ත
කුඹුක්කන් ඔය අසබඩ පිහිටා තිබෙන මෙම පුදබිම සැළකෙන්නේ කතරගම දෙවියන් ජීවමානව වැඩවසන තැනක් ලෙසයි. අතීතයේදී බැතිමතුන් අතළොස්සක් පමණ පිරිසක් දැන සිටි මේ පුදබිම අද වනවිට අතොරක් නැතිව වන්දනාවේ යෙදීමට උත්සාහ කරන සංචාරක නඩ නිසා යම්තාක් දුරකට තර්ජනයට ලක්ව තිබෙනවා. එසේම සාමාන්‍ය දේවාලයක් වන්දනාමාන කිරීමට වඩා සූදානම්වීමක් එනම් පේවීමක් මෙම දේවාලය වන්දනාමාන කරන්නන් විසින් කළ යුතු බවටද විශ්වාසයක් පවතිනවා.
5. නවගමුව පත්තිනි දේවාලය
සීනිගම දේවාලය හැර යාමෙන් පසුව පත්තිනි දෙවියන් නවගමුව සිය වාසස්ථානය ලෙස තෝරා ගත් බවත් එහි උන්වහන්සේ වෙනුවෙන් නවගමුව දේවාලය ඉදිකළ බවත් පුරාවෘත්තවල සඳහන් වනවා. එසේම මේ දේවාලයේ ඉදිකිරීම පළමු ගජබා රජු දවස දක්වා දිව යන බවද කියවෙනවා. වසංගත රෝග භය, දරුවන් ලැබීම, තමන්ට සිදු වූ අසාධාරණයක් සඳහා සාධාරණයක් බලාපොරොත්තු වීම ආදී විවිධ කාරණා මත පත්තිනි දෙවියන් වෙනුවෙන් බාරහාර වීමට ලංකාව දස දෙසින් පිරිස් මෙම දේවාලය වෙත ඇදී එනවා.
6. රන්වල දේවාලය
අවිස්සාවේල්ල ආසන්නයේ පිහිටා තිබෙන මෙම දේවාලය ඉදිකර තිබෙන්නේ ප්‍රාදේශීය දෙවියෙකු ලෙස සැළකෙන රන්වල දෙවියන් උදෙසායි. අතීතයේ ප්‍රදේශයේ බලවත්ව සිටි ජන දුකට පිහිට වූ රාජ්‍ය නිලධාරියෙකු මරණින් පසුව රන්වල දෙවියන් ලෙස ඇදහීමට ලක්වූ බව ජනකතාවල සඳහන් වනවා. මීට අමතරව උන්වහන්සේ දේවත්වයට පත්වීම පිළිබඳව තවත් ජනප්‍රවාද රැසක් අසන්නට ලැබෙනවා.කෙසේ නමුත් අද වන විට මෙම දේවාලය ඉදිරිපිටින් වැටී ඇති මාර්ගයේ ගමන් ගමන් ගන්නා ඕනෑම අයෙකු මෙම දේවාලය වෙත පැමිණ පඬුරු දමා යෑමට අමතක කරන්නේ නැහැ.
7. රත්නපුරේ මහ සමන් දේවාලය
බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනේදී සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි සමනළ පියසේදී ශ්‍රීපාද ලාංඡනය තබා ලූ බව වංශ කතාවල සඳහන් වෙනවා. එතැන් පටන් සෝවාන් ඵලයට පත්වූ සමන් දෙවියන් ලංකාවේ වන්දනාමානයට පාත්‍ර වන්නට පටන් ගත්තා. උන්වහන්සේ වෙනුවෙන් දිවයින පුරා කුඩා, අනුකුඩා දේවාලය රැසක් පිහිටා තිබෙන අතර ඒ අතරින් ප්‍රධාන ස්ථානය ගන්නේ රත්නපුරේ පිහිටි මහා සමන් දේවාලයයි. ශ්‍රීපාද සමය ඇරඹෙද්දී අදාළ පුද පූජා කටයුතුවලදී ද මහා සමන් දේවාලය ප්‍රධාන තැනක් හිමිකර ගන්නවා.
මේ ලැයිස්තුවට ඇතුළත් වූ දේවාලවලට අමතරව ඔබේ වන්දනාවට පාත්‍රවන තවත් දේවාල තියෙනවා නම් එම ස්ථාන පිළිබඳව කමෙන්ට් එකකින් අපිට කියන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply