මංගල සමරවීර : හොඳ සහ නර​ක

මංගල සමරවීර කොරෝනා රෝගය වැළඳී මිය යෑමත් සමඟ ඔහු පිළිබඳව ලියවිච්ච සටහන්වලින් සමාජ මාධ්‍ය ජාලා පිරී ගියා. සමහර අය තමන්ගේ දේශපාලන මතවාදවලට අනුව මංගල සමරවීර සුර දූතයෙක් විදිහට දකිද්දී අනිත් පාර්ශව දැක්කේ ඔහුව දැක්කේ යක්ෂයෙක් විදිහට. මේ නිසා අපි හිතුවා ඔහුගේ මරණය සමාජ මාධ්‍යජාලවලට අමතක වී යන මොහොතක ඔහු කරපු හොඳ සහ නරක තුලනාත්මකව විමසලා බලන්න. මේ ලිපිය කියවීමෙන් අනතුරුව ඔහු පිළිබඳව ඔබේ කියැවීමත් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න ඔබ අමතක කරන්න එපා.

 

1. මාතරට වැඩක් කළ මංගල

මංගල සමරවීර දේශපාලනඥයා තරම් මාතර දිස්ත්‍රික්කයට වැඩ කළ වෙනත් අයෙක් නැහැයි කිව්වොත් දිස්ත්‍රික්කය තුළ වාසය කරන මංගලගේ දේශපාලනයට විරුද්ධ අය වුවත් එකහෙළා ඊට එකඟ වේවි. ඔහු විසින් මාතර නගරය ක්‍රමානුකූල සැලැස්මක් අනුව ගොඩනැගූ අතර දිස්ත්‍රික්කය පුරා  සංවර්ධන සැලසුම් රාශියක් ක්‍රියාත්මක කළා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ගණනාවක් සලස්වලා දුන්නා.

 

 

2. නගර සංවර්ධනයේ මංගල

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ නාගරික සංවර්ධන අමාත්‍ය ධූරය දරමින් ඔහු කොළඹ නගරය බොහෝ දුරට විධිමත් ක්‍රමවේදයක් අනුව සංවර්ධනය කිරීමට අවංක උත්සාහයක් ගත්තා. අවිධිමත් ලෙස සකසා තිබූ ගොඩනැගිලි ඉවත් කරමින් කොළඹ නගරයේ තදබදය අඩු කිරීමට ඔහු සාධනීය වැඩ කොටසක් ඉෂ්ට කරනු ලැබුවා.

 

 

3. කලාවට ලැදි මංගල 

අනෙකුත් දේශපාලනඥයන්ට සාපේක්ෂව  නූතන කලාව පිළිබඳව ඔහු ඉතාමත් අවධානයෙන් සිටි පුද්ගලයෙක්. කාලයක් විදේශ රටක අධ්‍යාපනය ලැබීමත් ඊට එක හේතුවක් වෙන්න ඇති. විකල්ප කලා කණ්ඩායම්වලට ඔහුගෙන් ලැබුණේ සුවිශාල අනුග්‍රහයක් . විශේෂයෙන්ම X කණ්ඩායම වැනි අය සඳහා ඔහුගේ විශාල ලැදියාවක් තිබුණා.

 

 

4. ජඩ මාධ්‍යකරණයේ මංගල 

ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය පාදඩකරණය කිරීමේ විශාල වැඩ කොටසක් මංගල සමරවීර විසින් ඉෂ්ට කළා. ඔහු යටතේ රාජ්‍ය මාධ්‍ය අශික්ෂිත ලෙස එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් වෙනුවෙන් ඔහු භාවිතා කළා. ඒ වගේම නිදහස් මාධ්‍යවේදීන් මර්දනය කිරිමේ කටයුතුත් ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ සිද්ධ වුණා කියන එක අද බොහෝ දෙනෙක්ට අමතකව ගිය කාරණයක්. හැබැයි ඒ වගේම ලංකාවේ දුරකතන සමාගම් සේවා පුළුල් කරලා ජනතාව අතර සන්නිවේදනය පහසු කිරීමේ ගෞරවයත් ඔහුට හිමි වෙන්න ඕන. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ගේ සුභසාධනය සඳහාත් ඔහු  සැළකිය යුතු වැඩ කොටසක් ඉෂ්ට කළා.

 

 

5. මැර දේශපාලනයේ මංගල 

මංගල සමරවීර ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් හිතාමතා වයඹ පළාත් සභා මැතිවරණය අමතක කර දමනවා. අවාසනාවකට වගේ ඒ කාලයේ සමාජ මාධ්‍ය තිබුණේ නැති හින්දා මේ ගැන හරි කතිකාවතක් ලංකාවේ ඇති වුණේ නැහැ. හැබැයි සමාජ මාධ්‍ය තිබුණු කාලයක තමයි මංගලගේ කුරුඳු පොලු හමුදාව තිබ්බේ කියන එකත් අමතක කරන්න අවශ්‍ය නෑ. ඒ වගේම ඇතැම් අවස්ථාවල දේශපාලනඥයන්ගේ පාදඩ ක්‍රියා සාධාරණීකරණය කිරීමට මංගල සමරවීර නිර්ලජ්ජිතව පෙනී සිටියා. කලකට ඉහත එස්. බී. දිසානායක සහ සුසන්තිකා ජයසිංහ අතර ඇතිවූ සිදුවීමේදීත් තම දේශපාලන සගයා වන එස්. බී. ආරක්ෂා කිරීම සඳහා මංගල සමරවීර ක්‍රියා කළේ ඉතා පහත් ආකාරයටයි.

 

 

6. ජාතිවාදයට විරුද්ධ වූ මංගල 

මංගල සමරවීර ඕනෑම ආකාරයක ජාතිවාදයට විරුද්ධ වූ අයෙක්. ඒ බව ප්‍රසිද්ධ කාරණයක්. මේ නිසාම ඔහු සිංහල ජාතිවාදීන්ගේ දැඩි විරෝධයට පාත්‍ර වුණා. නමුත් ඔහුගේ දේශපාලනය රැඳී තිබුණේ ජාතිවාදයට එහා ගිය කුලවාදයක පදනමින් කියන එක කතා කිරීම බොහෝ දෙනෙකු මග අරිනවා. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය ලබා ගැනීමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වැනි සංවිධාන නිර්මාණය කිරීමේදී  මංගල ලබාදුන් දායකත්වය පිළිබඳවත් බොහෝ දෙනෙක්ට අමතකව ගිහින් තිබෙනවා.

 

 

7. නිදහස් මංගල 

බොහෝ දෙනෙක් මංගලව අගය කරන තව හේතුවක් වෙන්නේ ඔහු ගත කළ නිදහස් ජීවිතයයි. විශේෂයෙන්ම ඔහු තමන්ගේ ලිංගික නැඹුරුතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ පෙනී සිටියා. එය අගය කළ යුතු කාරණයක්. නමුත් මංගල සමරවීර එවැනි ලිංගික නැමියාවන් සහිත  ලංකාවේ ජන ප්‍රජාව වෙනුවෙන් කරන ලද්දේ කුමක් ද යන්න පිළිබඳව නැවතත් සිතා බැලිය යුතුයි. ආණ්ඩු කිහිපයක ප්‍රබල අමාත්‍යධුර දැරුවත් ඔහු ඒ වෙනුවෙන් කළේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් පමණයි.

 

එහෙමනම් ආරම්භයේදීම කිව්වා වගේ  මංගල සමරවීර ගැන ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එතැනදී අපි මේ ලියලා තියන අදහස් විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඔබට තියෙනවා. ඒ වගේම මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *