දැන් ඔය අපේ ඇටිටියුඩ් එක (Attitude) තියෙනවනේ. ඒ කියන්නේ පොදුවේ අපේ චෛතසික ස්වභාවය කියන්න පුළුවන්. පොදුවේ අපේ තියෙන ආකල්පය කියන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය Attitude එක හොඳ විදියට තියෙන එක අපේ ජීවිතේට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ කියන්නේ හොඳ Attitude එකක් තියෙනවා නම්, අපිත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු වුණත් අපි දිහා සුභවාදීව තමයි බලන්නේ. හැබැයි Attitude එක නරක් වෙනකොට, අපිත් එක්ක ගැටෙන මිනිස්සු අපි දිහා බලන විදියත් අප්සට්. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිතේ කරන කියන දේවල් වුණත් අපේ Attitude එකත් එක්ක හොඳ පැත්තට හරි නරක පැත්තට හරි හැරෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි හැම කෙනෙක්ම අපේ පොදු මනෝභාවය, ආකල්පය සුභවාදීව වර්ධනය කරගන්න අවශ්‍ය. අන්න ඒක කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ.
1. උදෙන්ම අවදි වෙන්න
උදෑසන අවදි වන්නාට දවස දිගය කියලා කිව්වෙ කවුද කියන්න දන්නෙ නැහැ. හැබැයි වැඩේ සහතික ඇත්ත. අඩු ගාණේ උදේ හත අට වෙනකල් නිදාගන්නේ නැතුව, කලින් දවසේ කලින් නිදාගෙන අද දවසේ පාන්දරින්ම අවදි වෙන්න පුළුවන් නම්, අපිට පුද්ගලික රාජකාරි ටික ඉවර කරගෙන, හරිම නැවුම් හැඟීමකින් දවස පටන් ගන්න පුළුවන්. ඒක හරිම ප්‍රසන්න හැඟීමක්. ඒ වගේම, උදෙන්ම නැගිටලා කලින් වැඩ පටන් අරගෙන කරගෙන යනකොට දැනෙයි දවස බොහොම හෙමිහිට ගෙවීගෙන යන්නෙ කියලා. අපිට කරන්න ඕන වැඩ ටික දවස ඇතුළේ ඉවර කරගන්න පුළුවන් කියලා. එහෙම වැඩ ඉවර කරගෙන තමන්ට නිදහසේ ඉන්නත් වෙලාව වෙන් කරගන්න පුළුවන් කියලා එහෙම උදේම වැඩ පටන් ගත්තහම දැනෙයි. මේක නිකම්ම හිතළුවක් නෙවෙයි, ප්‍රායෝගික ඇත්තක්. ඊයේ අවදි වුණු වෙලාවට වඩා පැයක් කලින් නැගිටලා බලන්න. වෙනස ඇස් පනාපිට දැනෙයි. අන්න එතකොට තමන්ගේ පොසිටිව් ඇටිටියුඩ් එක පවා දියුණු වෙනවා කියන එක දැනෙන්න පටන් ගනීවි.
2. අනෙක් අයගේ සීමාවන්ට සමාව දෙන්න
අපි හිතමු අපි හොඳ වර්ක් එතික්ස් එක්ක, මහන්සි වෙලා වැඩ කරනවා කියලා. එතකොට අපිට යමක් ඉක්මනට තේරුම් ගන්න පුළුවන් හැකියාවත් වර්ධනය කරගෙන තියෙනවා කියලා. හැබැයි අපිට වැඩ කරන්න වෙන්නේ අනික් මිනිස්සු එක්කනේ. අන්න එතකොට අනික් අය කරන වැරදි වලට අපිට තද වෙනවා. සමහරුන්ට කොච්චර කියලා දුන්නත් එකම වැරැද්ද ආයෙත් කරනවා. සමහරු හරිම සරල දෙයක් වුණත් වරද්දනවා. ආන්න එතකොට අපි අපේ Attitude එක හදාගන්න ඕන අනික් අයගේ ඒ සීමාවන් වලට සමාව දෙන්න. හැමෝම මිනිස්සුනේ. හැමෝටම වරදිනවා. එතනදී අපි ප්‍රොෆෙෂනල් ඇටිටියුඩ් හදාගන්න ආටිකල් එකෙත් කියපු විදියට වැරදිකාරයාව හොයන්නෙ නැතුව වැරැද්ද හෙවුවහම හරි. හැබැයි අපිට අනික් අයත් එක්ක කේන්ති අරගෙන දඟලන්නෙ නැතුව ඉන්න පුළුවන් නම්, අපි නොදැනුවත්වම අපේ Attitude එකත් හොඳ පැත්තට වර්ධනය වේවි.
3. අරමුණක් ඇතුව වැඩ කරන්න
අපේ ජීවිත වලට අරමුණක් තියෙන්න ඕන. පහළින් කියලා තියෙන විදියට අපි වර්තමානයේ තමයි ජීවත් වෙන්න ඕන. හැබැයි එහෙම වුණත්, තමන්ගේ ජීවන අරමුණක් තියෙන්න ඕන. ආන්න එතකොට ඒ අරමුණත් එක්ක තමන්ගේ ජීවන ආකල්පයත් හරියට නිර්මාණය වෙනවා. ඒකත් එක්ක එතකොට තමන්ගේ හර පද්ධතියක් හැදෙනවා. ඒකත් එක්ක තමන් කරන කියන කටයුතුත් හොඳ විදියට පෙළ ගැහෙනවා.
මේ ජීවන අරමුණ කියන්නේ තමන්ට කරන්න ඕන දේවල්. උදාහරණයක් විදියට අපිට ලෝකේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. ඒක හොඳ ජීවන අරමුණක්. හැබැයි ඒ විතරක් මදි, එතනදී අපිට පරාර්ථකාමී ජීවන අරමුණක් තියෙන්නත් ඕන. ඒක ලෝකෙට යහපත් දෙයක් කරනවා කියන එක වෙන්න පුළුවන්. ආන්න එතකොට ඔය ජීවන අරමුණු දෙකම එකට ගත්තහම, ලෝකෙටත් වැඩදායී, තමනුත් දියුණු වෙන හොඳ Attitude එකක් තමයි නිර්මාණය වෙන්නේ.
4. ඇක්ෂන් එකක් ගන්න, ඊට පස්සෙ ඒක අමතක කරන්න
අපිට හොඳ Attitude එකක් නිර්මාණය කරගන්න නම්, අපි කරන කියන දේවල් ගැන හිත හිතා, ලතැවි ලතැවී නොඉන්න හැකියාවක් තියෙන්න ඕන. ආන්න ඒ නිසා, යමක් කරන්න කලින් හොඳට හිතලා බලන්න. හැබැයි දෙයක් කරන්නේ නැතුව සදාකල් හිත හිතා ඉඳලා හරියන්නෙත් නෑ කියලා මතක තියාගන්න ඕන. මෙහෙම හිතලා බලලා ඇක්ෂන් එකක් ගත්තට පස්සේ කරන්න ඕන දේ වෙන්නේ, ඒක එතනින් එහාට අත්හරින එක. ඒ කියන්නේ අපි එතනින් එහාට අපි ඒ ගත්තු ඇක්ෂන් එක ගැන හිතන්නෙත් නෑ. ඒ ඇක්ෂන් එකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හිතන්නෙත් නෑ. අඩු තරමින් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න උත්සාහ ගන්නෙවත් නෑ. කරන්න ඕන දේ කළා, අමතක කරලා දැම්මා. වෙන දෙයක් එතනින් එහාට වෙයි. ඇත්තටම අපි යම් දෙයක් කළාට පස්සේ ඒක ගැන හිතලා ඵලක් නැහැනේ. ප්‍රතිඵලය ආවට පස්සේ ඊලඟට අවශ්‍ය ඇක්ෂන් එක ගන්න පුළුවන්. හරියට විභාගේ පේපර් එක ලිව්වට පස්සේ ඒක එතනින් අමතක කරලා අනික් පේපරේට ගන්න ඇක්ෂන් එක ගැන හිත යොදවනවා වගේම තමයි!
5. සංසන්දනය නොකරන්න
අපි සෑහෙන්න පොසිටිව් තින්කින්ග් වල, ලයිෆ් කෝචින් වල දකින කාරණයක් තමයි මේ තමන්ව අනෙක් අය එක්ක, තමන්ගේ තත්ත්වය අනික් අයගේ තත්ත්වයන් එක්ක සංසන්දනය නොකිරීම කියන එක. මෙතනදී ඇත්තටම තියෙන රහසක් තමයි, අපි අනික් අය එක්ක අපිව සංසන්දනය නොකරනකොට හරිම සාමකාමීව, හිත නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තවත් රහසක් තමයි, අපි අනික් අය එක්ක අපිව සංසන්දනය නොකරනකොට අපේ වැඩ වඩාත් සාර්ථක කරගන්න පුළුවන් කියන එක. එතකොට අපි අනික් අය දිහා බලාගෙන, ඒ අයගේ තත්ත්වයට එන්න නෙවෙයි වැඩ කරන්නේ. ආන්න ඒක අත්‍යාවශ්‍යයි. හිතන්න, අපි අපේ අරමුණු හදාගන්නවා. ඒ අරමුණු හදාගැනීමෙදී පවා අපි තවත් කෙනෙක් එක්ක අපිව සංසන්දනය කරන්නෙ නෑ. ඊට පස්සේ අන්න ඒ අරමුණු වලට යන්න යක්ෂ වේගෙකින් වැඩ කරනවා. අනික් අය තමන්ගේ අරමුණු වලට යන්නේ කොහොමද කියන එක බල බලා ඉන්නෙ නෑ. ආන්න එතකොට එක දවසකදී තමන් තමන්ට යන්න ඕන තැනට ගිහින් තියේවි. එතනදී අනික් අය ඉන්නේ කොතනද කියන එකවත් අදාළම නෑ!
6. කෘතඥ වෙන්න
මෙන්න මේක, මනුස්සයෙක්ගේ ජීවිතේට තිබිය යුතුම ගුණාංගයක්. තමන්ට ලැබෙන හැම දේකටම කෘතඥ වෙන එක. උදේට අවදි වුණහම, අද දවසේ තමන් ජීවත් වෙන එක ගැන කෘතඥ වුණොත්, අපිට දවසම හොඳ ආකල්පයකින් ගත කරන්න පුළුවන්. අනික් මිනිස්සුත් එක්ක බලනකොට අපිට හොඳ ජීවිතයක් තියෙන එක ගැන කෘතඥ වුණොත්, අපිට හැම පොඩි දෙයක් ගැනම හරි තමන්ට නැති දේවල් ගැන හරි කංකෙඳිරි ගාන්නෙ නැතුව ජීවිතේ ගෙනියන්න පුළුවන්. අපිට ආදරේ කරන්න එක්කෙනෙක් හරි ඉන්නවා නම්, ඒ ඉන්න අය ගැන කෘතඥ වුණොත්, අපිට ඒ ආදරේ කරන අයට තව තවත් ආදරේ කරන්න පුළුවන්.
මෙතනදී හැබැයි එකක් සිහියේ තියාගන්න ඕන. කෘතඥ වෙනවා කියන්නේ වැරැද්දක් වුණත් ගණන් නොගෙන ජීවත් වීම නෙවෙයි. උදාහරණයක් විදියට තමන් බඩු ගන්න පෝලිමේ ඉන්නකොට තමන්ට ඉස්සරහින් මිනිස්සු පෝලිම පැනලා එකතු වෙනකොට, අනේ ඉතින් අඩු තරමේ මට ඉන්න පෝලිමක් හරි තියෙනවනෙ කියලා ඒකට කෘතඥ වෙලා සද්ද නැතුව ඉන්න එක නෙවෙයි. මෙන්න මේ වෙනස අඳුනාගන්නත් ඕන.
7. වර්තමානයේ ජීවත් වෙන්න
මේක කියවන මොහොත වෙනකොටත් අපේ ඔළුවේ දහසකුත් එකක් දේවල් තියෙන්න පුළුවන්. ඉවර කරන්න තියෙන වැඩ, දරුවා ලොකු වුණහම මොන ඉස්කෝලෙටද දාන්න ඕන කියන එක, වයස යනකොට තමන්ට මොනවා වෙයිද කියන එඅ වගේ දහසකුත් එකක් ජාති අපේ ඔළුවේ කරකැවෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට වර්තමානයේ ජීවත් වෙන ආට් එක ප්‍රගුණ කරගන්න පුළුවන් නම්, ආන්න එහෙම ඔළුව යකාගේ කම්මල වගේ වෙන්නෙ නැතුව, බොහොම සාමකාමීව තියාගන්න පුළුවන්. ඒ වගේම හැමවෙලේම ජීවිතේට මුහුණ දෙන්න කලබලයෙන් දඩිබිඩියෙන් දුවන්නෙ නැතුව බොහොම කල්පනාවෙන් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන්.
අපි කරන්න ඕන අද දවසේ කරන්න අවශ්‍ය දේවල් හිතන එක. ඒවා හෙටට කල්දමා පසුතැවිලි නොවීමත් ඊටම ඇතුළත්. අපිට අනාගත සැලසුම් තියෙන්න ඕන. හැබැයි ඒවා ගැනම හිත හිතා ඉන්න එක තේරුමක් නෑ. සැලසුම් හැදුවා, ඊට පස්සේ ඒ සැලසුම් වලට අනුව වැඩ කරන හැටි සැලසුම් කළා. එච්චරයි. ඇත්තටම අපි වර්තමානයේ ජීවත් වෙනකොට, අපි හිතනවට වඩා වැඩ කොටසක් දවසක් ඇතුළේ කරගන්න පුළුවන් වෙනවා කියලා දැනෙනවට සැකයක් නෑ!
ඇත්තටම අපි මේ Attitude ගැන, නැතිනම් පොදුවේ මනුස්සයෙක්ගේ තියෙන ආකල්පය ගැන කලින් කතා කරලා තියෙනවා. ආකල්ප වලින් පරිණත වෙන්නේ කොහොමද, ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ හොඳ ආකල්ප එක්ක ඉහළට යන්නේ කොහොමද කියන ආටිකල් වල. අන්න ඒවත් කියවලා ආවනම්, Attitude කතාව සම්පූර්ණයි!
Leave a Reply