කොවිඩ්-19 වැක්සීන් ගැන ලෝකේ තියෙන නොයෙක් මිත්‍යා මත!

අපි මීට අවුරුදු දෙකකට කලින් කොවිඩ්-19 කියලා එකක් තියා, කොරෝනා කියලා එකක් වත් අහලා තිබුණෙ නැහැනේ. හැබැයි දැන් වෙනකොට බහ තෝරන පොඩි එවුනුත් අම්මා කියන්න කලින් කොරෝනා කියන තත්ත්වයක් තමයි තියෙන්නේ!

හරි, ඔන්න අපි දැන් කොරෝනා ගැන දන්නවා. මොකද්ද කොරෝනා කියලා වෛරස් එකක් තියේය, ඒක චීනේ වූහාන් වලින් පටන් අරගෙන ලෝකෙ පුරාම පැතිරිලා, දැන් ගෝලීය වසංගතයක් ඇතිවෙලා තියේය, අපි හැමෝම ෆේස් මාස්ක් දාගෙන මීටරෙන් ඉන්ඩෝනෙය, කොරෝනා එකට ඇවිත් තියෙන වැක්සීන් එකත් ගහගන්න ඕනෙය කියලා සෑහෙන්න දෙනෙක් දන්නවා. හැබැයි ඉතින් ඔය අවුඅස්සේම කොරෝනා ගැන මිත්‍යා කතන්දර එහෙමත් සෑහෙන්න ලෝකේ පැතිරෙනවා. ඒ විතරක් නං මදැයි, කොවිඩ්-19 සඳහා ලෝකේ හඳුන්වලා දීලා තියෙන වැක්සීන් ගැන එහෙමත් සෑහෙන්න මිත්‍යා මත පැතිරෙනවා. මේ කොවිඩ්-19 වැක්සීන් ගැන මිත්‍යා මත පැතිරෙන එකේ අවදානම මේකයි. ඒ මිත්‍යා මත නිසා මිනිස්සු වැක්සීන් එක ගන්න බය වුණොත්, මේ වසංගත තත්ත්වය පාලනය කරන්න අපහසු වෙනවා. ඔන්න ඕක තමයි තත්ත්වේ.

ආන්න ඒ නිසා අපි හිතුවා, කොවිඩ්-19 ගැන තියෙන මිත්‍යා මත කිහිපයකම ඇත්ත නැත්ත පහදලා දෙන්න.

 

1. අම්මෝ වඳ වෙනවා!

ඔන්න දැන් කොවිඩ්-19 වැක්සීන් එක ගන්නවනේ. එතකොට ඒ වැක්සීන් එකේ තියෙනවලු යම් කිසි ප්‍රෝටීන. අන්න ඒ ප්‍රෝටීන වලින් බුදු අම්මෝ වෙන සීන් එකක් වෙනවලු. ඒ තමයි, කාන්තාවන්ගේ සරු භාවයට තර්ජනයක් එල්ල වෙනවලු. මොකද, ඒ ප්‍රෝටීන, ශරීරයේ වැදෑමහ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන ප්‍රෝටීන වලට සමානයිලු. අන්න එතකොට ඒ ප්‍රෝටීන ශරීරයට ඇතුළු වුණාට පස්සේ, ඒ ප්‍රෝටීන වලට ශරීරය ප්‍රතික්‍රියා දක්වන්න පටන් අරගන්නවලු. එතකොට සිද්ධ වෙන්නේ ශරීරය වැදෑමහට ප්‍රහාර එල්ල කරන්න ආරම්භ කරන එකලු. හැබැයි මේක තනි බොරුවක් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. කොවිඩ්-19 එන්නතේ තියෙන ප්‍රෝටීන් ඔය කියන වැදෑමහ වර්ධනයට උපකාරී වෙන ප්‍රෝටීන් වලට යම් තාක් දුරකට සමාන වුණත්, ඒකෙන් වෙන කිසිම කතන්දරයක් නොකියවෙන බව තමයි ඒ අය කියන්නේ. ඒ කියන්නේ සොබාදහමේ තියෙන ප්‍රෝටීන් විශාල ප්‍රමාණය අතරේ යම් යම් ප්‍රෝටීන් වල යම් යම් සමානකම් තියෙනවා වුණාට, ඒකෙන් කිසිම දෙයක් අදහස් වෙන්නෙ නෑ කියන එක. අනික, කොහොමත්, මිනිස් ශරීරය ව්‍යාකූල කරන්න එන්නතේ අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන බව. 

 

2. ඩීඑන්ඒ වෙනස් කරයිද?

කොවිඩ්-19 වැක්සීන් වලින් අපේ ජාන වෙනස් කරලා, විකෘති කිරීම් කරලා පිස්සු විකාරයක් කරනවා කියන එක ඔය වැක්සීන් කොන්ස්පිරසි තියරි කාරයෝ කියන කතන්දරයක්නේ. හැබැයි මෙහෙම කොවිඩ්-19 වැක්සීන් එකෙන් අපේ ඩීඑන්ඒ වෙනස් කරනවා කියන්න කොන්ස්පිරසි තියරි කට්ටිය භාවිතා කරන තර්කයක් තියෙනවා. ඒ තමයි සමහර කොවිඩ්-19 වැක්සීන් වල mRNA තියෙනවාය, ඒවෑයින් ඔය ඩීඑන්ඒ වෙනස් වෙන සීන් එක ඇතිවෙනවාය කියන එක. හැබැයි ඇත්ත මේකයි. mRNA අපේ ඇඟේ තියෙනෙ DNA සම්බන්ධයෙන් කිසිම දෙයක් කරන්නෙ නෑ. mRNA තියෙන වැක්සීන් ක්‍රියා කරන්නේ සෛල වල සයිටොප්ලාස්මය එක්ක විතරයි. කිසිම මොහොතක සෛලයක න්‍යෂ්ටියට ඇතුළත් වෙන්නෙ නෑ. ඉතින් ඔය ජාන දත්ත තියෙන ඩීඑන්ඒ තියෙන්නේ සෛලයේ න්‍යෂ්ටියේනේ. එහෙමනම් ඉතින් බය වෙන්න දේකුත් නෑනේ!

අනිත් එක, එහෙම සෛලයේ සයිටොප්ලාස්මය ඇතුළේ ක්‍රියාත්මක වෙන mRNA පණිවුඩකාරයා අවශ්‍ය පණිවිඩේ දීලා ඉතාම ඉක්මනට බිඳවැටෙනවා.

 

3. මයික්‍රො චිප් එකක් දාන්නේ!

මේක ඉතින් ඔය කොන්ස්පිරසි තියරි කාරයන්ගේ මනෝ විකාරයක් කියලා කෙලින්ම කියන්න පුළුවන්. “එන්නත ලබා දෙන්නේ අපව ජානමය වශයෙන් නවීකරණය කරන ලද ජීවීන් බවට පත් කිරීමට සහ අප සියල්ලන්ම කෘත්‍රිම බුද්ධියකට සම්බන්ධ කිරීම සඳහායි” කියලා එක මනුස්සයෙක් කරපු වීඩියෝ එකක් එක්ක තමයි මේ අදහස වසංගතයක වේගයෙන්ම පැතිරෙන්නේ. හැබැයි ඉතින් ඔය කිසිම වැක්සීන් එකක එහෙම මයික්‍රො චිප් හෝ වෙනත් කිසිම අපේ හැසිරීම් හෝ මනෝභාවයන් හෝ වෙනත් කිසිම දෙයක් වෙනස් කරන දෙයක් ඇතුළත් කරලා තියෙනවා කියල කිසිම සාක්ෂියක්, සාධකයක් නෑ. අනික, අපි ඉන්න තැන් හොයාගන්න පුළුවන් විදියේ චිප් හරි මොනවා හරි දේවල් වැක්සීන් එකෙන් අපේ ඇඟට දානවා කියලත් කිසිම සාක්ෂියක් නෑ.

වැදගත්ම දේ, ඔය විදියේ චිප් හරි වෙන මොනවා හරි දේවල් හරි අපේ ඇඟට වැක්සීන් එකක් ඔස්සේ ඇතුළත් කරලා, අපි හැමෝම කෘත්‍රිම බුද්ධියකට සම්බන්ධ කරන්න පුළුවන් විදියේ ටෙක්නොලොජි එකකුත් මේ මිහිපිට නැහැ කියලත් විද්‍යාඥයෝ කියනවා.

 

4. වැක්සීන් කියලා කොරෝනා හදවනවා!

මේ කතන්දරේ සෑහෙන්න ආවේ ලංකාවේ සිනෝෆාර්ම් ගහන්න පටන් ගත්තට පස්සේ. අක්‍රීය කරපු සාර්ස්-කොව්-2 වෛරසය මේ වැක්සීන් එකේ අඩංගු වෙනවා කිව්වට පස්සේ, ඔය කුමන්ත්‍රණ කතන්දර කියන කට්ටිය කියන්න පටන් ගත්තා, නිරෝගී අයටත් මේ වැක්සීන් එක ගහලා කොරෝනා හදවන ව්‍යාපෘතියක් තමයි මේක කියලා. විශේෂයෙන්ම වෛරස් එක ගත්තු අයගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය පටන් ගන්නකොට, ශරීරය ඒක පෙන්නන්නේ උණක්, හිසරදයක් වගේ ලක්ෂණ එක්ක වීමත් මේ අදහස පතුරුවන්න රුකුල් දුන්නා.

හැබැයි කතන්දරේ මෙහෙමයි. එහෙම සාර්ස්-කොව්-2 වෛරසය අඩංගු වෙන වැක්සීන් තියෙනවා තමයි. හැබැයි ඒ වෛරසයන් සජීවී සාමාන්‍ය වෛරස් නෙවෙයි. අක්‍රිය කරන ලද නැතිනම් අතිශයින්ම දුර්වල කරන ලද වෛරස් තමයි ඒ විදියට ශරීරයට ඇතුළු වෙන්නේ. ඒ වෛරස් එකට කරන්න පුළුවන් කොවිඩ්-19 වලට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගන්වන්න විතරයි. අඩු තරමින් මේ වැක්සීන් එකෙන් කොරෝනා හදන්න බෑ!

 

5. වැක්සීන් ගත්තහම මැරෙන්න පුළුවන්!

වැක්සීන් වල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් ඔය සයිඩ් ඉෆෙක්ට්ස් අඩුවෙන්ම ආපු සයිනොෆාම් ගත්ත සමහර අයටත් උණ, හිසරදේ, මස්පිඬු වේදනාව එහෙම හැදුනනේ. ඉතින් ඇස්‍ට්‍රාසෙනෙකා වලට එහෙම ඊටත් වඩා ටිකක් අමාරු වෙනවා සමහරුන්ට. හැබැයි ඔය එක වැක්සීන් එකකින්වත් ගත්ත අය මැරි මැරී යනවා කියලා කියන්න බැහැ. ඇත්ත කතාව තමයි, මේ ලෝකේ තියෙන ඕනම වැක්සීන් එකක මරණ ප්‍රතිශතයක් තියෙනවා. දැන් ඔය බහුතරේකට කිසිම හානියක් නැති රටකජු වගේ දේවල් ඇලජි වෙලාත් මිනිස්සු මැරෙන්නේ. ඒවා එහෙම තමයි.

එහෙම බලනකොට මේ කොවිඩ්-19 වැක්සීන් ගැහුව ගමන් ලේ කැටි ගැහිලා මැරෙනවා කියලා එකක් නෑ. මැරෙන්න පුළුවන්, හැබැයි ඒක ඉතාමත්ම සුළු ප්‍රතිශතයකින් වෙන්න පුළුවන්   

 

6. වැක්සීන් ගත්තොත් ආයෙ කොරෝනා හැදෙන්නෑ!

එහෙම කියන්න කිසිම වෛද්‍ය පරීක්ෂණයක් සමර්ථ වෙලා නෑ මේ වෙනකල්. මේ වෙනකොට ලෝකේ භාවිතා වෙමින් තියෙන කොවිඩ්-19 වැක්සීන් හැම එකක්ම, ඒක ගන්න කෙනා කොවිඩ්-19 නිසා බරපතල විදියට රෝගී වෙන එකෙන් වළක්වනවා. සමහර විට ඒ කොවිඩ්-19 වැක්සීන් එකකින් ආසාදිතයෙක් තව කෙනෙක්ට කොවිඩ්-19 හදන සාර්ස්-කොව්-2 වෛරසය ලබාදෙන රේට් එකත් අඩුවෙන්න පුළුවන්. හැබැයි කිසිම විද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙලා නෑ, මේ එක වැක්සීන් එකක්වත් ආයෙ කවදාවත් කොරෝනා නොහැදෙන බවට සහතිකයක් ලබාදෙනවා කියලා. ඔය එක එක පැණි වලින් නම් කියනවා එව්වා බීලා මස් මාළු නොකා, කිළි අහු නොවී හිටියොත් ආයෙ කොවිඩ්-19 හැදෙන්නෙ නෑ කියලා. හැබැයි ඉතින් කොවිඩ්-19 වැක්සීන් වලින් කරන්නේ බරපතල රෝග ලක්ෂණ මතුවීම වළක්වන එක තමයි. අන්න ඒ නිසා, වැක්සීන් ගත්තට පස්සේ මාස්ක් නොදා, මීටරේ දුර නැතුව ඉඳලා හරියන්නෙ නෑ.

 

7. කොවිඩ් හැදුණු අයට වැක්සීන් ගත්තොත් කේස්!

ඇත්තටම වැක්සීන් ගත්තෙ නැති, කොවිඩ් හැදුණු කෙනෙක්ට වුණත්, සුව වෙලා දවස් 90 කට පස්සේ වැක්සීන් එක ගන්න කියලා තමයි විද්‍යාඥයො කියන්නේ. ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානයෙන් (CDC) කියන්නේත් ඒකම තමයි. ඇත්තටම කොවිඩ් හැදුණු කෙනෙක්ට වැක්සීන් එක උඩ කියලා තියෙන විදියේ කාලයකට පස්සේ ගත්තා කියලා කිසිම ගැටළුවක් එන්නේ නෑ. වැක්සීන් එක ගන්න වෙනත් සාමාන්‍ය මනුස්සයෙක්ට නොඑන විදියේ අතුරු ආබාධ එන්නෙත් නෑ.

 

අනික් කාරණාව, කොවිඩ් හැදුණු කෙනෙක්ට කොවිඩ්19 වැක්සීන් එක ගන්න අවශ්‍ය නැහැ කියලත් මිත්‍යා මතයක් තියෙනවා. ඒකට හේතුවක් විදියට කියන්නේ, කොවිඩ්19 හැදිලා හොඳ වුණු කෙනෙක්ගේ ඇඟේ ස්වභාවිකවම ප්‍රතිශක්තියක් ඇතිවෙනවා කියන කාරණාව. ඒක ඇත්ත. හැබැයි කොවිඩ්-19 සඳහා නිර්මාණය වෙන ඒ ස්වභාවික ප්‍රතිශක්තිය කොයි තරම් කාලයක් අපිව ආරක්ෂා කරනවද කියන එක කියන්න බෑ. සදාකල් ඒ ස්වභාවික ප්‍රතිශක්තිය පවතින්නේ නැහැයි කියන එක තමයි විද්‍යාඥයෝ දැනට කියන්නේ. ඉතින් එතකොට කොවිඩ් එක පාරක් හැදුණු කෙනෙක්ට වුණත් ආයෙමත් හැදෙන්නත් පුළුවන්. ආන්න එතකොට, වැක්සීන් එක අරගෙන තිබුණොත්, දෙවෙනි පාර හැදුණොත් තත්ත්වය බරපතල වෙන එක නවත්තගන්න පුළුවන් වෙයි.

 

දැන් පැහැදිලි වෙන්න ඕන, මේ කොවිඩ්-19 වැක්සීන් නිසා ඔය උඩ කියපු විදියේ ගිනිවිජ්ජුම්බර සිද්ධ වෙන්න විදියක් නෑය කියන එක. තමන්ට ඔය ඇලජි තත්ත්වයන් එහෙම තියෙනවා නං, ඒ බව කියලා වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ වැක්සීන් එක ගන්න පුළුවන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *