තමන්ගේ දියුණුව තමන්ටම කරගන්න උදවු වෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කීපයක්!

දැන් ගොඩක් මිනිස්සු ගත්තහම ඇත්තටම කරන්නේ ඔහේ ජීවත් වෙන එකනේ. හා නැද්ද? ඉතාම සීමිත පිරිසක් තමයි හිතන්නේ තමන්ව ගොඩනගා ගන්න එක, වර්ධනය කරගන්න එක, දියුණුවක් ඇති කරගන්න එක ගැන. දැන් එහෙම හිතුවට ඒක කරන්නත් එපැයි. ඒකට එක්කෝ ඒ සඳහාම ඉන්න උපදේශකයෙක් ගාවට යන්න පුළුවන්. ඔය ලයිෆ් කෝච්ලා කියලා කියන්නේ අන්න ඒ අයට. එහෙම නැතිනම්, අපිට පුළුවන් අපි විසින්ම අපේ වැඩි වර්ධනය, ගොඩනැගීම, දියුණුව සිද්ධ කරගන්න. ඇත්තටම ඒකට තමයි self help කියලා කියන්නේ. හැබැයි ඉතින් ඕක නිකම්ම හිතුවා, කළා ටයිප් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකටත් අපිට පිටින් යම් කිසි උදවුවක් ඕන. ඒ කියන්නේ අඩු ගාණේ ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් භාවයක් ඕන. ආන්න ඒ දැනුවත් භාවය ලබාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් එහෙමත් දැන් තියෙනවා. ඉතින් අපි ඒ ඇප් එකක් දෙකක් දාගෙන බලමුද, කොහොමද තමන් විසින්ම තමන්ව ගොඩනගන්නේ කියලා?

 

1. Coach.me

සමහර වෙලාවට අපිට අපිව ගොඩනගාගන්න, අපේ ඉලක්ක වලට යන්න අපිටම පුහුණුවක් ලබාදෙන්න තනියෙන් බැහැ. ඒකට කෝච් කෙනෙක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ කෝච් කෙනෙක්ගේ සහාය ලබාදෙන්න පුළුවන් ඇප් එකක් තමයි Coach.me කියන්නේ. මේ ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතේට හොඳ පුරුදු නිර්මාණය කරගන්න සහ කළමනාකරණය කරගන්න අවශ්‍ය මෙවලම් ලබාදෙනවා. අපිට අපේ තියෙන පුරුදු ට්‍රැක් කරමින්, ඒවායින් හොඳ ප්‍රතිඵලයක් ජීවිතේට ලබාගන්න පුළුවන් විදියට ඒවා හැඩගස්වා ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. අවශ්‍ය නම්, අපිට තනියෙන්ම වැඩේ ගොඩදාන්න බැහැයි කියලා හිතෙනවා නම්, Coach.me එකත් එක්ක එකතුවෙලා ඉන්න ප්‍රජාවගෙන් උදවු ලබාගන්නත් ඇප් එක තුළින්ම පුළුවන්. මේ ඇප් එක ඇත්තටම මිනිස් හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

 

2. Remente

තමන්ගේ ඉලක්කයන්ට, අරමුණු වලට යන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒකට හොඳ සංවිධානාත්මක බවක්, අවධානයක් සහ ඵලදායීත්වයක් ඕන. අන්න ඒකට උදවු කරන ජනප්‍රිය ඇප් එකක් තමයි මේ Remente කියන්නේ. මේ Remente ඇප් එකේ විවිධ මොඩියුල්ස් තියෙනවා. goal plans, personal development articles, journal, planner, goal settings guide වගේ ඒවා තමයි ඒ මොඩියුල්ස්. ඒ ඇරෙන්න හොඳ සන්නිවේදනයක් කරන්නේ කොහොමද, නායකත්වය දරන්නේ කොහොමද වගේ කරුණු කාරණා ගැන අපිට විවිධ ටිප්ස් එහෙමත්මේ ඇප් එක ඇතුළේ ලබාදෙනවා. එතකොට අපේ දවස සැලසුම් කරගන්න, අපේ මානසික සෞඛ්‍යය හොඳද කියලා ට්‍රැක් කරන්න එහෙමත් මෙවලම් ඇප් එක ඇතුළේ තියෙනවා. මේ ඇප් එක ෆ්‍රී වුණාට, සමහර මොඩියුල්ස් මුදල් ගෙවලා ගන්න සිද්ධ වෙනවා. ඒත් පාඩු නෑ හැබැයි!

 

3. Youper – Mental Health

අපේ ලයිෆ් ගෝල්ස් වලට යනකොට, අපිව ගොඩනංවා ගන්නකොට තියෙන පළවෙනිම කාරණයක් තමයි හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන එක. ඒ මානසික සෞඛ්‍යය ගොඩනංවා ගන්න එකත් අපේ වර්ධනයට, දියුණුවට හරිම වැදගත්. ආන්න ඒ නිසාම තමයි මේ Youper – Mental Health ඇප් එකත් අපේ self help ඇප් ලිස්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මේ ඇප් එකෙන් අපේ අපේ මානසික ආතතීන්, විෂාදමය තත්ත්වයන් ගැන අවධානයෙන් ඉන්නවා වගේම, අපිට ඉදිරියට අපිව අරගෙන යන්න හොඳ මෝටිවේෂන් එකක් ලබාදීම වගේ දේවලුත් සිද්ධ වෙනවා. මේ ඇප් එක නිර්මාණය කරපු අය කියන්නේ, Youper එකෙන් උදවු කරන්න ආටිෆිෂන් ඉන්ටෙලිජන්ට් එකක් තියෙනවා කියලා තමයි. දවස ගා​ණේ Youper ඇප් එකෙන් අපෙන් ප්‍රශ්න අහලා යම් කිසි තක්සේරුවකට එනවා අපේ මෙන්ටල් හෙල්ත් එක ගැන. ඊට පස්සේ ඒක සමබරව පවත්වාගෙන යන්න අපිට සැලසුම් හදලා දෙනවා.

 

4. Simple Habit Meditation

ඔය අපේ පුරුදු කියලා අපි කියන්නේ, ආන්න ඒවා ඇත්තටම ගොඩක් වෙලාවට බැලූ බැල්මට සරලයි. උදාහරණයක් විදියට කිව්වොත්, උදෑසනම අවදි වීම කියන්නේ සංකීර්ණ දෙයක් නෙවෙයිනේ. බොහොම සරල පුරුද්දක්. හැබැයි ඒ පුරුද්දෙන් අපේ දවසම ප්‍රබෝධවත් කරගන්න, අපේ වැඩ කටයුතු කාර්යක්ෂමව කරගන්න ඉඩ ලබාදෙනවා. එතකොට මේ Simple Habit Meditation ඇප් එකෙන් කරන්නේ, අන්න ඒ වගේ අපේ ජීවිතේ පුරුදු, හැසිරීම් වෙනස් කරගන්න, වැඩිවර්ධනය කරගන්න භාවනාවෙන් උපකාරයක් ලබාදෙන එක. භාවනාව කිව්වහම ඔය සුදු රෙද්දක් ඇඳගෙන පලක් බැඳගෙන භාවනා කිරීම විතරක් නෙවෙයි. අපිට එදිනෙදා වැඩ කරන ගමනුත් භාවනා කරන්න පුළුවන්. ආන්න ඒ විදියට අපේ චර්යාවන් සහ දෛනික පුරුදු වැඩිදියුණු කරගන්න සරලව භාවනාව උපයෝගී කරගන්න විදිය තමයි Simple Habit Meditation ඇප් එකෙන් කියලා දෙන්නේ.

 

5. Personality Development App

ඇත්තටම මේ ඇප් එකේ නමෙන්ම කියවෙනවා මොකද්ද ඒකෙන් කරන්නේ කියලා. අපේ පෞරුෂත්වය දියුණු කිරීම තමයි මේ ඇප් එකේ ටාගට් එක. එතනදී විශේෂයෙන්ම පෞරුෂත්ව වර්ධනය ගැන එක්ස්පර්ට්ලාගේ අදහස්, ටිප්ස් අපිත් එක්ක ෂෙයාර් කරගැනීම, යම් යම් පුහුණු කිරීම් වගේ දේවල් සිද්ධ කෙරෙනවා. අපිට දියුණු වෙන්න හැබෑ අවශ්‍යතාවයක් තියෙනවා නම්, මේ ඇප් එකේ මගපෙන්වීමෙන් අපිට අපේ පෞරුෂත්වය හිතාගන්න බැරි විදියට වර්ධනය කරගන්න පුළුවන්. ඇත්තටම අපේ අනාගත සංවර්ධනයට අතිශයින්ම වැදගත් කාරණයක්නේ හොඳ පෞරුෂත්වයක් තියෙන එක. ආන්න ඒක තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ ඇප් එකේ තියෙන රියල් ලයිෆ් සමීක්ෂණ වලිනුත් අපේ පෞරුෂත්වය කොහොමද වර්ධනය කරගන්න ඕන කියන එකට හොඳ ෆෝකස් එකක් ලබාදෙනවා.

 

6. Sintelly – Psychology & Emotional Intelligence

ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවද? සාමාන්‍යයෙන් ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේ බුද්ධිමත් කියන එකනේ. ඉමෝෂනල් ඉන්ජෙලිජන්ස් කියන්නේ තමන්ගේ චෛතසික ස්වභාවයන්, හැඟීම් දැනීම් තේරුම් ගන්න, හසුරුවා ගන්න, හාවිතා කරන්න සහ කළමනාකරණය කරන්න තියෙන හැකියාව. එතනදී අනික් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් සහ චෛතසික ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන් හැකියාවත් ඒකටම ඇතුළත් වෙනවා. දැන් එතකොට මේ ඇප් එකෙන් කරන්නේ අපේ ඉමෝෂනල් ඉන්ජෙලිජන්ස් එක, චෛතසික මට්ටම දියුණු කිරීම, අපට අලුතෙන් දැනුමක් ලබාදීම සහ අපේ හැකියාවන් වැඩි වර්ධනය කිරීම වගේ දේවල්. මේකෙදී අපිට කියවන්න පොඩි පොඩි ආටිකල් තියෙනවා. අපිට කරන්න පොඩි පොඩි ටෙස්ට් එහෙම තියෙනවා. ඒ වගේම, අනික් අය මේ ගැන කියන දේවල් අහන්න, අපේ අදහස් ෂෙයාර් කරගන්න ඉඩ කඩ එහෙමත් තියෙනවා.

 

7. Gratitude Journal

මේක ඇත්තටම වෙනස්ම පාරකින් අපිව වැඩිවර්ධනය කරගන්න, අපිට අපිවම ගොඩනගාගන්න උදවු කරන ඇප් එකක් කියන්න පුළුවන්. මේ Gratitude Journal ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේම දිනපතා ජර්නල් එකක් විදියට පාවිච්චි කරන්න. අපිට එතකොට දවස අවසානයේ සිද්ධ වුණු දේවල් මේකේ වාර්තා විදියට තියාගන්න පුළුවන්. හැබැයි මේ Gratitude Journal ඇප් එකෙන් කෙරෙන කාර්යය එතනින් නවතින්නේ නෑ. මේ ඇප් එක අපිත් නොදැනුවත්වම අපිට ක්‍රම ක්‍රමයෙන් කියලා දෙනවා අපේ ජීවිතේ තීයෙන දේවල් වලට අපි කෘතඥ වෙන්නේ කොහොමද කියන එක. ඒ ඔස්සේ අපේ ආත්ම විශ්වාසය ගොඩනගාගන්නේ කියන එක. ඒ වගේම අපේ ජීවිතේ සතුට හොයාගන්නේ කියන එක. මේක අපේම අත්දැකීම් අනුසාරයෙන් ජීවිතේ වෙනසක් හොයාගන්න උදවු වෙන ඇප් එකක් කියලා කිව්වත් නිවැරදියි.

 

ඇත්තටම ඇප්ස්ටෝර් එකකට ගිහින් බලනකොට අපිට හිතාගන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් Self help ඇප්ස් තියෙනවා. ඒකෙන්ම තේරෙනවනේ මිනිස්සුන්ට ඒක කොයි තරම් අවශ්‍යතාවයක්ද කියන එක. හැබැයි ඉතින් මේ self help ඇප්ස් සීයක් ස්මාට්ෆෝන් එකේ පුරවගෙන හිටියත් ඇති වැඩක් වෙන්නෙ නෑ, තමන්ට ඒ ගැන සැබෑ වුවමනාවක් නැති නම්. ඒ නිසා, තමන්ට තමන්ව ගොඩනගා ගන්න, දියුණු කරගන්න, වැඩි වර්ධනය කරගන්න ඕන නම්, අපිත් සක්‍රීයව ඒකට කටයුතු කරන්න ඕන. මේ ඇප්ස් වලින් කරන්නේ ඒවලට මග පෙන්වන එක, අවශ්‍ය මෙවලම් ලබාදෙන එක විතරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *