අපි පහුගිය දවසක කතාකළානෙ 80,90 දශකවල ඉපදුන අපි පුංචි කාලෙ ආසාවෙන් බලපු සිංහල හඬකවපු කාටූන් ගැන. කාටූන් වගේම තමා ඒ දවස්වල විකාශනය වුණු සිංහල හඬ කවපු ළමා ටෙලිනාට්‍යයත්. ඒ කාලෙ අපි ඉස්කෝලේ, පන්ති ඇරිල ගෙදර දුවගෙන එන්නෙ ටීවී එක ඉස්සරහ ඉඳගන්න බලාගෙන. ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය ජාල නොතිබුණු, පරිගණක ක්‍රීඩා ඒ තරම්ම ප්‍රචලිත නොවුණු ඒ කාලේ එළිමහනේ සෙල්ලමට අමතරව අපිට තිබුණ ලොකුම විනෝදය තමයි මේ ටෙලිනාට්‍ය. දැන් වගේ අන්තර්ජාල පහසුකම් නැති නිසා එක එපිසෝඩ් එකක් හරි මිස් වෙනව කියන්නෙ ඉතින් හරිම අපරාදයක්. ආයේ බලන්න වෙන්නෙ නැහැනේ. ඒ නිසා මොන වැඩේ තිබුණත් මඟනොහැර මේ කතා බලපු අතීතය හරිම සුන්දරයි. ඉතින් අපි ඒ ලස්සන ටෙලිනාට්‍ය කිහිපයක් ගැන මතකය අලුත් කරගමු.
1. රොබින්සන් අන්දරය
ටීවී ඒකෙ බලපු කතා අතරින් කාටත් කවදාවත්ම අමතක නොවෙන, ඒ කාලේ අපි අතරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය මේක කිව්වත් වරදක් නැහැ. ඒ තරමටම රොබින්සන් අන්දරය ඒ කාලෙ දරුවන් වගේම වැඩිහිටියන් අතරටත් ගිය කතාවක්. මේ මුල් කතාවේ නම The Adventures of Swiss Family Robinson. Johann David Wyss කියන ලේඛකයා ලියපු, 1812 මුලින්ම ප්‍රකාශයට පත්වුණ, The Swiss Family Robinson කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ ටෙලිනාට්‍යය නිර්මාණය වෙලා තියෙන්නෙ. මුහුදු ගමනක් අතරමැදදී නැව මුහුදුබත්වෙලා පාළු දූපතකට යැවෙන රොබින්සන් පවුල ඒ දූපතේ ජිවත්වන ආකාරයත්, සතුරන්ගෙන් එන කරදරත් වලට මුහුණදෙන ආකාරයත් ගැන තමයි කතාව පුරාවට ලස්සනට කියවෙන්නෙ. මේ කතාවේ බෙන්, එලිසබත්, අර්නස්ට්, එමිලි, ක්‍රිස්ටිනා වගේම බිල් කියන චරිත අපේ හිත්වල තාමත් එදා වගේම තැන්පත් වෙලා තියෙනවා.
2. ඔෂින්
ඔෂින් කියන්නෙ ළමා කතාවක්ම නොවුණත් ඒ කාලෙ ළමයින් වගේම වැඩිහිටියන් අතරෙත් ඉතාම ජනප්‍රිය වුණු සංවේදී කතා මාලාවක් . 1983 වසරේ ජපන් රටේ විකාශනය වුණු ඔෂින් කියන ටෙලිනාට්‍යය තමයි මේ විදිහට හරිම ලස්සනට සිංහලට හඬකවල ලංකාවේ විකාශනය කෙරුණේ. ඔෂින් තනකුරා කියන කාන්තාවගේ ළමා කාලයේ ඉඳන් වයස්ගත වෙනකන්ම සිදුවෙන සිදුවීම් අලලා ගෙතුණු මේ ටෙලි කතාමාලාව ලංකාවේ වගේම තවත් රටවල් 67ක විකාශනය වුණු බව සඳහන් වෙනවා.
3. මායා බන්ධන
මායා බන්ධන එහෙමත් නැත්තම් Spell Binders කියන්නෙත් අපිව අමුතුම ලෝකයකට අරගෙන ගිය වෙනස්ම සිදුවීම් තිබුණ අපූරු කතාමාලාවක්. මේ කතාව ගෙතෙන්නෙ වැරදීමකින් සමාන්තර ලෝකයකට යැවෙන පෝල් කියන පාසල් සිසුවා වටේ. ඒ සමාන්තර ලෝකයේ තාක්ෂණික මෙවලම් කිසිම දෙයක් ගැන දන්නා මිනිසුන් නැහැ. ඔවුන් කර්මාන්ත විප්ලවයට පෙර කාලයේ වගේ කෘෂිකර්මාන්තය ජීවිකාව කරගෙන ජීවත්වෙන මිනිසුන්. පාලකයින් සුළු පිරිසක් පමණක් සරල තාක්ෂණික ක්‍රම මඟින් අනික් මිනිසුන් යටත් කරගෙන ඉන්න ඒක ගැන තමා කියවෙන්නෙ. කතාවේ තියෙන රියානා, ඇලෙක්ස්, කත්රිනා, ආශ්කා වගේ චරිතත් අපිට කවදාවත්ම අමතක නොවන චරිත. මේ කතාව 1995 වර්ෂයේ ඔස්ට්‍රේලියාව සහ පෝලන්තය එකතුවෙලා නිෂ්පාදනය කරපු ටෙලිකතා මාලාවක්.
4. පන් පසිඳුවන්
පන් පසිඳුවන් එහමත් නැත්තම් The Famous Five කියල කියන්නෙ ප්‍රසිද්ධ ලේඛිකා ඊනිඩ් බ්ලයිට්න් විසින් රචනා කරපු The Famous Five කියන යොවුන් නවකතාව මාලාවක් පදනම් කරගෙන නිර්මාණය කෙරුණු ටෙලිනාට්‍යයක්. මේ ටෙලිකතා මාලාව මුලින්ම විකාශනය වෙලා තියෙන්නෙ 1978 වසරේදී බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක. පාසල් නිවාඩුවට දුර පළාතක ඉන්න තමන්ගේ නැන්දා සහ මාමා ලඟට යන ජූලියන්, ඩික් සහ ඈන් කියන දරුවනුත් ඒ ගෙදරදී ඔවුන්ට හමුවෙන ජෝර්ජිනා එහෙමත් නැත්තම් ජෝර්ජ් සහ ටිමී කියන සුරතල් බල්ලාත් වටා ගෙතුණු කතා තමයි මේ කතාමාලාව පුරාවට තියෙන්නෙ. ඔවුන්ට මුහුණදෙන්න වෙන අභිරහස් සිදුවීම් සහ ඔවුන් ඒවා විසඳගන්න ආකාරය ඒ කාලෙ අපිට හරිම විනෝදජනක අත්දැකීම්.
5. සක්වල දඟකාරයෝ
සක්වල දඟකාරයෝ, එහෙමත් නැත්තම් Space Cases කියල කියන්නෙ 1996 වසරේදී කැනඩාවේ විකාශනය වුණු විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා මාලාවක්. සිසුන් පිරිසකුත් ඔවුන්ගේ ගුරුවරයින් දෙදෙනෙකුත් අභ්‍යවකාශ ක්ෂේත්‍ර චාරිකාවක් අතරතුරදී මුහුණ දෙන සිදුවීම් ගැන තමයි කතාවෙන් කියවෙන්නෙ. කතාවේ ඉන්න හාලන්ඩ්, රාදු, බෝවා වගේ චරිත වගේම තෙල්මා කියන රෝබෝවරියත් අපි කාටවත්ම අමතක වෙන්නෙ නම් නැහැ.
6. පරිගණක දඟයෝ
සක්වල දඟකාරයෝ කියන්නෙත් පසුකාලීනව විකාශනය වුණු කුතුහලයෙන් පිරුණු විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක්. මේ වෙද්දී තාක්ෂණය ටික ටික හුරුවෙමින් ඉන්න කාලය නිසාම වෙන්න ඇති පරිගණක තාක්ෂණය පදනම් කරගෙන නිර්මානය වුණු මේ කතාවත් ඒ කාලෙ පුංචි ළමයි අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා. මේකෙ මුල් කතාමාලාව විකාශනය වෙලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ 1999 වර්ෂයේදී. මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් මඟින් සේවයට බඳවාගන්න පාසල් ළමුන් කිහිපදෙනෙක් වටා ගෙතෙන අමුතුම කතාවක් තමයි මේ කතාමාලාව පුරාවටම දකින්න තියෙන්නෙ. කතාවේ තියෙන මිනිස් චරිත වලටත් වඩා අපි හැමෝගෙම මතකයේ ඉන්නෙ සහ කතාවේ ලොකුම අවධානය ලබන්නෙ වර්ජිල් කියන කෘත්‍රීම බුද්ධිය.
7. ට්විස්ට් පවුලේ අපූරු චාරිකා
මේකත් අපේ ළමා කාලය ලස්සන කරපු ටිකක් අමුතුම කතාවක්. මුල් කතාව ඕස්ට්‍රේලියානු විකට කතාමාලාවක්. ප්‍රදීපාගාරයක් ඇතුළේ ජීවත්වෙන ට්විස්ට් පවුලේ අයට මුහුණ දෙන්න වෙන අද්භූත සිදුවීම් ඉතාම නිර්මාණශීලීව වගේම හාස්‍යජනකව මේ කතාමාලාව පුරාවට විකාශනය වෙනවා. ටෝනි, පීට්, ලින්ඩා, බ්‍රොන්සන් වගේම ඔවුන්ගේ සදාකාලික සතුරා වෙන හැරල්ඩ් ගිබ්ල් කියන දේපල වෙන්දේසිකරුවාත් අපේ මතකයේ හැමදාම ඉදීවි.
Leave a Reply